කොවිඩ් වසංගතය පාලනය කිරීමේ සන්දර්භය තුළ පොලීසිය විසින් කරනු ලබන අත්අඩංගුවට ගැනීම් නීත්‍යානුකූලව වලංගු විය යුතු අතර අත්තනෝමතික හා අසමාන සහ විශම සැලකීමක් නොවිය යුතු බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොලීසිය විසින් කර ඇති එවැනි අත්අඩංඟුවට ගැනීම්හි නීතිමය පදනම ප්‍රශ්ණකාරී බව සදහන් කරයි. මෙ බව සදහන් වන්නේ පසුගිය 25 දාතමින් කොමිෂම විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත යවන ලද ලිපියකය. එම ලිපිය තව දුරටත් පෙන්වා දෙන්නේ එකී අත්අඩංගුවට ගැනීම්වලට අදාළ බී වාර්තා වල දක්වා ඇති නීතිමය පදනම් සමහරක් වත්මන් තත්වය යටතේ බලාත්මක නැති බවයි. එවැනි එක් බී වාර්තාවක කිසිසේත්ම අත්අඩංගුවට ගැනීමේ නීතිමය පදනම සඳහන් කර නැති බවත් එම ලිපිය සඳහන් කරයි. එබැවින්, වැරදි තොරතුරු ප්‍රචාරය කළැයි කරන ලද මෑතදී අත්අඩංගුවට ගැනීම් සඳහා වූ නෛතික පදනම සමාලෝචනය කරන ලෙස කොමිෂම පොලීසියට නිර්දේශ කරයි.
ඉංග්‍රිසි බසින් යවා ඇති ලිපියේ සිංහල පරිවර්ථනයක් පහත පළවේ:
විශේෂයෙන් රට තුළ කොවිඩ් 19 වයිරසය පැතිර යාමේ සන්දර්භය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ කරන ලද ප්‍රකාශ පදනම් කර ගනිමින් පොලීසිය විසින් මෑතකදී අත්අඩංගුවට ගැනීම් රාශියක් තර ඇති බව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිරීක්ෂණය කරයි.
මෙවැනි අත්අඩංගුවට ගැනීම් වැඩි වෙමින් පවතින්නේ වයිරසය පැතිරීම පාලනය කිරීමේ නිරතව සිටින රාජ්‍ය බලධාරීන්ට විරුද්ධව අන්තර්ජාලය හරහා අසත්‍ය හා ද්වේෂ සහගත ප්‍රකාශ පළ කරන අයට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට අනතුරු අඟවමින් 2020 අප්‍රේල් 1 දින පොලිස් දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අංශය විසින් මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ලිපියක් නිකුත් කිරීමෙන් පසුව බව අපි නිරීක්ෂණය කර ඇත්තෙමු. මෙම ලිපිය නිලධාරීන් සම්බන්ධ විවේචන නොඉවසන බවට පැහැදිලි පණිවුඩයක් සන්නිවේදනය කරයි.
හදිසි අවස්ථාවකදී පවා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යකදී තුළ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ වෙනත් එවැනි අයිතිවාසිකම් සීමා කිරීමට ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයක් නීතියේ රාමුව තුළ තිබිය යුතු බව පෙන්වා දීම අප කොමිසමේ යුතුකමකි. මෙම අවස්ථාවෙහිදී අදාළ නීතිය වන්නේ ව්‍යවස්ථාව සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම්ය. අයිතිවාසිකම් පිළිබඳ පැනවෙන සීමාවන් නීත්‍යානුකූලභාවය, සමානුපාතිකභාවය (සීමාව තර්ජනයට සමානුපාතික විය යුතුය) සහ වෙනස් කොට නොසැලකීම යන පරීක්ෂණවලට අනුකූල විය යුතු බව එම නීති මගින් නියම කෙරේ. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධයෙන් සාරවත් නීති නීතිමීමාංසයන් ( jurisprudence) ගණනාවක් වර්ධනය කර තිබේ.
ඉහත කරුණු සැලකිල්ලට ගනිමින් කොමිසම පහත සඳහන් කරුණු ඔබේ අවධානයට යොමු කිරීමට අපේක්ෂා කරයි. අප එසේ කරන්නේ 1996 අංක 21 දරණ පනතේ කොමිෂන් සභාවට එහි ප්‍රඥාප්තිය මගින් පවරා ඇති බලතල හා කාර්යයන් යටතේ ය:
[title]1) වැරදි තොරතුරු මත අත්අඩංඟුවට ගැනීම[/title]
මුළු රටම පෙර නොවූ විරූ මහජන සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දෙන විට භීතියට හේතු විය හැකි සහ මහජන සාමය හා මහජන සෞඛ්‍යට බරපතල තර්ජනයක් විය හැකි වැරදි තොරතුරු නීත්‍යානුකූලව මැඩපැවැත්වීමේ අවශ්‍යතාව මානව හිමිකම් කොමිසම පිළිගනී.
