Thursday, November 21, 2024

වසංගතය පැදවීමට දේශපාලනය පසෙකින් තැබීමට ශ්‍රී ලංකාව සමත්වනු ඇත්ද? – ගෙහාන් ගුණතිලක

කලාතුරකිින් රටක්  අද්විතීය අර්බුදයකට මුහුණ දෙයි. එවිට දේශපාලනයේ සාමාන්‍ය නීති ඊට අදාළ නොවිය යුතුය. ස්වභාවයෙන්ම දේශපාලන සතුන් වන දේශපාලනඥයින් සිය අවශ්‍යතාවන්ට පටහැනිව කටයුතු නොකරන නමුත් මේ අවස්ථාව වෙනස්ව කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.කොවිඩ්-19 වසංගතය එවැනි අද්විතීය අර්බුදයකි. ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් අභිමුව දැන්    තෝරා ගැනීමක් තිබේ. එනම් අවස්ථාවාදීව දේශපාලන වාසි උපරිම කර ගැනීම හෝ ස්වාර්ථයෙන් තොරව ලෙස දේශපාලනයට පෙර රට තැබීමය.

[title]අද්විතීය උභතෝකෝටිකය[/title]

ශ්‍රී ලංකාවේ තේරීපත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බරපතල උභතෝකෝටිකයකට මුහුණ දෙයි. එක් අතකින්, ඔහුගේ වරම වන්නේ  ප්‍රතිපල දිනාගැනීමය.

වත්මන් රජයට සීමිත අයවැයක් මත නිත්‍ය ලෙස ක්‍රියා කළ නොහැක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැහැදිලිවම රාජ්‍ය මූල්‍ය කටයුතු සඳහා බලය පාර්ලිමේන්තුවට පවරා ඇත. එබැවින් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුවේ විධායක ශාඛාවට නව අයවැයක් අනුමත කර ගැනීම සඳහා ව්‍යවස්ථාදායකයක් අවශ්‍ය වේ.

සුළුතර ආණ්ඩුවක් මෙහෙයවන ජනාධිපතිවරයෙකු ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ගැනීම පිනිස හැකි ඉක්මනින් මැතිවරණයක් කැඳවීම දේශපාලනිකව පිළිගත හැකි සේ පෙනීයයි. ජනාධිපති රාජපක්ෂ මෙම මාර්ගය තෝරාගෙන ඇති අතර ඔහුගේ ස්ථානයෙහිම සිටියේ  නම් තවත් බොහෝ දේශපාලනඥයන් ද එසේ කරනු ඇත.

අනෙක් අතට, ජනතාවගේ තේරී පත්  නියෝජිතයකු ලෙස ජනාධිපති රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට බැඳී සිටී. ඔහුගේ ක්‍රියාවන් සැමවිටම නීතියට අනුකූල විය යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව – ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය –  මැතිවරණය කලින් පැවැත්වීම පිනිස ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද අවස්ථාවක දී , පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස තුනකට නොඅඩු දිනයක දී ඔහු විසින් ‘නව පාර්ලිමේන්තුව කැඳවිය යුතුය’. එම දිනය ජුනි 2 වේ. පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති තාක් කල්, එම අවසාන දිනය වෙනස් කළ නොහැකිය.

මැතිවරණ කොමිෂන් සභාව දැන් මැතිවරණය සඳහා දිනයක් නියම කර ඇත. එනම් ජූනි 20 ය. කිසිදු හදිසි අවස්ථාවක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති අවස්ථාවකදී ‘හදිසි අවස්ථාවක්’ පදනම් කරගෙන මැතිවරණය කල් දැමීමට කොමිසම තීරණය කර තිබේ .මැතිවරණය පැවැත්වෙන්නේ ජුනි 2 න් පසු දිනයක දී නම් පාර්ලිමේන්තුවට ඒ තාක් විසුරුවා හැර පැවැතිය නොහැකි බැවින් මෙම තීරණය තවදුරටත් කාරණා සංකීර්ණ කරයි.

කෙසේ වෙතත්, මහජන සෞඛ්‍ය අවදානමකට ජනතාව නිරාවරණය නොකර නුදුරු අනාගතයේ දී මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් තිබේදැයි කල්පනා කළ යුතුය.

