Thursday, April 18, 2024

යුද්ධය අවසන් වී දශකයකට පසුත් ශ්‍රී ලංකා දෙමළ කාන්තාවෝ ඉඩම් සඳහා සටන් කරති.

ඡායාරූපය: දීර් කාලයක් තිස්සේ පැවති යුද්ධයෙහි දී යුද හමුදා විසින් ඉඩම් අත්පත් කරගත් කෙප්පපිලාවු කාන්තාවන් ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ නිවාස නැවත ලබා දීමට විරෝධය පළ කරති.

රීනා චන්ද්‍රන්/තොම්සන් රොයිටර් පදනම.

සිවිල් යුද්ධයේ අවසාන දිනවල ඇයට සහ ඇගේ අසල්වැසියන්ට හමුදාව විසින් සිය නිවෙස්වලින් පලා යාමට බල කරන විට චන්ද්‍රලීලා ජසින්තන් උතුරු ශ්‍රී ලංකාවේ ගමක පාසල් ගුරුවරියකි.

දශකයකට වැඩි කාලයක් ගතවී ඇතත්, ඔවුන්ගේ ඉඩම තවමත් පවතින්නේ හමුදාව අතෙහි ය.

ජපින්තාන් සහ කෙප්පපිලාවු හි තවත් කාන්තාවන් ගණනාවක් ම හමුදා කඳවුරට ඇතුළු වන ස්ථානයේ වසර තුනකට වැඩි කාලයක් තිස්සේ විරෝධතා පවත්වමින් සිටියහ. ඔවුන් පවසන්නේ තමන් සිය මුතුන් මිත්තන්ගේ භූමියේ වාඩි වී සිටින බවයි.

මරියා ජෙයසිලන් ජනවාරි 5 වන දින උතුරු ශ්‍රී ලංකාවේ සිය දියණියගේ නිවසින් පිටත සිය පවුලේ අය සමඟ වාඩි වී සිටියි. (ඡායාරූපය රීනා චන්ද්‍රන් / තොම්සන් රොයිටර්ස් පදනම)

පිරිමින් කියනවා ඔවුන් වැඩ කළ යුතුයි, ඔවුන් හමුදාවට බයයි කියලා. නමුත් කාන්තාවන් වන අපට මේ භූමිය අපේ ආරක්ෂාව, අපේ අයිතිය වෙනුවෙන් සටන් නොකරන්නේ නම් මොනවා වෙයි ද? ” 43 හැවිරිදි ජසින්තන් පැවසීය.

යුද්ධයේ දී අපට සියල්ල අහිමි වුණා; පරම්පරා ගණනාවක් තිස්සේ අප ජීවත් වූ භූමිය ද අපට අහිමි විය යුත්තේ ඇයි? මේවා අපගේ නිවාස, අපගේ ජීවනෝපායන්යැයි ඇය පැවසුවාය.

දශක තුනකට ආසන්න කාලයක් තිබී 2009 මැයි මාසයේදී අවසන් වූ යුද්ධයෙන් මිනිසුන් දහස් ගණනක් මිය ගියහ. ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල පිහිටි සිය නිවෙස්වලින් පලාගිය හෝ බලහත්කාරයෙන් පලවා හරින ලද බොහෝ දෙනාගේ දේපළ අත්පත් කර ගත් බව මානව හිමිකම් කණ්ඩායම් පවසති.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2018 දෙසැම්බර් 31 වන විට උතුරු හා නැගෙනහිර පළාත්වල ඇති සියළුම පෞද්ගලික ඉඩම් ආපසු ලබා දෙන බවට ප්‍රතිඥා දුන්නේය. එහෙත් නියමිත කාල සීමාව තුළ එම පොරොන්දුව සපුරා නොමැති බව ඉඩම් හිමිකම් කණ්ඩායම් පවසති.