කෙසේ වෙතත්, එවැනි අත්අඩංගුවට ගැනීම් නීත්‍යානුකූලව වලංගු විය යුතුය. අත්තනෝමතික හා අසමාන සහ විශම සැලකීමක් නොවිය යුතුය. ඉහත අත්අඩංගුවට ගැනීම්වලට අදාළ බී වාර්තා එවැනි අත්අඩංගුවට ගැනීම්වල නෛතික පදනම ලෙස ප්‍රඥප්ති කිහිපයක් සඳහන් කරන බව අපි නිරීක්ෂණය කර ඇත්තෙමු. දණ්ඩ නීති සංග්‍රහය (s.120), පරිගණක අපරාධ පනත, 2007 අංක 24 (s.6), පොලිස් ආඥා පනත (s.98), නිරෝධායන ආඥා පනත, අංක (ss 4 සහ 5) සහ ආපදා කළමනාකරණය පනත, 2005 අංක 13 (s. 24) ඒ්වාට ඇතුළත් වී තිබේ.
නිරෝධායන ආඥා පනතේ සහ ආපදා කළමනාකරණ පනතේ විධිවිධාන භාවිතා කිරීමේ නෛතික පදනම පහත සඳහන් හේතු නිසා ප්‍රශ්ණකාරී බව අපි පෙන්වා දීමට කැමැත්තෙමු.
නිරෝධායන ආඥාපනතේ S.4 බලාත්මක කළ හැක්කේ ආඥා පනත යටතේ පනවන ලද රෙගුලාසියක් උල්ලංඝනය වූ විට පමණි.
පුද්ගලයන් අත්අඩංගුවට ගැණීමට හේතු වූ බව දැක්වෙන ප්‍රකාශ මගින් ආඥා පනත යටතේ පවත්නා කිසියම් රෙගුලාසියක් උල්ලංඝනය කැරෙන්නේ කෙසේදැයි හෝ ආඥා පනත යටතේ බලයලත් නිලධාරීන්ගේ රාජකාරි ඉටු කිරීමට බාධාවක් වන්නේ කෙසේදැයි පැහැදිළි නැත.
ඒ හා සමානව, පනතේ 11 වන වගන්තියට අනුව පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලදුව, රට තුළ ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කර නොමැති විට ආපදා කළමනාකරණ පනතේ s.24 ක්‍රියාත්මක කළ හැකිද යන්න ප්‍රශ්නාකාරීය.
එක් බී වාර්තාවක කිසිසේත්ම අත්අඩංගුවට ගැනීමේ නීතිමය පදනම සඳහන් කර නැත. මහජන සාමය හා මහජන සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන වැරදි තොරතුරු මැඩ පැවැත්වීමට නම්, නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් විසින් ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා හොඳ නීතිමය පදනමක් තිබිය යුතුය. එසේම, සැබෑ අත්වැරදීම්, යහපත් පරමාර්ථයකින් කරන ප්‍රකාශ හෝ මහජන යහපත (රහසිගත තොරතුරු හෙළි කරන්නන් whistle blowers වැනි) සහ හිතාමතාම අවුල් ඇතිකිරීම සඳහා කරනු ලබන වැරදි ප්‍රකාශ අතර වෙනස පරෙස්සමින් සළකා බැලිය යුතුය.
එබැවින්, වැරදි තොරතුරු ප්‍රචාරය කළැයි කරන ලද මෑතදී අත්අඩංගුවට ගැනීම් සඳහා වූ නෛතික පදනම සමාලෝචනය කරන ලෙස අපි නිර්දේශ කරමු. එවිට නිසි නීති ක්‍රියාවළියට ඒවා අනුකූල වනු ඇති අතර ඉදිරි අත්අඩංගුවට ගැනීම් ස්ථිරවම නීතියේ රාමුව තුළ සිදු කැරෙන බව සහතික කැරෙනු ඇත.
[title]2) විවේචනය බිය වැද්දවීම[/title]
නිලධාරීන් විවේචනය කරන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට පොලිස් මාධ්‍ය අංශය විසින් මාධ්‍ය ආයතන වෙත නිකුත් කර ඇති අනතුරු ඇඟවීම කොමිෂන් සභාව විසින් දැඩි අවධානයෙන් යුතුව සලකනු ලබන්නේ එය විසින් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බරපතල ලෙස බියවැද්දවීමට හේතු වනු ඇති බැවිනි. රාජ්‍ය නිලධාරීන්ගේ හෝ වෙනත් කෙනෙකුගේ හෝ ඕනෑම ප්‍රතිපත්තියක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමට හා සැබවින්ම විවේචනය කිරීමට ඇති අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික අංගයකි. පාලනය වැඩිදියුණු කර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කැරන්නේ විවේචන හා විවරණ තුළිනි. මෙම මූලධර්ම ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රාමාණික විනිශ්චයන් මාලාවක් මගින් ස්ථිරව තහවුරු කර ඇත (බලන්න ජෝසප් පෙරේරා එදිරිව නීතිපති [1992] 1 Sri L.R. 199; අමරතුංග එදිරිව. සිරිමාල් [1993] 1 Sri L.R. . 264).
