Thursday, July 18, 2024

කොවිඩ් මැඩළීම මුවාවෙන් සමාජ ජාල පරිශිලකයින් මැඩළීම ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරකි- IMA Lanka

මෙරට ‍කොවිඩ්-19 වසංගත තත්ත්වය පැතිරීමත් සමග විශේෂයෙන් අන්තර්ජාල අවකාශය තුළ අදහස් ප්‍රකාශ කළ සාමාජ මාධ්‍ය පරිශීලකයින් පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම් වාර්තා වන්නට පටන් ගත්තේය. එහි දී එම අත්අඩංගුවට ගැනීමට හේතු ලෙස කියැවුනේ, සාවද්‍ය පුවත්, ජාතීන් අතර වෛරය ඇති කිරීමේ ප්‍රකාශ, සමාජ ජාල තුළට අන්තර්ගතයන් ලෙස එකතු කිරීම වැනි කරුණුය.

සාවද්‍ය පුවත්, වෛරී ප්‍රකාශන ඇතුලු අගතිගාමී අන්තර්ගතයන් වලට එරෙහි මෙන්ම ඒවාට ප්‍රතිවිරුද්ධව, සත්‍ය තොරතුරු සහ දත්තයන්, සමාජ වගකීමකින් යුතුව ප්‍රකාශ කිරීමට හා බෙදාගැනීමට උනන්දුවන සහ සමාජ වගකීමකින් යුතු සත්‍ය තොරතුරු බෙදාගැනීමට සිය පරිශිලකයින් උනන්දු කරන සංවිධානයක් ලෙස අපි, ඒ පිළිබද අපගේ දැඩි අවධානය යොමු කරමු.  එසේම, රූපවාහීනි මාධ්‍ය තුළ එසේ සිදුකරන වෛරී/අසත්‍ය සහ ජනතාව නොමගයවන ප්‍රකාශයන්ට විරුද්ධව, පොලීසිය ඇතුලු ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් කිසිදු ආකාරයක ක්‍රියාමාර්ගයක් නොගනිමින්,  ‘නිහඩ’ පිළිවෙතක් අනුගමනය කිරීම පිළිබදවත් අපගේ දැඩි අවධානය යොමුව තිබේ.

පවතින තත්ත්වය තුළ,  කිසියම් පුරවැසියෙක් විසින්, ශ්‍රී ලංකාවේ මූළික නීතිය උල්ලංඝනය කරමින් කිසියම් හෝ නීත්‍යානුකූල නොවන ක්‍රියාවක්, අදහසක් ක්‍රියාත්මක කර ඇත්නම් ඔහුට හෝ ඇයට විරුද්ධව පවතින ‘සාමාන්‍ය නීතිය’ යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම පිළිබද අපගේ විරෝධයක් නොමැති අතර, එම අත්අඩංගුවට ගැනීම් තුළින් ‘අදහස් ප්‍රකාශ කරන පරිශීලකයින්’ බියවැද්දීමේ හැගවුම් සහ ප්‍රවණාතාවයන් පෙන්නුම් නොකළ යුතු බවත් අපගේ හැගීමයි. එහිදී, අත්අඩංගුවට ගැනීම් තුළින් අදහස් ප්‍රකාශ කරන පරිශිලිකයින් බියවැද්දීමට උත්සහ කරන්නේ නම්, එය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ මානව හිමිකම්වලට එල්ලකරන ප්‍රබල පහරක් වනු ඇත. 

එසේම, සාමාන්‍ය නීතියට අනුව කටයුතු නොකර, ශ්‍රී ලංකා පොලීසිය විසින් හිතාමතාම ‘සැකකරුවෙක්’ බන්ධනාගාර ගත කිරීමේ  ‘පරම චේතනාවෙන්ම’, ‘සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත’ භාවිතා කරමින් අධිකරණයට කරුණු ගොනු කිරීම පිළිබද අපගේ දැඩි අවධානය යොමුව තිබේ.