කෙප්පපිලාවු හි ඉඩම් අක්කර 350 කට ආසන්න ප්‍රමාණයක් තවමත් නිදහස් කර නොමැති බව ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය පවසයි.

ත්‍රිවිධ හමුදාව සතුව ඇති උතුරු හා නැගෙනහිර පෞද්ගලික ඉඩම්වලින් 85% ක් පමණ “දැනටමත් නීත්‍යානුකූල හිමිකරුවන්ට භාර දී තිබේ” යැයි හමුදා ප්‍රකාශක චන්දන වික්‍රමසිංහ පවසයි.

ඉතිරි ඉඩම උපායශීලී වැදගත්කමක් ඇති අතර එම ඉඩම් ජාතික ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය බව ඔහු පැවසීය.

[title]”ජාතික ආරක්ෂාවට මේ ඉඩම් අවශ්‍ය යි”[/title]

එබැවින් ඉතිරි ඉඩම් නිදහස් කිරීම රඳා පවතින්නේ ආරක්ෂක අවශ්‍යතාවයන් සළකා බැලීමෙන් පසුව ඇති වන තත්වය මත . එබැවින් ඒ සඳහා කාල රාමුවක් දැනට සාකච්ඡා කළ නොහැකි ,” යැයි ඔහු ඊමේල් පණිවුඩ මගින් තොම්සන් රොයිටර් පදනමට පැවසීය.

ලොව පුරා, ඉඩම් වඩ වඩාත් ගැටුමට මූලික හේතුවක් ලෙස දැකිය හැකිය. යුද්ධයෙන් ඉක්බිතිව, හමුදාවන් විසින් ඉඩම් අත්පත් කර ගැනීම නිරන්තරයෙන් සිදුවන දෙයක් වන අතර, ඉඩම් හා ස්වාභාවික සම්පත් වෙත යළි ප්‍රවේශ වීම සහ පාලනය කිරීම වසර ගණනාවක් ගතවිය හැකි විවාදාත්මක කාරණයක් ලෙස පැවැතිය හැකි ය.

ක්‍රියා විරහිත නීති පද්ධති, දූෂණය, විනිවිදභාවය හා වගවීම නොමැතිකම සහ ලේඛන හා ඉඩම් වාර්තා නැතිවීම, යන කාරණා මත යුද්ධයක් අතරතුර සහ පසුව ඉඩම් ආරවුල් නිරාකරණය කිරීම විශේෂයෙන් දුෂ්කර බව පර්යේෂකයෝ පවසති.

ශ්‍රී ලංකාවේ යුද්ධයට මුහුණ දුන් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල, වාර්ගික සුළුතරයක් වන දෙමළ ජනයා ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සහ ශ්‍රී ලංකා හමුදාව අතර දශක ගණනාවක් තිස්සේ පැවති ගැටුමේදී යළ යළි මුලිනූපුටා දමනු ලදී.

රාජසන්තක කරන ලද භූමිය තුළ හමුදාව කඳවුරු සහ අධි ආරක්‍ෂිත කලාප පිහිටුවා යුද්දයේ දීී එම ඉඩම් අතහැර ගිය අය ගිය අය නැවත ඉඩම්  කරා  පැමිණීම වළක්වාලන ලදී.

ඉඩම් නිදහස් කළ ස්ථානවල පවා ඉඩම් නිෂ්කාශනය හා ජීවනෝපාය ආධාර සඳහා ප්‍රමාණවත් ආධාර නොලැබුණු බව ලාභ නොලබන මානව හිමිකම් සංවිධානයක් වන හියුමන් රයිට්ස් වොච් 2018 සිය වාර්තාවක සඳහන් කරයි.

එවැනි සමහර ඉඩම් යුද හමුදාවන් විසින් කෘෂිකාර්මික හා සංචාරක ඇතුළු වාණිජ කටයුතු සඳහා ද යොදා ගැනේ.

හමුදාව සතුව ඇති එම ඉඩම් “සුභසාධන කටයුතු සහ පුනරුත්ථාපන කටයුතු සඳහා සම්පූර්ණයෙන්ම යොදා ගැනේ” යැයි වික්‍රමසිංහ මහතා පැවසීය.

2009 මැයි මාසයේදී හමුදාව ඉදිරියට යද්දී යාපනයේ සිට කිලෝමීටර් 100 ක් (සැතපුම් 62 ක්) ගිනිකොන දෙසින් පිහිටි පුතුක්කුඩිරුප්පු හි පිහිටි සිය නිවසින් පලා ගිය 87 හැවිරිදි චෙල්ලම්මා සිංහාරත්නම්ට ඇගේ නිවස ආපසු ලබා ගැනීම සඳහා උපවාසයක නිරත වීමට සිදුවිය.

චෙල්ලම්මා සිංගරත්නම් (ජනවාරි 4ද) දින උතුරු ශ්‍රී ලංකාවේ සිය නිවසින් පිටත වාඩි වී සිටියි. දශක ගණනාවක් තිස්සේ පැවති යුද්ධයේදී ඇගේ නිවස හමුදාව විසින් අත්පත් කර ගෙන ඇති අතර ඇය උපවාසයේ යෙදී ඇය සිය ඉඩම ලබා ගත්තාය. (ඡායාරූපය රීනා චන්ද්‍රන් / තොම්සන් රොයිටර්ස් පදනම)

අවතැන්වූවන් සඳහා කඳවුරු වල වසර තුනකට ආසන්න කාලයක් ගත කළ ඇය සහ ඇගේ පවුලේ අය ආපසු පැමිණි විට, හමුදාව ඇගේ නිවස සහ දියණියගේ නිවස අත්පත් කර ගෙන ඇති බව ඔවුන්ට දැනගන්නට ලැබුණි.

පෙත්සම් කිහිපයකින් පසු සිංගරත්නම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් පිටත උපවාසයක නිරත විය. ගමේ අනෙකුත් කාන්තාවන් ඇය සමඟ එකතු වූ අතර විරෝධය මාසයක් පැවතුනි.

අවසානයේදී හමුදාව පරාජය වී සම්පූර්ණයෙන්ම විනාශ කර තිබූ ඇගේ නිවෙස් ආපසු ලබා දුන් බව ඇය පැවසුවාය.

සෑම තැනකම කුණු කසළ තිබුණා. ගෘහ භාණ්ඩ කැඩී ගොස් තිබුණා. දොරවල් සහ ජනෙල් පවා තිබුණේ නැහැ.”

අපට මුදල් ණයට ගන්න වුණා. මේ වන විට එක් නිවසක් පමණක් අලුත්වැඩියා කරගන්න අපට පුලුවන් වී තිබෙනවා. අපට කිසිදු සහායක් ලැබුණේ නැහැ. අනෙක් නිවස හදා ගන්න පුලුවන් කවදාදැයි අප දන්නේ නැහැ.”

යුද්ධය පැවති සමයේ දස දහස් ගණනක් ශ්‍රී ලාංකික දෙමළ ජනයා අසල්වැසි ඉන්දියාවේ, විශේෂයෙන් දකුණු ප්‍රාන්තයේ තමිල්නාඩුවේ රැකවරණය පැතූහ.

එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය (යූඑන්එච්සීආර්) 2011 සිට ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට පහසුකම් සැලසීම ආරම්භ කළ අතර මේ වන විට සරණාගතයින් 8,529 ක් නැවත පැමිණීමට උදව් කර ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා නියෝජිත මැනික් අමරසිංහ පැවසීය.

සරණාගතයින් දහස් ගණනක් ද තනිවම ස්ව කැමැත්තෙන් ආපසු පැමිණ ඇත.

ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් 100,000 කට ආසන්න සංඛ්‍යාවක් තවමත් ඉන්දියාවේ වෙසෙති.