ස්ථාවර රජයක් සහතික කර ගැනීම සඳහා වූ ඔහුගේ දේශපාලන අවශ්‍යතාවය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවීම සඳහා වන නීතිමය කොන්දේසි සමඟ ජනාධිපති රාජපක්ෂ දැන් සමතුලිත කළ යුතුය.

[title]අද්විතීය හදිසි අවස්ථාවක්[/title]

කොවිඩ් 19 අර්බුදයේ බොහෝ අංශ කළමනාකරනය කිරීමට ශ්‍රී ලංකාවේ වර්තමාන නීතිය අප්‍රමාණවත්ය. නිදසුනක් වශයෙන්, මහජන ආරක්ෂක පනත ජනාධිපතිවරයාට බලය ලබා දෙන්නේ ඕනෑම ප්‍රදේශයක ‘මහජන සාමය’ පවත්වාගෙන යාමේ සීමිත අරමුණු සඳහා ඇඳිරි නීතිය පැනවීමට පමණි. මහජන සාමය පිළිබඳ සංකල්පය යනු නීතිය හා සාමය පවත්වා ගැනීම සහ ප්‍රචණ්ඩ ක්‍රියා සහ නොසන්සුන්තා වැළැක්වීම ය.

මෙම සංකල්පය, රෝග සහ වෙනත් සෞඛ්‍ය උපද්‍රව වැළැක්වීම සහ පාලනය කිරීම ඇතුළත් මහජන සෞඛ්‍ය පිළිබඳ සංකල්පයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්ය. ඇත්ත වශයෙන්ම, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවෙහි 15 වන වගන්තිය විසින්, මෙම සංකල්ප දෙක අතර වෙනස පැහැදිළිව දක්වයි. මහජන සාමය, මහජන සෞඛ්‍යට සමාන කළ නොහැක.

ඇඳිරි නීතිය පැනවීමට ආණ්ඩුවට බලය පවරන වෙනත් නීතියක් ශ්‍රී ලංකාවේ නොමැත. නිදසුනක් වශයෙන්, ආපදා කළමනාකරණ පනත හෝ රෝග නිරෝධායන හා වැළැක්වීමේ පනත – මේ දෙකම මහජන සෞඛ්‍ය අර්බුද ගැන ක්‍රියාකිරීමට සම්බන්ධය – වත්මන් ආණ්ඩුව මහජන සෞඛ්‍ය අවශ්‍යතා සඳහා පනවා ඇති ක්‍රියාමාර්ග උපකල්පනය නොකරයි. මහජන ආරක්ෂක පනත ඇත්තේ මහජන සාමය පිළිබඳ අර්බුදයකට පමණක් බැවින්, මෙම අද්විතීය මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා නව නීති පැනවීමට රජයට දැඩි අවශ්‍යතාවයක් තිබේ.

මේ අතර, හදිසි තත්වය නව හා පෙර නොවූ විරූ ප්‍රායෝගික අභියෝග රැසකට තුඩු දී තිබේ. උදාහරණයක් ලෙස, උසාවි ඇතුළු ඇතැම් ආයතන දුරස්ථව ක්‍රියාත්මක විය යුතුය; නිල ලියකියවිලි සැකසීම ඇතුළුව ඇතැම් අ්‍යවශ්‍ය සේවාවන් ඩිජිටල් ක්‍රමයට සැපයිය යුතුය; දෛනික වැටුප් උපයන්නන් ද ඇතුළුව ආදායම් අහිමි වූ අසරණයන්ට විශේෂ ආධාර සැපයිය යුතුය; වරාය, ප්‍රවාහන සේවා සහ අධ්‍යාපන ආයතන නියාමනය කළ යුතුය; විශාල පිරිසක් සේවයේ යොදවන සහ අවශ්‍ය විදේශ විනිමය උපයා ගන්නා ඉහළ වටිනාකම් සහිත කර්මාන්ත වසා දැමීමෙන් බේරා ගත යුතුය. මෙම අසංඛ්‍යාත අභියෝගයන්ට මුහුණ දීමට වත්මන් නීතිය මුළුමනින්ම අප්‍රමාණවත්ය.

ලොව පුරා බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් මෙම අර්බුදයට ප්‍රතිචාර දක්වා ඇත්තේ අත්‍යවශ්‍ය නව නීති පැනවීමෙනි. එහෙත්, ශ්‍රී ලංකාවේ, නව නීති සම්පාදනය කිරීමට බලය ඇති එකම ආයතනය දැන් ක්‍රියාකාරී නැත.

