Friday, April 19, 2024

ගෝඨාභයගේ “පළිගැනීම්” කොමිසමට විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණය කියා දුන් නීති පාඩම!

පසුගිය සති ගණනාවක් පුරා ගොඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සහ විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණය අතර තිබූ නීති ගැටුම ගෝඨාභය කොමිසම “යටත් වීම” මගින් පසුගිය 12වනදා අවසානයකට පැමිණියේ ය. කොමිසම නීතිපතිවරයා පවා කැඳවමින් උත්සාහ කළේ රහස් පොලීසිය විසින් විමර්ශණය කර දකස් කරන ලද ලිපි ගොනු මහාධාකරණයට නොදී ඇරීමට ය. එම පියවර සාර්ථක වූයේ නම් සාක්ෂි නැතිකම නිසා මෙම නඩුව නතරවන්නට ඉඩ තිබුණි. ත්‍රි පුද්ගල මහාධිකරණය විසින් කරන ලද නියෝගයෙහි මෙසේ සඳහන් වේ: “මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව මෙම ත්‍රිපුද්ගල මහාධිකරණයේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට මේ ආකාරයෙන් අවහිර කරයි නම් රටේ අනෙක් අධිකරණවලට දක්වන ප්‍රතිචාර කෙසේද යන්න තේරුම් ගත හැකිය. විශේෂයෙන්, පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ වෙනත් පොලිසියක් හෝ මෙම පරීක්ෂණවල ගොනු ජනාධිපති කොමිසමට බාර දුන් පසුව ඔවුන් සිදුකරන්නේ කිසිම අධිකරණයක නඩු කටයුත්තක් සඳහා එම ගොනු ලබා නොදීම නම්, එයින් සිදුවන්නේ රටේ අනෙක් අධිකරණවලට ද එම නඩු විභාග කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වීමයි. මේ පිළිබඳ ගරු නීතිපතිතුමාගේ විශේෂ අවධානය යොමු කරන ලෙස මෙම ත්‍රිපුද්ගල මහාධිකරණය ඉල්ලා සිටී.”

සම්පූර්ණ නියෝගය පහත පළවේ.

කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරිපිට දී ය.
කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් ඒ කළුආරච්චි මැතිතුමා (සභාපති)
කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මැතිතුමා
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මැතිතුමා

නඩු අංකය – HC (TAB) 504/2019    දිනය – 2020.03.10   වේලාව ..3.20 

නියෝගය:

මෙම අධිකරණය විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින ලද්දේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුවට අදාල අලින් සම්බන්ධව පරීක්ෂණ පවත්වා සකස් කරන ලද ගොනු කිහිපයකි. එම ගොනු ඉල්ලා සිටි විට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් තිදෙනාගේ අත්සනින් යුතුව ඉදිරිපත් කර ඇති 05-03-2020 දිනැති ලිපියේ සඳහන් වන්නේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් රැස් කර ගත් තොරතුරු සහ ඒ මත සකස් කරනු ලැබූ අතුරු හෝ අවසන් වාර්තා ඉදිරිපත් කළ යුතු වන්නේ අතිගරු ජනාධිපතිතුමා වෙත පමණක් බවත්, අතිගරු ජනාධිපතිතුමා හැර වෙනත් කිසිදු ආයතනයකට හෝ පුද්ගලයෙකුට එම රැස්කර ගත් තොරතුරු හෝ වාර්තා හෝ ඉන් යම් කොටසක් හෝ ඉල්ලා සිටීමට නීතිමය හැකියාවක් නොමැති බවයි.

මෙම ලිපිය කොමසාරිස්වරුන් විසින් ලියා ඇත්තේ මෙම අධිකරණය විසින් කරන ලද ඉල්ලීම පිළිබඳව අවබෝධයක් නොමැතිව බව පෙනී යන කරුණකි. ඊට හේතුව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලබන අතුරු වාර්තාවක් හෝ වෙනත් වාර්තාවක් හෝ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් රැස් කරගත් තොරතුරු හෝ මෙම අධිකරණයෙන් ඉල්ලා නැත. මෙම අධිකරණය ඉල්ලා සිටින්නේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ වලින් රැස්කර ගත් ඔවුන් විසින්ම සකස් කර ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට බාර දෙන ලද ගොනු කිහිපයක් පමණි. එම ගොනු ඉල්ලා සිටින්නේ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේම නිලධාරීන්ට සාක්ෂියක් ලබා දී ආපසු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත බාර දීම සඳහා ය

එසේම මෙම නඩුවේ සියළුම විත්තිකරුවන් වෙනුවෙන් දන්වා සිටියේ ඔවුන් මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට මෙම නඩුවට අදාල කරුණු පිළිබඳ කිසිම පැමිණිල්ලක් කර නැති බවයි. ඒ නිසා මෙම ලේඛන මෙම අධිකරණයේ නඩු කටයුතු කරගෙන යාම සඳහා ඉදිරිපත් කිරීමට කිසිදු නෛතික බාධාවක් හෝ පරීක්ෂණ සභාවේ කටයුතු වලට බාධාවක් හෝ සිදුවන්නේ නැත.

එසේම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සිදුකරනු ලබන්නේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට අදාල පරීක්ෂණමය කටයුත්තක් පමණක් බවත්, මෙම ත්‍රිපුද්ගල මහාධිකරණය සිදුකරනු ලබන්නේ අග්‍ර විනිශ්චයකාර තුමා විසින් පැවරූ විශේෂ නඩු කටයුත්තක් විභාග කිරීම බවත්, උගත් කොමසාරිස්වරුන් තේරුම් ගත යුතු කරුණකි.

එසේම කොමසාරිස්වරුන්ගේ අත්සනින් එවා ඇති ලිපියෙහි සඳහන් වන්නේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන්ට සිතාසි නිකුත් කිරීමට කිසිදු නීතියකින් හෝ රීතියකින් හෝ විධි විධානයකින් බලය පවරා නැති බවයි. නමුත් ත්‍රිපුද්ගල මහාධිකරණයට පමණක් නොව ඕනෑම අධිකරණයකට නඩු කටයුත්තක් විභාග කිරීමේ දී සාධාරණ තීරණයකට එලැඹීම සඳහා අවශ්‍ය යැයි අදහස් කරනු ඕනෑම අයෙකු සිතාසි මත අධිකරණයට ගෙන්වීමේ බලය අධිකරණයට තිබේ. මෙම සිතාසි අයැදීම කර ඇත්‌තේ කිසිදු බාහිර ලේඛනයක් ඉදිරිපත් කිරීමට නොව මෙම සිද්ධීන්ට අදාල පරීක්ෂණ ගොනු කිහිපයක් ඉදිරිපත් කිරීමට යි. ඒවා අධි චෝදනා පත්‍රයේ ලේඛන ලැයිස්තුවේ ද සඳහන් ගොනු ය. ඒ නිසා සරල නීතිමය ප්‍රතිපාදන පිළිබඳ අවබෝධයක් නැතිව එවා ඇති මෙම ලිපියේ සඳහන් වැරදි උපදෙස් මෙම අධිකරණයට අදාල වන්නේ නැත. මෙම අධිකරණය විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ලේකම්වරියට සිතාසි නිකුත් කරන ලද්දේත්, සිතාසියට අවනත නොවීම නිසා වරෙන්තු නිකුත් කරන ලද්දේත් සෑම අධිකරණයකටම නීතියෙන් ලබා දී ඇති බලතල ප්‍රකාරව ය

මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් මෙම ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවතින නඩු විභාගයේ වැඩ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි වන ආකාරයට මෙම ලේඛන ලබා දීම ප්‍රතික්ෂේප කළා පමණක් නොව ඊට අමතරව නඩු විභාගය සඳහා මෙම ලේඛන ලබා ගැනීමේ කාර්යය පිණිස ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ලේකම්වරිය සාක්ෂිකරුවෙකු ලෙස නම් කළ ගරු නීතිපතිවරයාව කොමිසම ඉදිරියට කැඳවීමක් ද සිදුකර තිබේ

මෙහිදී අවධාරණයෙන් සඳහන් කළ යුත්තේ නඩුව විභාග කරනු ලබන්නේ ගරු අග්‍රවිනිශ්චයකාරතුමා විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල මහාධිකරණයක් මගින් එතුමාගේ නියමය පරිදි මෙය විශේෂ නඩු කටයුත්තක් ලෙසට විභාග කළ යුතු බැවිනි. ගරු නීතිපතිතුමා කරනු ලබන්නේ පැමිණිල්ල මෙහෙයවන නිලධාරියා වශයෙන් එම නඩු කටයුතු ඉදිරියට ගෙන යාමයි. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැවැත්වූ පරීක්ෂණ වලට අදාල ගොනු එම නිලධාරීන්ට සාක්ෂි දීමේ කාර්යය සඳහා අවශ්‍ය වේ. ඒ නිසා පැමිණිල්ලේ නඩුව මෙම අධිකරණයට ඉදිරිපත් කිරීමේ දී ගරු නීතිපතිතුමාගේ නියෝජිතයෙකු වශයෙන් පැමිණිල්ල මෙහෙයවන ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥවරයා එම ලේඛන මෙම අධිකරණයට ඉදිරිපත් කිරීමේ කාර්යය සඳහා පමණක් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ලේකම්වරියට සිතාසියක් නිකුත් කරන ලෙසට ඉල්ලීමක් කරන ලදී. ගරු නීතිපතිවරයාට ඇති වගකීම ප්‍රකාරව ද මෙම ත්‍රිපුද්ගල මහාධිකරණයට තම රාජකාරිය ඉටු කිරීමේ දී මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ගරු නීතිපතිවරයාගෙන් ඊට හේතු විමසන්නේ කුමන නීතිමය හෝ සදාචාරාත්මක පදනමක් මත දැයි මෙම ත්‍රිපුද්ගල මහාධිකරණයට තේරුම් ගැනීමට නොහැකිය.

එසේම ගරු ජනාධිපතිවරයා විසින් මෙම කොමිෂන් සභාවට බලය පැවරූ 2020 ජනවාරි 09 දින අංක 2157/44 දරණ ගැසට් පත්‍රය අනුව ජනාධිපතිවරයා විසින් අධිකාරීට බලය පැවරීමේ දී මෙම අධිකාරී පත්‍රය යටතේ කරනු ලබන පරීක්ෂණ වූ කලී ශ්‍රී ලංකා පොලිසිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ නීතිපතිවරයා ඇතුළු බලධාරීන් විසින් ගනු ලැබ ඇති හෝ ගනු ලැබිය හැකි කිසියම් ක්‍රියාමාර්ගයන්ට අමතර වශයෙන් සහ අගතියකින් තොරව වන බැව් සනිටුහන් කරන බව සඳහන් වේ.

ඊට අමතරව එහි සඳහන් වන්නේ මේ අධිකාරී පත්‍රය යටතේ පූර්වෝක්ත කාරණය පිළිබඳ පවත්වනු ලබන පරීක්ෂණයක දී විෂය සීමාව මගින් ස්වකීය ව්‍යවස්ථාපිත සහ නෛතික වගකීම් ක්‍රියාත්මක කරන්නා වූ අදාල බලධාරීන් කෙරෙහි කවර ආකාරයකින් වුවද අවහිරයක් නොපැනවෙන බැව් සනිටුහන් කරන අතරම යනුවෙන් ද සඳහන් වේ.

ඒ අනුව ගරු ජනාධිපතිතුමා විසින් මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පිහිටුවමින් නිකුත් කරන ලද අධිකාරී පත්‍රය අනුව ගරු ජනාධිපතිතුමාගේ අරමුණ වී ඇත්තේ යුක්තිය පසිඳලීමේ කාර්යයෙහි නිරත වන අනෙකුත් කිසිම ආයතනයක එම කාර්යයන්ට බාධා නොවන පරිදි මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වැඩ කටයුතු සිදු කිරීමයි. නමුත් කණගාටුවෙන් වුවද කිව යුත්තේ මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ගරු ජනාධිපතිතුමාගේ අරමුණට අනුකූල නොවන සේ අධිකරණ වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අවහිර වන ආකාරයට කටයුතු කරන බවයි. ඒ අනුව මේ වන විට මෙම නඩු විභාගයේ අවසන් භාගයට පැමිණ ඇති මෙම අධිකරණයට, ඉදිරි වැඩ කටයුතු සිදු කිරීමට නොහැකි වී මෙම ත්‍රිපුද්ගල මහාධිකරණයේ වැඩ කටයුතු නවතා තැබීමට සිදුවන තත්ත්වයක් උද්ගත වී තිබේ. විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ මෙයින් වැඩියෙන්ම අගතියට පත් වන්නේ මෙම නඩුවේ විත්තිකරුවන් වීමයි. ඔවුන්ට නඩුවේ අවසානයක් දැකීමට නොහැකිව නිශ්චිත කාලයක් නොමැතිව බලා සිටීමට මේ තත්ත්වය යටතේ සිදුවී ඇත