දකුණු ඉන්දියාවෙහි සිටින ශ්‍රී ලංකික සරණාගත පවුලක්( අල් ජසීරා ජායාරූපයකි)

නැවත පැමිණෙන සරණාගතයින්ගෙන් තුනෙන් දෙකකට වඩා ඉඩම් නොමැති බව මානව හිමිකම් කණ්ඩායම් පවසයි. 30,000 ක් පමණ තවමත් අභ්‍යන්තරව අවතැන් වූවන් ලෙස සලකනු ලබන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට නිවාස හා ඉඩම් අහිමි වී ඇත.

කොළඹ පිහිටි ප්‍රතිපත්ති විකල්ප කේන්ද්‍රය (සීපීඒ) පවසන පරිදි, ඉඩම් අයිතිවාසිකම් යළි ලබාදීම සාමය ගොඩනැංවීම සඳහා ඉතා වැදගත් වේ. මන්ද යත් එය විසින් ඉඩම් අහිමි කිරීම මානව හිමිකම් කෙළෙසීමක් ලෙස පිළිගන්නා නිසාත් ඉඩම් ආපසුුු ලැබීම සංචරනයේ අයිතියට සහ ජීවිකා වෘත්තියක් ගොඩ නගා ගැනීමට අධාරයක් වන නිසාය.

ශ්‍රී ලංකා සන්දර්භය තුළ, ඉඩම් යනු කෙනෙකුගේ අනන්‍යතාවයේ තීරණාත්මක අංගයක් වන අතර එය අයිතියකියනුවෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ පර්යේෂණ හා උපදේශන අංශ ප්‍රධානී භවානි ෆොන්සේකා පැවසීය.

නිවැරදිව ක්‍රියාත්මක කළ හොත් ඉඩම් නැවත ලබා දීම ඇතුළුව වන්දි ගෙවීම දිගුකාලීන සාමය ගොඩනැංවීමේ උත්සාහයන්ට දායක විය හැකි අතර එමගින් යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රජාවන් තවදුරටත් කොන් කිරීම වැළැක්විය හැකිය.”

සරණාගතයින්ට ආපසු පැමිණී පසු කුඩා ඉඩමක් ලබා දෙන බවට ශ්‍රී ලංකා බලධාරීන් පොරොන්දු වූ නමුත් ඒ සඳහා දිගු කාලයක් බලා සිටීමට හැකිය.

තවත් සමහරු තත්වය සහ ඉරණම තමන්ගේ අතට ගත්හ.

පසුගිය වසරේදී ප්‍රාදේශීය කතෝලික පල්ලියේ සහය ඇතිව ඉරනතිව් හි හිටපු පදිංචිකරුවන් බෝට්ටුවලින් දිවයිනට පැමිණ ඔවුන්ගේ භූමිය සාමකාමීව අත්පත් කර ගත්හ.

1992 දී හමුදාව විසින් මුලිනුපුටා දැමූ උතුරු දූපතේ ඉරානතිව් හි හිටපු පදිංචිකරුවන් 100 ක් පමණ වසර ගණනාවක් තිස්සේ ප්‍රධාන ගොඩබිම වූ යාපනයේ පදිංචිව සිටි අතර මසුන් ඇල්ලීමට හා පොල් අස්වැන්න නෙළා ගැනීමට දිවයිනට ආ ගියහ.

යුද්ධය අවසන් වීමෙන් පසු 2009 දී නැවත සිය නිවෙස් කරා යාමට ඔවුන් අපේක්ෂා කළ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව කියා සිටියේ දිවයින උපායමාර්ගික වැදගත්කමක් ඇති බවත් ඔවුන්ට නැවත පැමිණීම තහනම් බවත්ය.

