සිංගප්පූරු නගර රාජ්‍යයේ පාලුවට ගිය කෘතිම උද්‍යානයක් ජායාරූපය නිව්යොර්ක් ටයිම්ස් පුවත්පතිනි.
සිංගප්පූරුව කළ යුතු සෑම දෙයක්ම පාහේ කළේ ය.
ජනවාරි 23 වන දින එහි පළමු කොරොන වයිරස් අසාදනය වාර්තාවීමෙන් පසු සිංගප්පූරුව නම් සමෘද්ධිමත් නගර රාජ්‍යය සෑම ආසාදිත රෝගියෙකුගේම සමීප සම්බන්ධතා ඉතා සූක්ෂම ලෙස සොයා ගත්තේ ය. ඒ අතරම රටෙහි සාමාන්‍ය තත්වය පෙනෙන්නට තබා ගත්තේය. ව්‍යාපාර විවෘතව පැවතුණි. රෝගය බෝවිය හැකි ජනප්‍රජාවන් වාසය කරන ස්ථාන වසා දමන ලදී. රටවැසියන් සඳහා ප්‍රමාණවත් රෝග පරීක්ෂණ සහ ප්‍රතිකාර නොමිලේ ලබා දෙන ලදී.
එසේ තිබිසදී පසුගිය දින කිහිපය තුළ සිංගප්පූරුවේ කොරෝනා වයිරස් අසාදන ප්‍රමාණය දෙගුණයකට වඩා වැඩි විය. අග්නිදිග ආසියාවේ වැඩිම අසාදන තත්වය වාර්තා කරමින් පසුගිය සඳුදා වන විට තහවුරු කරන ලද රෝගීන් 8,000ක් විය. නව ආසාදනවලින් බොහොමයක් වාර්තා වූයේ සංක්‍රමණික කම්කරුවන් වාසය කරන තදබද නේවාසිකාගාර තුළය. මෙම තත්වය නිසා සඳුදා සිංගප්පූරුව විසින් විදේශීය ඉදිකිරීම් කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල් 180,000 ක් සඳහා දින 14 ක රැඳී සිටීමේ නියෝගයක් පනවන ලදී.
සිංගප්පුරුව තුළ කොරොන වයිරසයේ මෙම පැතිරීම පෙන්නුම් කරන්නේ වයිරස් වක්‍රයන් සමතලා වී ඇති බවක් පෙනෙන්නට තිබුණද, ටික දිනක් හෝ සති කිහිපයක් යන තුරු ඕනෑම වේලාවක නැවත පුපුරායාමක් සිදුවිය හැකි බවයි.
සිංගප්පුරු අතුදැකීම පෙන්වන්නේ නිසි කළමණාකරණයක් නොවුණ හොත් සමාජයේ දුගී ස්ථර අතර කොරොන වයිරසය දරුණු ලෙස අසාදනය විය හැකි බවයි. මෙය යම් දුරකට කොළඹ බණ්ඩාරනායකපුර අසාදනයන්ට සමානය.
කුණු කසළ නැති පිරිසිදු ඉහළ උගත් ශ්‍රම බලකායක් සිටින මේ උද්‍යාන නගර රාජ්‍යයේ කීර්තිය රදා පවතින්නේ අඩු වැටුප් ලබන කම්කරුවන් මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් මතය. සිංගප්පූරු පුරවැසිබාවය ලබා ගැනීමට එතරම් ඉඩක් නොමැති මෙම විදේශීය සංක්‍රමණිකයින් ජීවත්වන්නේ අවම ජීවන තත්වයන් යටතේය. ඔවුන් රටේ සමාජ ආරක්ෂණ ජාලයට සම්බන්ධ නැත. තනි කාමරයක කම්කරුවන් 20 ක් දක්වා පිරී ඇති මෙම විදේශීය සේවක නේවාසිකාගාර ක්ෂය රෝගය වැනි රෝග පැතිරීමේ ස්ථාන වන බව මාධ්‍ය වාර්තා දක්වයි. මෙම නේවාසිකාගාරයන්හි මුලික සෞඛ්‍ය පහසුකම් පවා නැති තරම් ය. මෙම නගර රාජ්‍යයෙහි ජනගහණයෙන් සියයට 40 ක් විදේශීකයන් වේ.
කොරාන වෛරස් වසංගතයේ ප්‍රධාන සැඟව තිබූ ප්‍රධාන කලාපයක් මෙම සිදුවීම විසින් පෙන්නම් කරයි. එනම් පීඩිත සමාජ ස්ථරයන් අතර කොරොන වයිරසය බරපතල ලෙස පැතිර යා හැකි බවයි. ශ්‍රී ලංකාවේ ද බහුතර අසාදිත පුද්ගලයින් අයත් වන්නේ සමාජයේ ධනවත් හෝ මධ්‍යම පංතික තීරුවලට නොවේ. එනයින් අපේ වැනි රටවල කොරොන වසංගතයට ද පංති පදනමක් තිබේ. කොළඹ ගුණසිංහපුර විදී ප්‍රජාවක් වූ සිය ගණනාවක් විශබීජ හරණය කරන පින්තූර වලින් පෙන්නුම් කැරුණේද එම යථාර්තයයි.
වසංගතය පාලනය කර රට සාමන්‍ය තත්වයට ගෙන ඒම පිනිස අප වඩා සැළකිල්ලක් දැක්විය යුත්තේ මෙම සමාජ තීරු අතර අවබෝධය ඉහළ නැංවීමටත් ඔවුන්ගේ සමාජ සුභ සාධනය ඇති කිරීටත් ය. එය හුදෙක් යුද්ධ මානසිකත්වයකින් සාර්ථක කර ගත හැකි කාරියක් නොවේ.
ඇතුගල විසිනි.
(නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙහි පළ වූ ලිපියක තොරතුරු ද ඇසුරු කරන ලදී.)