එපමණක් නොව මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව මෙම ත්‍රිපුද්ගල මහාධිකරණයේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට මේ ආකාරයෙන් අවහිර කරයි නම් රටේ අනෙක් අධිකරණවලට දක්වන ප්‍රතිචාර කෙසේද යන්න තේරුම් ගත හැකිය. විශේෂයෙන්, පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ වෙනත් පොලිසියක් හෝ මෙම පරීක්ෂණවල ගොනු ජනාධිපති කොමිසමට බාර දුන් පසුව ඔවුන් සිදුකරන්නේ කිසිම අධිකරණයක නඩු කටයුත්තක් සඳහා එම ගොනු ලබා නොදීම නම්, එයින් සිදුවන්නේ රටේ අනෙක් අධිකරණවලට ද එම නඩු විභාග කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වීමයි. මේ පිළිබඳ ගරු නීතිපතිතුමාගේ විශේෂ අවධානය යොමු කරන ලෙස මෙම ත්‍රිපුද්ගල මහාධිකරණය ඉල්ලා සිටී.

ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ මහතා විසින් අධිකරණයට කරුණු දක්වා සිටීමේ දී ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ක්‍රියා කලාපය තුලින් මෙම අධිකරණයට අපහාස කිරීමක් සිදු වී තිබේ ද යන්න සළකා බලන ලෙසට කරුණු දක්වන ලදී.

එසේම අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුව පොලිස්පතිවරයා විසින් ක්‍රියාත්මක නොකිරීම තුළින් ද අධිකරණයට අපහාස කිරීමක් සිදුව තිබේ ද යන්න සලකා බලන ලෙස ඉල්ලීමක් කරන ලදී.

මෙම සියළු කරුණු මෙම ත්‍රිපුද්ගල මහාධිකරණයේ දැඩි අවධානයට යොමු වී ඇත. එම ඉදිරිපත් වූ කරුණු සම්බන්ධයෙන් නියෝගයක් කිරීමට පෙර අද දින පොලිස්පතිවරයා නියෝජනය කරමින් මෙම අධිකරණයට පැමිණ සිටින සහකාර පොලිස් අධිකාරී වරයා ඉල්ලා සිටින පරිදි දින දෙකක් තුළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීමට අවසර දීමට තීරණය කෙරේ. ඉන්පසුව ගත යුතු පියවර පිළිබඳ මෙම අධිකරණය විසින් නියෝගයක් නිකුත් කරනු ඇත. ඒ අනුව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ලේකම් පර්ල් කේ. වීරසිංහට නැවත පොලිස්පතිවරයා මගින් වරෙන්තු නිකුත් කරන අතර 2020 මාර්තු 12 වන දින හෝ ඊට පෙර වරෙන්තුව ක්‍රියාත්මක කර වාර්තා කිරීමට නියෝග කරමි. යම්කිසි හේතුවක් නිසා හෝ මෙම ලේකම්වරිය අත් අඩංගුවට ගෙන 12 වන දින හෝ ඊට පෙර අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ නම් වැඩ බලන පොලිස්පතිවරයා පුද්ගලිකව අධිකරණයේ පෙනී සිට ඊට හේතු දැක්විය යුතු බවට ද නියෝග කරමි

තවද මෙම ලේකම්වරියට එරෙහිව විදේශ ගමන් තහනමක් පනවා ඇති බැවින් අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ලේකම්වරියගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ දැනටමත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් තොරතුරු ලබාගෙන ඇත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇයගේ ජාතික හැඳුනුම්පත් අංකය ආදී සියළු විස්තර මෙම ගුවන් තහනම සම්බන්ධයෙන් අදාල බලධාරීන් දැනුවත් කරන ලෙසට නියෝග කරමි.

කැඳවීම – 2020-03-12 වන දින ප..1.30

විකුම් ඒ කළුආරච්චි
මහාධිකරණ විනිසුරු (සභාපති)
කොළඹ
2020.03.10

ධම්මික ගනේපොල
මහාධිකරණ විනිසුරු කොළඹ
2020.03.10

ආදිත්‍ය පටබැඳිගේ
මහාධිකරණ විනිසුරු කොළඹ
2020.03.10

(LeN)

 

Archive

Latest news

Related news