Friday, May 3, 2024

නිරෝධායනයේ මුවාවෙන් අදහස් ප‍්‍රකාශනයට හා විරෝධය පෑමට ඇති අයිතිය මර්දනය නොකළ යුතුය – වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන

(Image courtesy of Council of Europe)

වත්මන් තත්වය යටතේ ජනතාව  අතරින් විරෝධයන් මතුවීම වැළැක්විය නොහැකි බවත් ආණ්ඩුව කළ යුත්තේ මතුවන ජනතා විරෝධයන් සහ අදහස් මර්දනය කිරීම නොව, ඒවාට හේතුවූ තත්වයන් වළක්වා, නොපමාව විසඳුම් ලබාදීම බවත් පෙන්වා  දෙන වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන ගණනාවක්  පීඩාවට ලක්වූ ජනකොටස් තමනට සාධාරණය ඉල්ලා සිදුකරන සාධාරණ උද්ඝෝෂණයන් සතුරුකම් ලෙස නොසළකන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටී. තවද මේ තත්වය තුළ අදහස් ප්‍රකාශ කිරීමට හා විරෝධය පෑමට ජනතාවට ඇති මූලික අයිතිය ආරක්ෂා කරන ලෙසත්, මර්දනය වෙනුවට පීඩාවට පත් ජනතාවගේ ගැටලූවලට කඩිනමින් විසඳුම් ලබාදීමටත් කටයුතු යොදන ලෙසත් එම සංවිධාන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

සම්පූර්ණ ලිපිය පහත පළවේ.

ජනාධිපතිතුමා
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ 01.
ගරු ජනාධිපතිතුමනිතමන්ට සාධාරණ ලෙස සහනාධාර නොලැබීම පිළිබඳව ගම්පොළ දොළුව ප්‍රදේශයේ පිරිසක් සාමකාමී විරෝධතාවයක නිරත වීමෙන් අනතුරුව එම උද්ඝෝෂණය සංවිධානය කළායැයි එක් පුද්ගලයෙක්ව පේරාදෙණිය පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයාව අපේ‍්‍රල් 10 වැනිදා මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

කොවිඞ්-19 වසංගත තත්වය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවගේ අදහස් ප්‍රකාශනයට ඇති අයිතිය සහ විරෝධය පෑමට ඇති අයිතිය වසංගතය වැළැක්වීම සඳහා සිදුකරන නිරෝධායන ක්‍රියාවලියට මුවා වෙමින් මර්දනය කරමින් සිටින බව පෙනෙන්නට ඇත. ඉහත අත්අඩංගුවට ගැනීමද එම ක්‍රියාවලියේ දිගුවක් බව අපගේ නිරීක්ෂණය වේ. පසුගිය කාලසීමාවේදී සමාජ මාධ්‍ය හරහා අදහස් ප්‍රකාශ කළ පුද්ගලයන් ගණනාවක් අත්අඩංගුවට ගෙන තිබුණු අතර දිගින් දිගටම එවැනි පුද්ගලයන්ව අත්අඩංගුවට ගන්නා බව ප්‍රකාශ කරමින් ඉහළ පොලිස් නිලධාරීන් මාධ්‍ය හරහා ජනතාව බියවද්දමින් සිටින බව ද දක්නට ලැබේ.

සහන සැලසීමේදී සැලසුමකින් තොර ක්‍රියාකාරකම් නිසා පීඩාවට පත්වන ජනකොටස් වල විරෝධතා හමුවේ ආණ්ඩුව දැක්විය යුතු ප‍්‍රතිචාරය වන්නේ එම විරෝධතා මර්දනය කිරීම නොව, එම විරෝධතා සඳහා හේතු වූ ගැටළු වලට ඇහුම්කන්දී ඒවාට නිසි විසඳුම් ලබාදීමයි.

මෙවැනි වසංගත තත්වයකදී සාධාරණ පදනමක් මත ජනතාවගේ ඇතැම් අයිතිවාසිකම් කඩවීම වැළැක්විය නොහැකි බව පැහැදිළිය. උදාහරණයක් ලෙස ජනතාවට නිදහසේ ගමන් කිරීමේ අයිතිය මෙවැනි මොහොතක සීමා කිරීමට සිදුවේ. එහෙත් අදහස් ප‍්‍රකාශනයේ අයිතියත්, විරෝධය පෑමේ අයිතියත් මර්දනය කිරීම බරපතල තත්වයකි. මෙය ඒකාධිපති ලක්ෂණ සහිත අධිකාරිවාදී ආණ්ඩුවක ක්‍රියාකාරීත්වයකි. ලංකාවට වඩා සාර්ථක ලෙස කොවිඞ්-19 රෝගය මර්දනය කරමින් සිටින රටවල් ගණනාවක් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ නොකර එම කටයුත්ත කර ඇත.