එබැවින්, හුදෙක් රාජ්‍ය නිලධාරීන් හෝ ප්‍රතිපත්ති විවේචනය කිරීම නිසා කැරෙන ඕනෑම අත්අඩංගුවට ගැනීමක් ව්‍යවස්ථා විරෝධීය.
[title]3, වෛර භාෂණය[/title]
විවිධ ප්‍රජාවන් අතර සාමකාමී සහජීවනය ආරක්ෂා කිරීම සඳහා නීතිය මගින් වෛරී කථන මැඩපැවැත්වීමේ හදිසි අවශ්‍යතාවය මානව හිමිකම් කවුන්සිලය පිළිගනී. ඉතා මෑතකදී 2020 අප්‍රේල් 3 දිනැති ලිපියක් අපි ඔබට ලිපියක් මගින් වර්තමාන සෞඛ්‍ය අර්බුදයේ සන්දර්භය තුළ ආගමික බෙදීම් සහ වෛරය අවුලුවාලීමට උත්සාහ කළ අයට එරෙහිව අයිසීසීපීආර් පනතේ 3 වන වගන්තිය යටතේ පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියෙමු.
මීට පෙර, 2019 අගෝස්තු 28 දිනැති අපගේ ලිපිය මගින් ඉහත විධිවිධාන ක්‍රියාත්මක කිරීම පිළිබඳ මානව හිමිකම් කොමිසමෙහි මාර්ගෝපදේශ සඳහන් කළෙමු: (අ) ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය ප්‍රචාරය කිරීමේ (ආ) ප්‍රචණ්ඩත්වය, විශම සැලකීම හෝ සතුරුකම ඇති කිරීමේ අභිප්‍රාය ඇතිව යම් පුද්ගලයෙක් නිරත ව සිටින්නේ නම් පියවර ගැනීමට නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන් බැඳී සිටී.
ඒ අතරම s.3 යොදා ගැනීමේහිදී එය කිසිදු ප්‍රජාවකට විශම සැළකීමක් නොවන බව සහතික කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දීමට කැමැත්තෙමු. එසේ නොවුවහොත්, නීතිය ඇතැම් ප්‍රජාවන්ට එරෙහි ආයුධයක් බවට පත්වන අතර ඒමගින් පාර්ලිමේන්තුව එම නීතිය විසින් පනවන ලද අරමුණම පරාජය කරයි. ඉහත විධිවිධාන යටතේ මෙතෙක් අත්අඩංගුවට ගැනීම් එකී වගන්තිය විෂම සැලකීමකින් තොරව යොදාගෙන ඇතැයි ඇති බවට අපගේ නිරීක්ෂන මගින් තර්කානුකූළ නිගමනයකට එළඹිය නොහැක.
මෙම පෙර නොවූ විරූ සෞඛ්‍ය අර්බුදය තුළ මහජන සෞඛ්‍ය බලධාරීන්ට සහය දැක්වීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව ඉටු කළ කාර්යභාරය පිළිබඳව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම සිය ගැඹුරු අගැයීම යළිත් වරක් අවධාරණය කරයි. කෙසේ වෙතත්, පොලිස් දෙපාර්තමේන්තුව විසින් ගනු ලබන ගැටළු සහගත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වන මානව හිමිකම් ඇඟවුම් පෙන්වා දීම අපගේ කොමිසමට පැවරී ඇත. අප අපගේ නිරීක්ෂණ සහ නිර්දේශ ඉදිරිපත් කරන්නේ අපගේ කොමිසමේ වරම අනුව, විධායක හා පරිපාලනමය වශයෙන් මානව හිමිකම් නීතියට අනුකූලතාවය සහතික කිරීමේ එකම අභිප්‍රාය ඇතිවය. ඉහත සාකච්ඡා කර ඇති දෑ සමාලෝචනය කර ඒකී අනුකූලතාවය සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු.
මෙම දුෂ්කර කාලයෙන් පසුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පාලනය සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ දැඩි විශ්වාසයකින් යුතුව ශ්‍රී ලංකාව නැගී සිටීමේ අවශ්‍යතාව අවධාරණය කිරීමට මානව හිමිකම් කවුන්සිලය මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට කැමැතිය. නීතියෙන් බැහැරව පවතින තාවකාලික විසඳුම් දිගු කාලීනව ලබා දෙනු ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පිළිබඳ ඉතා නිෂේධාත්මක උරුමයකි. අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම අපගේ ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම් විසින් ද මානව හිමිකම් සුරක්‍ෂාව හෝ නීතියේ ආධිපත්‍යය පාවා නොදී හදිසි අවස්ථා තත්වයන්හිදී අසාමාන්‍ය පියවර ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලබා දෙයි. අපේ රටේ ශක්තිය වන්නේ නිසැකවම එම මාවත අනුගමනය කිරීමයි.
(පරිවර්ථනය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි)