Friday, March 29, 2024

කොව්ඩ් 19 පරදන සටන තුලින් ජාතිවාදී හා ආගම්වාදී ඒකාධිපති පාලනයක අනතුරක්! – ජන බලවේගය

ඡායාරූපය: ජාතික ජනබලවේගයේ රැස්වීමක් ලංකා ට්රුත් වෙතිනි.

කොවිඩ් 19 පරාජය කිරීමේ ජාතික ව්‍යාපාරය තුලින් ජාතිවායද හා ආගම්වාදය පෙරටු කරගත් ඒකාධිපති පාලනයකට පාර කපා ගැනීමට ආණ්ඩුව උත්සාහ දරන බව ප්‍රකාශ කරන ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය, COVID 19 වෛරසය පැරදවීමට සියලු දෙනා එක්ව සටන් කරන අතරම මතුවිය හැකි ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන රටාවක අනතුර හඳුනා ගැනීමත් ආරම්භක මොහොතේම එය පරාජය කිරීමට සටන් කිරීමත් ප්‍රජාතන්ත්‍රවාදය අගයන සැමගේ වගකීම බව අවධාරණය කරයි. මේ බව සදහන් වන්නේ එය විසින් නිකුත් කරන ලද පහත සදහන් ප්‍රකාශයෙහි ය.

මේ මොහොතේ අප සියලු දෙනාම රටක් ලෙස, ජාතියක් ලෙස අපේ ප්‍රධාන අවධානය යොමුකොට ඇත්තේ මාරාන්තික COVID19 වෛරසය පරාජය කිරීම සඳහාය. මෙම මාරාන්තික වෛරසය පරාජය කිරීම අපේ ප්‍රමුඛ කාර්යය වන නිසා මීට පෙරද සඳහන් කළ පරිදි ජාතික ජන බලවේගය කොරෝනා පරදන සටනට සිය උපරිම දායකත්වය ලබා දෙමින් සිටී. කොරෝනා පැරදවීමේ සටනට එක්වූ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය ඇතුළු සියලුම දෙනාගේ අප්‍රතිහත මැදිහත්වීම නිසා මෙම ව්‍යසනකාරී තත්වය ඉක්මනින්ම පරාජයට පත්කළ හැකිවනු ඇතැයි අපි විශ්වාස කරමු.

COVID 19 වෛරසය පරාජය කිරීමට මැදිහත් වන අතරම අප ඉදිරියේ මතුවෙමින් තිබෙන රටට හා ජනතාවට බලපාන අභියෝග කිහිපයක් පිළිබඳව මෙරට ජනතාවගේ අවධානය යෙමුකළ යුතු යයි අපි සිතමු.

  1. COVID 19 වෛරසය කරන බලපෑමත් එම වෛසරය පාලනය කිරීමට ගතයුතු වූ ක්‍රියාමාර්ගත් නිසා ආහාර නිෂ්පාදනය ඇතුලු භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ලෝක පරිමාණයෙන් බිඳ වැටෙමින් තිබේ. මෙය ලෝක ආර්ථික අර්බුදයකට මග පාදනු ඇත.

ලංකාවද රටක් ලෙස මෙම අභියෝගයට මුහුණ පා ඇත. මේ වසර ආරම්භ වන විටමත් ලංකාවේ ආර්ථිකය පැවතියේ ණය උගුලක හසුවී ණය වාරිකය පවා ගෙවා දැමීමට අපහසු විශාල අර්බුදයකය. කොරෝනා තත්වය විසින් එම අර්බුදය තවත් තීව්‍ර කරනු ඇත. මේ වනවිට ලංකාවේ කෘෂි නිෂ්පාදනය බිඳවැටෙමින් තිබේ. විශේෂයෙන් ආහාර නිෂ්පාදනය බිඳ වැටීම නිසාත්, ලංකාවේ අපනයන කර්මාන්තයට (වතු වගාව ඇතුලු) මෙම තත්වය කර ඇති අහිතකර බලපෑම නිසාත් ලංකාවද ඉදිරියේදී ආහාර හිඟයකට හා ආර්ථික වශයෙන් විශාල අර්බුදයකට මුහුණ දිය හැකි බවට සැකයක් නැත.

මේ වනවිටත් ලංකාවේ රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව බරපතල කඩා වැටීමකට ලක්ව තිබේ. දැන් ඇ.ඩො.1ක් සඳහා ගෙවිය යුතු ප්‍රමාණය රුපියල් 200ක් ඉක්මවා තිබේ. එය එසේ වී ඇත්තේ පසුගිය මාස කිහිපය තුළ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල විශාල ලෙස අඩුවීම නිසා තෙල් මිලදී ගැනීම වෙනුවෙන් පිටරටට ඇදී ගිය ලංකාවේ ඩොලර් ප්‍රමාණය විශාල ලෙස අඩුවී තිබියදීත් ලංකාවට විදේශ රටවලින් හා ලෝක බැංකුවෙන් ආධාර ප්‍රමාණයක් ලැබී තිබියදීත්ය.

අනෙක් අතට ලංකාවේ ප්‍රධාන ඇඟළුම් කම්හල් ඇතුලු පෞද්ගලික අංශයේ ආයතන රැසක්ම අනියම් සේවකයන්ද ඇතුළුව සේවක ප්‍රමාණය අඩුකිරීමටත් සමහර ආයතන සේවක වැටුප් සහ දීමනා කප්පාදු කිරීමටත් තීරණය කර තිබේ. එම තත්වය රටතුළ රැකියා අහිමි වීමකට මග පාදන අතර ජනතාවගේ ආදායම් අහිමිවීමට හේතුවේ. කෘෂිකර්මාන්තය හා වැවිලි කර්මාන්තය තුළද නිෂ්පාදන කඩා වැටීම හා ආදායම් අඩුවීමේ අර්බුදය තිබේ.

මෙම බරපතල ආර්ථික අර්බුදය පිළිබඳවත් එය පාලනය කිරීමට දැන් සිටම ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් ආණ්ඩුව තවමත් තම අවධානය ප්‍රමාණවත් ලෙස යොමු කොට ඇති බවක් නොපෙනේ. එබැවින් ඉදිරි මැතිවරණය ගැන පමණක් සිතනවා වෙනුවට මතුව ඇති මෙම අර්බුදය පිළිබඳවත් ආණ්ඩුවව සිය අවධානය යොමුකළ යුතු යයි අපි සිතමු.

  1. ලංකාව COVID 19 වෛරසය පරාජය කිරීමේ සටන සිදුකරමින් සිටින්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවා තිබෙන මොහොතකය. ව්‍යවස්ථාවට අනුව 2020 අගෝස්තු දක්වා පැවතීමට හැකියාව තිබූ පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් මාර්තු 02වැනිදා විසුරුවා හරින ලද්දේ මෙම මාරක වෛරසය ලංකාව තුළද පැතිරීමේ අවාදනම තිබියදීය. ලංකාව තුළත් වෛරස් ආසාධිතයන් හමුවෙද්දී පවා පාර්ලිමේන්තුව විසුරුවාහළ ගැසට් නිවේදනය ආපසු කැඳවීමට ජනාධිපතිවරයා කටයුතු කළේ නැත. ඔවුන් කල්පනා කළේ ඉක්මනින් ඡන්දය පැවැත්වීම ගැනය. මැතිවරණය කල් තබනු ලැබූවේ මැතිවරණ කොමිසමේ තීරණයකට අනුවය. දැන් මේ තත්වය තුළ යළි අර්බුදයක් මතුව තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා මැතිවරණ නීතියට අනුව පාර්ලිමේන්තුව විසුරුවා මාස 3ක් ඉක්ම යාමට පෙර, එනම් ජූනි 02දිනට පෙර පාර්ලිමේන්තුව කැඳවිය යුතුය. ඒ අනුව ඊට පෙර එනම් මැයි අග ඡන්දය පැවැත්විය යුතුය. කොරෝනා අනතුර තවමත් පවතිද්දී ඡන්දය පැවැත්වීමට සිදු වුවහොත් එය අනතුරුදායක වේ. මැතිවරණ කොමිසමේ අදහස ඡන්දය මැයි අග පැවැත්විය නොහැකි බවය.

මේ තත්වය පිළිබඳව මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරයා දැනුවත් කොට මැයි අග ඡන්දය පැවැත්වීම දුෂ්කර නිසා ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙස දන්වා තිබුණත් ජනාධිපතිවරයාගේ පැත්තෙන් මැතිවරණ කොමිසම වෙත ලැබී ඇත්තේ එය නොසලකා හරින හා දැඩි ප්‍රතිචාරයකි. ඉන් පැහැදිලි වන්නේ ආණ්ඩුව මැයි අග කෙසේ හෝ මැතිවරණය පැවැත්වීමට අදහස් කරන බවය. පාර්ලිමේන්තුව විසුරුවා ඇති තත්වය තුළ මැතිවරණය පැවැත්විය යුතු බව ඇත්තය. එහෙත් රෝගය මුළුමනින්ම පාලනය වී නොතිබියදී මැයි අග ඡන්දය පැවැත්වීමට පියවර ගතහොත් එක අතකින් ජනතාව ඒකරාශී වන අවස්ථා වැඩිවන නිසා පාලනය කරන ලද වෛරසයේ ව්‍යාප්තිය යළි වැඩිවීමට හේතුවක් විය හැක. එසේම එය වැලැක්වීමට පිරිස් එක්වීම සීමා කළහොත් සාධාරණ ඡන්දයක් පැවැත්වීමට එය බාධාවක් වේ.

පසුගියදා මැතිවරණ කොමිසමට ලිපියක් යොමු කරමින් ජනාධිපති ලේකම්වරයා ප්‍රකාශ කර තිබුණේ ඡන්දය පැවැත්වීම මැතිවරණ කොමිසමේ කාර්යයක් බවය. එය ඇත්තය. එහෙත් මැතිවරණය පැවැත්වීම කොමිසමේ කාර්යයක් වුවත් සාධාරණ හා නිදහස් මැතිවරණයක් පැවැත්විය හැකි වටපිටාවක් සකස්කොට තහවුරු කිරීම ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුවේ වගකීම වේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා පසුගිය දිනෙක ප්‍රකාශ කළේ ලංකාවේ කොරෝනා රෝගය පැතිරීමේ උච්ඡතම අවස්ථාව එළඹෙන්නේ මැයි මුල් සතියේ බවය. මේ අතර දැන් ගම්පහ දිස්ත්‍රික්කය මුළුමනින්ම වසා දමා තිබේ. දිනපතාම අලුත් රෝගීන් හඳුනා ගනිමින්ද තිබේ. තත්වය එසේ තිබියදී මැයි මස මැතිවරණය පැවැත්වීමට කල්පනා කළ හැක්කේ ජනතාවගේ ආරක්‍ෂාව ගැන කිසිදු හැඟීමක් නැති තම බලය ගැන පමණක් හිතන පාලනයකටය. මෙම ප්‍රශ්නය බරපතල ලෙස සැලකිය යුත්තේ ඒ නිසාය.

රාජ්‍ය මාධ්‍ය ඇතුලු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය විශාල ප්‍රමාණයක් මගින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරගෙන යාමට ආණ්ඩුවට ඇති හැකියාව විපක්‍ෂයේ පක්‍ෂවලට නැත. එබැවින් රෝගය මුළුමනින්ම පාලනය නොවී තිබියදී හා විපක්‍ෂයට මැතිවරණ කටයුතු කිරීමට සාධාරණ කාලයක් ලබා නොදී, බියෙන් සැකෙන් තොරව ඡන්ද පොළට ඒමට ඡන්ද දායකයාට විශ්වාසනීය පරිසරයක් සකස් කර නොතිබියදී ඡන්දය පවත්වන්නේ නම් එය සාධාරණ මැතිවරණයක් වන්නේ නැත. එබැවින් මැතිවරණය කුමණ දිනයක පැවැත්වුවත් එය කාටත් අදහස් පළ කළ හැකි සාධාරණ හා නිදහස් මැතිවරණයක් පැවැත්විය හැකි වටපිටාවක් තුළ පැවැත්විය යුතුය. එවැනි වටපිටාවක් සකස් කොට ඡන්දය පැවැත්වීම ආණ්ඩුවේ වගකීමක් බව අවධාරණය කරමු.

  1. COVID 19 වෛරසය පැතිරීම මර්දනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමේදී සමහර නීති රීති සීමා සොලකමින් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට සිදුවීම අප කාටත් තේරුම්ගත හැක. ඒ මෙය විශේෂ තත්වයක් වන බැවිනි. එහෙත් කොරෝනා මර්දන ක්‍රියාවලියට මුළු සමාජයම, සමස්ත ජාතියම සම්බන්ධ කර ගන්නවා වෙනුවට ජනාධිපතිවරයා තමන්ට අවනත පිරිසක් පමණක් එක්කර ගනිමින් කටයුතු කිරීමත්, එහිදී පාර්ලිමේන්තුව අක්‍රීය කර තිබීමත් සමහර සැලකිය යුතු නීතිරීති උවමනාවෙන්ම නොසලකා හැරීමත් මගින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයක් තුළ කටයුතු කරනවා වෙනුවට තනි පුද්ගලයෙකුගේ පාලනයට ඇති කැමැත්ත පෙන්වමින් තිබේ. මෙහි බරපතලකම වන්නේ පොදු සමාජය තුළින්ද මෙය අනුමත කරවන ලෙස සියලු ජනමාධ්‍ය උපයෝගීකරගෙන ආණ්ඩුව කටයුතු කිරීමයි.

ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක් කරමින් තනි පුද්ගලයෙක් වටා එක්වුණු කණ්ඩායමක පාලනයක් සාධාරණය වනසේ ආණ්ඩුව විසින් කරගෙන යන මෙම කටයුතු ප්‍රාජතන්ත්‍රවාදයට තර්ජනයක් විය හැකි අතර අනාගත ඒකාධිපති පාලනයක් සඳහා පෙරහුරුවක්ද විය හැක. එසේම මුළු රටම ජාති ආගම් භේදයෙන් තොරව එකට එක්ව මෙම කොරෝනා ව්‍යසනය පරාජය කළ යුතුව තිබියදී ආණ්ඩුවේ විවිධ කණ්ඩායම් හා සමහර ජනමාධ්‍ය මෙම ව්‍යසනය තුළ පවා ජාතිවාදය අවුලුවනු දැකිය හැකි විය. විශේෂයෙන් රෝගීන් හඳුනා ගන්නා විට මුස්ලිම් රෝගීන් වෙනම නම් කරමින් මුස්ලිම් විරෝධී මතයක් සමාජය තුළ නිර්මාණය කිරීමට උත්සාහ කිරීම කණගාටුදායකය. සමාජ මාධ්‍ය තුළ ආණ්ඩුව විවේචනය කරමින් අදහස් පළ කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට තිබූ උනන්දුව හා හදිසිය මෙවැනි ජාතිවාදී මත පැතිරවීම වැලැක්වීමට තිබුණේ නැත. ජාතික ජන බලවේගයට එරෙහිව පතුරුවන මෙවැනි අසත්‍ය ප්‍රකාශ පිළිබඳ පැමිණිලි කර තිබියදීත් ඒ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීමටද ආණ්ඩුව තවම කටයුතු කර නැත. ජාතිවායද හා ආගම්වාදය පෙරටු කරගත් ඒකාධිපති පාලනයකට පාර කැපිය හැකි යැයි අප පවසන්නේ මේ තත්වය තුළය.

එබැවින් COVID 19 වෛරසය පැරදවීමට සියලු දෙනා එක්ව සටන් කරන අතරම මතුවිය හැකි ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන රටාවක අනතුර හඳුනා ගැනීමත් ආරම්භක මොහොතේම එය පරාජය කිරීමට සටන් කිරීමත් ප්‍රජාතන්ත්‍රවාදය අගයන සැමගේ වගකීම බව අවධාරණය කරන ජාතික ජන බලවේගය ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම වෙනුවෙන් කළ හැකි සියලු කැපකිරීම් කිරීමට සූදානම් බවද අවධාරණය කර සිටී.

ජාතික ජන බලවේගය

2020.04.14

 

Archive

Latest news

Related news