එහි ආසන්නම උදහරණය වන්නේ, ෆේස්බුක් හී ‘සිය මතයක්’ ප්‍රකාශ කළ රම්සි රසීක් මහතා පසුගිය අප්‍රේල් 9වනදා, රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමයි. රම්සි මහතා අත්අඩංගුවට ගෙන අධිකරණය ට ඉදිරිපත් කරමින් පොලීසිය පවසා ඇත්තේ ‘සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත’ යටතේ ඔහුට චෝදනා ගොනු කරන බවය. මෙය පොලීසිය විසින් අදාල සැකකරු බන්ධනාගාර ගත කිරීමේ ‘පරම චේතනාවෙන්ම’ සිදුකරන ලද්දක් බව අපගේ හැගීමය. කෙසේ නමුත්, රම්සි මහතා, ජාතීන් අතර වෛරය, ප්‍රචණ්ඩත්වය හෝ එවැනි කිසිදු ආකාරයක, අදාල පනත හි කිසිදු වගන්තියක් උල්ලංඝනය වන, කිසිදු ආකාරයක ප්‍රකාශයක්, සිදු කර නොමැති තත්ත්වයක් තුළ ‘සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත’පනත භාවිතා කරමින් පොලීසිය විසින් කරුණු ගොනු කිරීමට ගන්නා උත්සහයයි.

මෙවැනි පියවරයන් අදහස් ප්‍රකාශනයේ සහ භාෂනයේ නිදහසට පොලීසිය විසින් හිතාමතාම එල්ල කරනු ලබන ප්‍රබල පහරක් බව අපේ වැටහීමය. එසේම භාෂණයේ සහ ප්‍රකාශණයේ නිදහස වැනි මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා ඇති නීතිමය ප්‍රතිපාදනයක් වන ‘සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත’ පොලීසිය විසින් එසේ අවභාවිත කිරීම අප දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

මෙම මස 9 දින පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම කවුන්සිලයේ,  නොනිල සැසිවාරය අමතා කළ සිය අදහස් දැක්වීමෙහි දී, එහි මහ කොමසාරිස්වරිය විසින් ප්‍රකාශ කරන ලද පරිදි  මාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සඳහා සීමාවන් පැනවීමට ගත් පියවර ගැන ද මම සැලකිලිමත් වෙමි.  “වැරදි තොරතුරුයැයි චෝදනා කැරෙන ප්‍රකාශ මැඩපැවැත්වීම සඳහා නොපැහැදිලි ලෙස සකස් කරන ලද ක්‍රියාමාර්ග ඕනෑම විවේචනයක් මර්දනය කිරීම සඳහා යොදා ගත හැකිය.” යන්න ශ්‍රී ලංකාවෙහි දී ක්‍රියාවට නැගෙමින් තිබීම ගැන අප කණස්සල්ලට පත්වෙමු.

එබැවින්, පවතින අතිදුෂ්කර වසංගත තත්ත්වයක් හමුවේ වුව ද,  ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ  භාෂණයේ සහ ප්‍රකාශණයේ  නිදහස ඇතුලු මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට, දේශීය සහ අන්තර් ජාතික වශයෙන් බැදී සිටින ආණ්ඩුවක් නම් මේ පිළිබද සිය දැඩි අවධානය යොමුකර, එම සියලු සිදුවීම් වලට ‘සාධාරණය සහ යුක්තිය’ ලබා දිම සදහා නොපමාව මැදිහත් වී, නීතිපති දෙපාර්තමේන්තුව, පොලීසිය ඇතුලු ආයතන ජනයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට බැදී සිටින ආයතන බවට ප්‍රායෝගිකව පෙන්වන ලෙස අප ඉතාමත් උනන්දුවෙන් ඉල්ලා සිටිමු.

සම්පත් සමරකෝන්.කැදවුම්කරු

මාධ්‍ය නිවේදනය/15 අප්‍රේල් 2020/IMAlanka

 

Archive

Latest news

Related news