දොළුව ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් ගණනාවක් අපේ‍්‍රල් 09 වැනිදා යෙදුණු විරෝධතාවයේදී මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළේ තමන්ට ආණ්ඩුවෙහි සහනාධාර නොලැබෙන බවත්, ඒවා තෝරාගත් පිරිසකට පමණක් ලැබෙන බවත්, තමන් අසරණ වී සිටින බවත්ය. මෙවැනි අසාධාරණකම් දොළුව ප‍්‍රදේශයෙන් පමණක් නොව රටේ ප්‍රදේශ ගණනාවකින් වාර්තාවන තත්වයක් පවතින බව අප සංවිධානවල නිරීක්ෂණය වේ.

ආණ්ඩුවෙන් ලබාදෙන සහනාධාර දරිද්‍රතාවයෙන් පෙළෙන ප්‍රජාවට සාධාරණ ලෙස නොලැබෙන බව දැනටමත් එල්ලවී ඇති ප්‍රබල චෝදනාවකි. ඊට අමතරව අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාගැනීමේ ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක නොවෙන බවටද දැනටමත් චෝදනා එල්ලවී ඇත. රාජ්‍ය සේවකයන්ගේ ණය වාරික අය කර නොගන්නා බව ආණ්ඩුව ප්‍රකාශ කළත් එම පොරොන්දුවද නිසියාකාරයෙන් ක්‍රියාත්මක වී නැත. එළවළු ගොවීන්ගේ අස්වැන්න මිලදී ගැනීමේ ක‍්‍රියාවලියෙහිද අඩුපාඩු ඇතැයි චෝදනා එල්ලවෙයි.

මෙවැනි තත්වයන් නිසා ජනතාව අතරින් විරෝධය මතුවීම වැළැක්විය නොහැකිය. ආණ්ඩුව කළ යුත්තේ මතුවන ජනතා විරෝධයන් සහ අදහස් මර්දනය කිරීම නොව, ඒවාට හේතුවූ තත්වයන් වළක්වා, නොපමාව විසඳුම් ලබාදීමය. පීඩාවට ලක්වූ ජනකොටස් තමනට සාධාරණය ඉල්ලා සිදුකරන සාධාරණ උද්ඝෝෂණයන් සතුරුකම් ලෙස දැකීම ආණ්ඩුවකට තරම් නොවේ. අනෙක් අතට අපේ‍්‍රල් 10 වැනිදා සිදුකරන ලද උක්ත අත්අඩංගුවට ගැනීම පීඩාවට ලක්වූ ජනකොටස් වෙත, ඔවුන් විඳින පීඩාව පිළිබඳව සංවිධානාත්මක හඬක් නොනඟන ලෙස කරන ලද බලපෑමක් ලෙස ද සැලකිය හැකිය.

මේ තත්වය තුළ අදහස් ප්‍රකාශ කිරීමට හා විරෝධය පෑමට ජනතාවට ඇති මූලික අයිතිය ආරක්ෂා කරන ලෙසත්, මර්දනය වෙනුවට පීඩාවට පත් ජනතාවගේ ගැටලූවලට කඩිනමින් විසඳුම් ලබාදීමටත් කටයුතු යොදන ලෙසත් පහත සංවිධාන ඔබතුමාගෙන් ඉල්ලා සිටී.
මෙයට,

x  ලංකා ගුරු සංගමය
x  
ලංකා වෙළද කාර්මික හා පොදු සේවක සංගමය
x  
ශී‍්‍ර ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය
x  
වාරිමාර්ග පොදු සේවක සංගමය
x  
ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනය
x  
පළාත් කළමණාකරණ සේවා නිළධාරින්ගේ සංගමය
x  
ජාතික තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය
x  
දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකතුව
x  
දුම්රිය සේවක සංගමය
x  
දුම්රික කම්කරු එකතුව
x  
මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය
x  
වානිජ හා කාර්මික සේවක සංගමය
x  
එක්සත් කම්කරු සම්මේලනය
x  
ටෙලිකොම් සියලූ සේවක සංගමය
x  
තොරතුරු හා විදුලි සංදේශ සියලූ සේවක සංගමය
x  
රජයේ කර්මාන්ත ශාලා සේවක සංගමය
x  
එක්සත් ජාතික තැපැල් සේවක සංගමය
x  
එක්සත් තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය
x  
ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ සේවක වෘත්තිය සමිතිය
x  
ලංකා වෘත්තීය සමිති සම්මේලනය
x  
මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය
x  
වානිජ හා කාර්මික සේවක සංගමය
x  
එක්සත් කම්කරු සම්මේලනය
x  
ටෙලිකොම් සියලූ සේවක සංගමය
x  
ලංකා වතු සේවා සංගමය
x  
එක්සත් පොදු සේවක සංගමය
x  
ශී‍්‍ර ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
x  
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
x  
අන්තර්ජාල මාධ්‍ය කි‍්‍රයාකාරීත්වය (IMA)
x  
සිරකරු අයිතිවාසිකම් පිළිබඳ කමිටුව
x  
ශී‍්‍ර ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
x  
ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය

 

Archive

Latest news

Related news