[title]අද්විතීය විසඳුමක්[/title]

අපි නැවත ජනාධිපති රාජපක්ෂගේ උභතෝකෝටිකයට යමු. නව අයවැය ප්‍රතිපාදන අනුමත කරගැනීමට සහ අභියෝග රාශියකට මුහුණ දීමට අවශ්‍ය නව නීති සම්පාදනය කර ගැනීමට ඔහුට ව්‍යවස්ථාදායකයක් අවශ්‍ය වේ. තම ආණ්ඩුවට බහුතරයක් නොමැති පාර්ලිමේන්තුවක් නැවත කැඳවීමට ඔහුට අවශ්‍ය නැත. කෙසේ වෙතත්, පෙර නොවූ විරූ සෞඛ්‍ය අර්බුදයක් දිගින් දිගටම රටට තර්ජනයක් වන හෙයින් ඔහුට පහසුවෙන් සහ ඉක්මණින් මහ මැතිවරණය කැඳවිය නොහැක. ඔහු සිටින තත්වය අර්බූදකාරීය. එහෙත් ඔහුට ඇති එකම විසඳුම ඇත්තේ සාමාන්‍ය දේශපාලනයෙන් බැහැර විය හැකිය.

70 (7) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට තීරණය කළ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රාමුගතකළ අයට දුරදක්නා නුවණක් තිබුණි. මෙම විධිවිධානය මඟින් විසුරුවා හැර ඇති විටදී පවා, “හදිසි තත්වයක් උදගතව ඇතැයි තෘප්තිමත්”  නම්  පාර්ලිමෙන්තුව කැඳවීමට ජනාධිපතිවරයාට අවසර දී තිබේ. ජනාධිපතිවරයාගේ මෙම විශේෂ කැඳවීම හේතුවෙන් පාර්ලිමේන්තුව නැවත රැස් වුවහොත් එය මුළුමනින්ම තාවකාලික වන අතර හදිසි අවස්ථාව අවසන් වූ මොහොතේම පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇත. අර්බුදය සමඟ කළමණාකරණයකර ගැනීම සඳහා ජනාධිපති රාජපක්ෂ විසින් මෙම විධිවිධානය යොදා ගත යුතු බවට හොඳ හේතු තිබේ.

කොවිඩ් 19 අර්බුදය නිසැකවම හදිසි අවස්ථාවකි. ශ්‍රී ලංකාව හදිසි තත්ත්වයකට පත්ව ඇති බවට සෑහීමකට පත්වීම සඳහා ජනාධිපතිවරයා මහජන ආරක්ෂක පනත මත රඳා පැවැතිය යුතු නැත. මහජන ආරක්ෂ පනත අදාළ වන්නේ මහජන සාමය පිළිබඳ හදිසි අවස්ථා සම්බන්ධයෙන් පමණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (7) වගන්තිය යටතේ නිකුත් කරන ලද ප්‍රකාශයකින් ඔහුට හදිසි අවස්ථාවක් ඔහුට ලෙහෙසියෙන්ම ප්‍රකාශ කළ හැකිය.

ඔහු යම් නීතිමය මග පෙන්වීමක් මත රඳාපැවැතිමට කැමති නම්, ඔහු ‘වසංගතයක්’ ‘ව්‍යසනයක්’ බව පිළිගන්නා ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ පනතට වඩා එපිටට බැලිය යුතු නැත. මෙම පනත මගින් ජනාධිපතිවරයාට ‘ආපදා තත්ත්වයක්’ ප්‍රකාශ කිරීමට අවසර දී ඇත. ජනාධිපතිවරයා එවැනි ප්‍රකාශයක් නොකර සිටිය ද, 70 (7) වගන්තිය යටතේ ප්‍රකාශයක් නිකුත් කිරීම සඳහා වර්තමාන අර්බුදය ‘හදිසි අවස්ථාවක්’ ලෙස පිළිගැනීමේහි අර්ථවත්බව ඔහු නිසැකවම දකිනු ඇත.

පාර්ලිමේන්තුව තාවකාලිකව යළි කැඳවූ විට දේශපාලන ලැදියාවන් මත නොව මහජන යහපත වෙනුවෙන් එය කටයුතු කරන බවට ජනාධිපතිවරයාට සහතික කරගත හැක්කේ කෙසේද?

