Friday, May 3, 2024

වසංගත තත්වය අවසන් වනතුරු නි.වෙ.ක. සේවක සේවිකාවන්ට සහන සළසනු! – විමුක්ති ව්‍යාපාරය

ඡායාරූපය: මාර්නිතු 27 වන දින නිවෙස් බලා යාමට බලා සිටින නිදහස් වෙළද කලාප සේවක සේවිකා පිරිස්.

නිදහස් වෙළඳ කලාප හා මෑන්පවර් සේවක සේවිකාවන්ට වේතන ගෙවීම හා වියලි ආහාර ලබා දීම එම සේවකයන්ගේ ආයතනවල හා ආණ්ඩුවේ වගකීමකි!

ලංකා ආර්ථිකයේ කොඳු නාරටියවන් නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන්ට සලකන ආකාරය පිළිබඳ විමුක්ති ව්‍යාපාරය අවධානය යොමු කර සිටි. ඇඟලුම් කර්මාන්තය විසින් ලංකාවට ලබා දෙන ආදායම 2019 වාර්තාවලට අනුව ඩොලර් බිලියන 5.56 කි. එසේම දිනක වැටුප මත වැඩකරන මෑන්පවර් සේවකයන්ද ඒ අතර වේ. කොරෝනා වසංගතය නිසා ඇති වූ තත්වයෙන් ඔවුන්ගේ එදිනෙදා ජීවන යැපීම් පවා අර්බුදයට ගොස් ඇත. මේ බහුතරය මාර්තු 19 වෙනිදා තෙක් වැඩ කල පිරිස් වන අතර ඉන් සමහෙරෙක් ඇඳිරි නීතිය නොතකා වැඩට වාර්තා කරවා ගෙන ඇත.

ආදායම් සුරක්ෂිතතාව මෙම සේවකයින්ට ඉතාම වැදගත් වන්නේ ඔවුන් මත පව්ල් විශාල පිරිසක් යැපෙන නිසාය. එහෙත් ආණ්ඩුවෙන් හෝ ඔවුන් වැඩ කරන ආයතනවලින් මේ ඇතිවී ඇති හදිසි කාලය තුලදී ඔවුන්ව රැක බලා ගැනීමට කිසිඳු පියවරක් ගෙන නැත. ඉතාම සුළු ආයතන කිහිපයක් ඔවුන්ට වේතන අත්තිකාරමක් ලබාදීම සඳහා කටයුතු කර ඇතිමුත් බහුතරය එසේ නොවීමෙන් ඔවුනගේ හා ඔවුන් මත යැපෙන්නන් කොරෝනා වෛරසය පිළිබඳ පමණක් නොව සිය ජීවත්වීම පිළිබඳ බිය හා මානසික පීඩාවකට මුහුණ දෙන බව පෙනෙයි.

මෑන් පවර් සේවක සේවිකාවන් පිළිබඳවද විශේෂිත අවධානය යොමු කල යුතුය. දශක ගණනක් වෘතීය සමිති හා ක්‍රියාකාරිකයන් මෙවැනි ආයතන කිසිඳු ශ්‍රම නීතියකින් නොබැදි කටයුතු කිරීමෙහි ඇති අවධානම මතු කළේය. මෙවැනි හදිසි තත්වයකදී එම සේවකයන්ගේ අවධානම් තත්වය ඉහල යන අතර කිසිඳු ආයතනයක් ඔවුන්ට පඩි නඩි ගෙවීම හෝ ඔවුන්ව රැක බලා ගන්නේ නැත. ඒ නිසාම අධි අවධානම් තත්වයකදී රටක් ලෙස අපිට මෙවැනි පිරිස් නොසලකා හැරිය නොහැකිය. එසේ කරන්නේ නම් ඔවුන් අසරණභාවයටත්, සාගින්නටත් ඔවුනගේ දරුවන් මන්දපෝෂණයටත් ලක් වනු ඇත.

නිවෙස් බලා යනු වස් සහ ඔවුන්ට සැළකූ හැටි!

ඒ නිසා අප මතු කරන්නේ මෙම ආයතන සිය සේවක සේවිකාවන්ට ඉදිරි මාස තුනකටවත් අදාළ වේතන තහවුරු කර ඒවා ලබා ලබාදීමට කටයුතු කල යුතු බවයි. ආදාල ආයතන ඔවුනගේ සෞඛ්‍ය හා මුල්‍යමය ආරක්ෂාව තහවුරු කල යුතුය. වෙළඳ කලාපයට අදාළ ඇඟලුම් කම්හල් ආයතන හා මෑන්පවර් ආයතනද, යම් මුදලක් ආණ්ඩුව විසින්ද සපයා එම මුදල් ආණ්ඩුව විසින් මෙහෙයවන පොදු හදිසි අරමුදලකට යොමු කර ඊට අදාළ සේවකයන්ට අදාළ ගෙව්ම් ලබා දෙන ලෙස විමුක්ති ව්‍යාපාරය ඉල්ලා සිටි.

අර්බුදය අවසන් වන තෙක් මෙම සේවකයන්ගේ ජීවන අවශ්‍යතා මුලික කරන ලෙස ආණ්ඩුවෙන් අපි ඉල්ලා සිටිමු. සියලුම සේවකයන් සිය අවශ්‍යතා සපුරා ගන්නේ පඩියට අමතර අතිකාල දීමනා මුල් කරගෙනය. වේතන නොලබා තිබියදීත් බෝඩිම් කාමරහිමියන් ඔවුන්ගෙන් මාසික ගෙවීම් ඉල්ලා සිටියි. ඔවුනගේ ශ්‍රමයේ ඇති අස්තීරභාවය හා උපයන මුදලේ ස්වභාවය නිසාවෙන්ම කිසිඳු ආර්ථික ආරක්ෂාවක් ඔවුනට නොමැත.

කිසිඳු සැකයකින් තොරව ඉදිරියේදී පැමිණීමට නියමිත ආර්ථික අවපාතයට මුහුණ දීම සඳහා ආණ්ඩුව දිගු කාලීන පියවර ගතු යුතු බව අප විමුක්ති ව්‍යාපාරය ලෙස ඉල්ලා සිටිමු. සියලුම ජනයාගේ යහපැවැත්ම තහවුරු කරන ලෙසත් විශේෂයෙන් මෙවැනි අවධානම් සහිත පිරිස්වල ජීවන අවශ්‍යතා පිළිබඳ ප්‍රතිපත්ති සැකසිය යුතු බවත් අප අවධාරණය කර සිටිමු.

විමුක්ති ව්‍යාපාරය වෙනුවෙන්;

අර්මිසා ටේගල්, ස්වස්තිකා අරුලිංගම්,මරිසා දී සිල්වා,ලක්මාලි හේමන්චන්ද්ර, අමාලි වෙදගෙදර, මෙගාරා ටේගල්,ගීතිකා ධර්මසිංහ, තර්මිකා සිවරජා

Archive

Latest news

Related news