බොහෝ පෙත්සම් වලින් පසුව, කාන්තාවන් විශේෂයෙන් දිවයිනට පහසුවෙන් පිවිසිය නොහැකි ජීවනෝපායක් සඳහා අරගල කළ වැන්දඹුවන් තම ඉඩම් ආපසු ලබා දෙන ලෙස ඉල්ලා 2018 සිට වසරක් පුරා විරෝධතාවක් පැවැත්වූහ.

පසුගිය වසරේදී ප්‍රාදේශීය කතෝලික පල්ලියේ සහය ඇතිව ඉරනතිව් හි හිටපු පදිංචිකරුවන් බෝට්ටු දුසිම් දෙකකට වඩා වැඩි ප්‍රමාණයකින් දිවයිනට පැමිණ ඔවුන්ගේ භූමිය සාමකාමීව අත්පත් කර ගත්හ.

නාවික හමුදාව සිය භාවිතය සඳහා කුඩා ප්‍රදේශයක් තමන් අත රඳවා තබා ගත්තේය. හිටපු පදිංචිකරුවන් 100 කට වැඩි පිරිසක් දැන් දිවයිනේ වෙසෙති. නාවික හමුදාව මුළුමනින්ම දිවයිනෙන් ඉවත් කර ගැනීම සඳහා ඔවුන් උද්ඝෝෂනය කරමින් සිටින බව විරෝධතා නායකයින්ගෙන් එක් අයෙකු වන මාරියා ජෙයසිලන් පැවසීය.

ඉස්සර තරම් හොදින් ජීවත් නොවුණත් අපට නැවත වරක් ගොවිතැන් කිරීමටත්, මසුන් ඇල්ලීමටත්, මුදල් උපයා ගැනීමටත් හැකි වී තියෙනවා.” ඇය පැවසුවාය. “නමුත් අපේ පැතුම අපේ මුළු ඉඩමම ආපසු ලබා ගැනීම යි.”

කිලෝමීටර් 100 ක් (සැතපුම් 62) දුරින් පිහිටි කෙප්පපිලාවු හි පිහිටි ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ ඉඩම නැවත ලබා ගැනීමට විරෝධයක යෙදී ජසින්තන් සහ අනෙකුත් කාන්තාවන්ට, ඉරනතිව් හි ජයසීලාන් සහ සිංගරත්නම් වැනි කාන්තාවන් බලාපොරොත්තුවක් ලබා දේ.

විරෝධතා දැක්වීම හේතුවෙන් ජසින්තන් කිහිප වතාවක් උසාවියට කැඳවා ඇත. තමාට තර්ජන එල්ල වී ඇති බවත්, තම නිවසේ ආරක්ෂක කැමරා සවි කර, ආරක්ෂාවට බල්ලන් දෙදෙනෙක් ඇති කරන බවත් ඇය පැවසුවාය.

වැන්දඹුවක් විදියට හමුදාවට එරෙහිව යෑම දුෂ්කර යි. නමුත් මේ අපට ඇත්තේ ඉඩම් පමණයි. ඒ නිසා නැවත ලබා ගන්නා තෙක් අපි දිගටම විරෝධතා දක්වනවායනුවෙන් ඇය පැවසුවාය.

(මෙම වාර්තාකරණය සඳහා ජාත්‍යන්තර කාන්තා මාධ්‍ය පදනමේ හොවාර්ඩ් ජී. බෆට් අරමුදල කාන්තා මාධ්‍යවේදීන් සඳහා සහාය විය.වාර්තාකරණය රීනා චන්ද්‍රන් @ රිනාචන්ද්‍රන්; සංස්කරණය ඇස්ට්‍රිඩ් ස්වයිනර්ට් විසිනි.)

මූලාශ්‍රය තොම්සන් රොයිටර්ස් පදනම/ 3 මාර්තු 2020 /රීනා චන්ද්‍රන් | @rinachandran

සිංහල අනුවාදය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි. මුල් ලිපිය මෙහි කියවිය හැක. 

Archive

Latest news

Related news