Saturday, May 18, 2024

මැයි දින අධිෂ්ඨානය: නිදහස් සෞඛ්‍ය හා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වූ අරගලය පෙරට ගනිමු! – ජෝසප් ස්ටාලින්

(ඡායාරූපය:fastnews.lk)

නිදහස් සෞඛ්‍ය හා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වූ අරගලය පෙරට ගැනීමටත්,

කෝවිඞ් 19 වසංගතය හමුවේ වැඩකරන පන්තිය මුහුණ දෙන ගැටලූ විසඳා ගැනීමත් මෙවර මැයි දිනයේ දී අධිෂ්ඨාන කරගනිමු.

කෝවිඞ් 19 වෛරසය හේතුවෙන් ඇති කළ ව්‍යවසනය පාලනය කළ නොහැකි වූ රජයන් විසින් මෙවර ලෝක මැයි දිනය ජනතා සහභාගීත්වයෙන් සැමරීමට නොහැකි තත්වයක් ලෝකය පුරාම නිර්මාණය කර ඇත. මේ නිසාම මැයි 1 ද ඇතුළත් වන පරිදි  ලංකාවේ ද ඇදිරිනීතිය හා විවිධ සීමාවන් පනවා ඇත. කෝවිඞ් 19 වසංගතය ලෝකය පුරා ව්‍යාප්තවීමත් සමග මේ වන විට මාර්තු මස සිට පාසල් සිසුන් බිලියන 1.7 ක් පාසල් නොයන බව යුනෙස්කෝ සංඛ්‍යාලේඛන පෙන්නුම් කරයි. ජාත්‍යන්තර කම්කරු සංවිධානය ප‍්‍රකාශ කළ පරිදි බිලියන 1.5 ක් වැඩකරන ජනතාවගේ රැුකියා අවිනිශ්චිත තත්වයට පත් කොට ඇත. මෙම වියවුල්කාරීත්වය යථාතත්වයට පත්කර ගැනීමට කටයුතු කිරීම වත්මන් ලෝකය හමුවේ ඇති අභියෝගයයි.

කෝවිඞ් 19 වෛරසය ව්‍යාප්තවීමත් සමග වැඩකරන පන්තිය නිදහස් සෞඛ්‍ය හා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ගෙනගිය අඛණ්ඩ අරගලයේ යුක්ති සහගත භාවය යථාර්ථයක් වී ඇත. සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කිරීම තුළ දියුණු ධනේෂ්වර රටවල පවා ජනතාව බරපතල ලෙස පීඩාවට පත්ව සිටින අතර මිය යන ප්‍රමාණය ද අධික වී ඇත.  ලංකාව තුළ ද නිදහස් සෞඛ්‍ය සේවාවක් නොතිබුණේ නම් තත්වය කෙබඳුදැයි පැහැදිලිව පෙන්නුම් කර ඇත. සයිටම් විරෝධී අරගලයෙන් පෙරට ගෙන නොගිය නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් වූ අරගලය අඛණ්ඩව ඉදිරියට ගෙනයාම සම්බන්ධයෙන් මෙවර මැයි දිනයේ දී අප අවධානය යොමු කළ යුතුය.

එසේම නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීමේ වැදගත්කම ද මෙවර මැයි දිනයේ දී අවධානයට ගත යුතුය. කෝවිඞ් 19 වසංගත තත්වය තුළ බිඳවැටී ඇති අධ්‍යාපනය නඟා සිටුවීමට අවශ්‍ය ක්‍රමෝපායන් සකස් කිරීමේදී වර්තමාන ජනාධිපතිවරයා අධ්‍යාපනය පිළිබඳ කාර්ය සාධක බලකායක් 2020.03.31 දිනැති 2169/2 අංකයෙන් යුතු අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් පත්කොට ඇත. එම කාර්ය සාධක බලකායට පෞද්ගලික පාසල් ව්‍යාපාරිකයින් මෙන්ම පෞද්ගලික පාසල් විදුහල්පතිවරු පත් කිරීම තුළ නිදහස් අධ්‍යාපනය සුරැකීම ප්‍රශ්නාර්ථයක් වී ඇත. මේ පිළිබඳව ලංකා ගුරු සංගමය ජනාධිපතිවරයාට ලිඛිතව විරෝධය පළ කර ඇත.

ආණ්ඩුව මැතිවරණය පැවැත්වීම අරමුණු කරගෙන සෞඛ්‍ය අංශවල එකඟතාවය ද නොමැතිව මැයි 11 පාසල් විවෘත කරන බව  අපේ‍්‍රල් 11 දින ප‍්‍රකාශ කරන ලදී.  ඉන් පැහැදිලි වන්නේ ළමුන් ආරක්ෂා කිරීම වෙනුවට ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ තම බලය තහවුරු කර ගැනීම බවයි. මේ වන විට පවතින ඇදිරිනීති තත්වය තුළ නොවිධිමත් ආර්ථික ක්ෂේත‍්‍රයේ සිටින කම්කරු කොටස් බරපතල ලෙස පීඩාවට පත්ව සිටී. එසේම වතුකම්කරුවන්, නිදහස් වෙළඳ කලාප කම්කරුවන්, ගොවීන් හා ධීවර ජනතාව මුහුණදෙන ගැටලූවලට පිළිතුරු ලබාදීමට රජය අපොහොසත් වී ඇත.

කෝවිඞ් 19 ආසාදනය වූවන්ට එරෙහිව වෛරී ප්‍රකාශ කරමින් ඔවුන්ට එරෙහි මතවාදයන් ගෙනයෑමත්, ලංකාව තුළ රෝග ව්‍යාප්තියට අදාළව වර්ගවාදය ඈදා ගැනීමත් පිළිකුල් සහගතව හෙළාදැකිය යුතු තත්වයකි. මෙම තත්වය සම්බන්ධයෙන් රජය විසින් දැනුවත් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමෙන් කෝවිඞ් 19 ආසාධිතයන් හා නොවූවන් වශයෙන් ලොව වෙනත් කිසිම රටක නැති ආකාරයෙන් සතුරු පිල් දෙකක් නිර්මාණය වී ඇත. රෝග ව්‍යාප්තිය වැලැක්වීම වෙනුවෙන් කටයුතු කරන සෞඛ්‍ය අංශවල සේවකයන් සහ රාජ්‍ය හමුදා සාමාජිකයන්ට අවශ්‍ය ආරක්ෂක උපාංග ලබානොදීම තුළ ඔවුන් රෝග ව්‍යාප්තියේ ගොදුරු බවට පත්කර ඇත.

මේ තත්වය තුළ මෙවර මැයි දිනයේ දී නිදහස් සෞඛ්‍ය හා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අරගලය අඛණ්ඩව පෙරට ගැනීමට මෙන්ම කෝවිඞ් 19 වසංගතය හමුවේ මතුවී ඇති ගැටලූවලට විසඳුම් ලබාගැනීමට වැඩකරන පන්තිය එක්විය යුතු බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කර සිටී.

මෙයට,

ජෝසප් ස්ටාලින්
ප්‍රධාන ලේකම්

Archive

Latest news

Related news