මෙම අර්බුදය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පැහැදිලි ව්‍යවස්ථාදායක සැලැස්මක් ඇතිකර ගැනීමට නම් සියළුම පාර්ශවයන් තම දේශපාලන  න්‍යාය පත්‍ර පසෙකට දමා ජනාධිපතිවරයාට සහාය දැක්වීම අවශ්‍ය විය හැකිය. ඇත්ත වශයෙන්ම, සමහර විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනටමත්  පාර්ලිමේන්තුව යළි කැඳවනු ලැබුවහොත් ආණ්ඩුවට සහාය දෙන බවට ප්‍රතිඥා දීමට ඉදිරිපත්ව තිබේ.

මෙම විශේෂ සැලැස්මට එකඟ වීම සඳහා බහු-පාර්ශවීය අවබෝධතා ගිවිසුමක් සකස් කළ යුතුය. අනතුරුව ව්‍යවස්ථාදායකය සහ විධායකය එක්ව අර්බුදයේ සියලු අංශ සපුරාලන නව නීතියක් සැකසීමට හා බලාත්මක කිරීමට එක්විය යුතුය. අනවශ්‍ය නිලධාරීවාදයෙන් තොරව තීරණාත්මක තීරණ ගැනීමට මෙම නීතිය විසින් විධායකයට යම් නම්‍යතාවයක් ලබා දිය යුතුය. ව්‍යවස්ථාදායේ අධීක්ෂණය සහ ගැනෙන තීන්දු අධිකරණ සමාලෝචනයකට යටත් කිරීම ඇතුළුව තුලන සහ සංවරනයන් ද එම නීතිය විසින්ම ස්ථාපිත කළ යුතුය.

ජනාධිපතිවරයා මෙම සූදුව හේතු දෙකක් උඩ බාරගත යුතුය. පළමුව,සරළ ලෙසම මෙතරම් විශාල අර්බුදයකදී කළ යුතු නිවැරදිම දෙය එය නිසාය. මෙතරම් නුසුදුසු නීති හා අප්‍රමාණවත් සම්පත් ඇතිව මෙවැනි අර්බුදයකට මුහුණ දීමට කිසිදු ආණ්ඩුවකට  සිදු නොවිය යුතු නිසාය. දෙවනුව, යහපත් විශ්වාසයකින් කරනු ලැබූ මෙම අත්හදා බැලීම ප්‍රතිපල ලබා නොදෙන්නේ නම් ජනාධිපතිවරයාට ඕනෑම විටක පාර්ලිමේන්තුව යළි විසුරුවා හැරිය හැකිය.

පාර්ලිමේන්තුව යළි කැඳවා එවැනි ක්‍රියා මාර්ගයකට ඔහු උත්සාහ දරන්නේ නම් ජනාධිපතිවරයා දේශපාලනයට ඉහළින් නැගී සිටීමට උත්සාහයක් දැරෑ බව අවම වශයෙන් පෙනී යනු ඇති  අතර ඒ වෙනුවෙන් ඔහු පිළිගැනීමට ලක්විය යුතු වනවා ද ඇත.

අපේ දේශපාලන නායකයන් ගැන අප දන්නා තරමට, දේශපාලනයට පිටින් යන මාවතක් ශ්‍රී ලාංකිකයන්ට සිතා ගැනීම දුෂ්කර විය හැකිය. එහෙත් ඉතිහාසයේ සුවිශේෂී මොහොතක්  අපට අභිමුව වන්නේ පරම්පරාවකට  වරක් පමණි. අනාගත පරම්පරාවන් අප ක්‍රියා කළ ආකාරය සහ අපගේ දේශපාලන නායකයින්ගෙන් අපේක්ෂා කළේ කුමක්දැයි සිහිපත් කරනු ඇත. පරම්පරාවක උරුමය අර්ථ දැක්වෙනු ඇත්තේ මේ මොහොත තුළය. අපි සහ අපේ දේශපාලන නායකයන් ඉතිහාසයේ නිවරද පැත්ත තෝරා ගනු ඇතැයි යැයි  ප්‍රාර්ථනා කරමු.

(ලේඛකයා නීතිඥවරයෙකි.)

ඩේලි එෆ් ටී පුවත්පතෙහි පළ වූ ලිපියක සිංහල පරිවර්ථනය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි.

Archive

Latest news

Related news