Tuesday, July 16, 2024

ගෝඨාභය දිනේශ්ගේ සරම ගලවයි!

ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පැමිණ ස්වාධීන මානව හිමිකම් කොමිසම සහ තොරතුරු දැන ගැනීමේ කොමිසම තවදුරටත් ශක්තිමක් කරන බවට විදේශ අමාත්‍ය දිනේශ් ගුණවර්ධන ලෝකයට ප්‍රකාශ කර සතියක් ගිය තැන ජනාධිපති රාජපක්ෂ විසින් ඔහු නිරුවත් කර තිබේ. ඒ ඔහු විසින් දුන් පොරොන්දුවට සම්පූර්නයෙන්ම පටහැනි ප්‍රකාශයක් කිරීම මගිනි.

මෙම කොමිෂන් සභා දෙකෙහිම ස්වාධීනත්වය තහවුරු කර ඇත්තේ 19වන සංසෝධනය විසින් පිහිටුවන ලද ව්‍යවස්ථා මණ්ඩලය නිසා ය.

නමුත් තමන් තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරයක් ලබා ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය ද ඒ අනුව ඇති කරන ලද ස්වාධීන කොමිෂන් සභා අහෝසි කිරීමට අදහස් කරන බව ජනාධිපති රාජපක්ෂ කෙලින්ම ප්‍රකාශ කර තිබේ.

එම කොමිෂන් සභාවලින් රජයේ සංවර්ධන ගමනට කිසිදු සහයෝගයක් නොලැබෙන බැවින් ඒවා අහෝසි කළ යුතු බව ඔහු කියා සිටියේ 05 දා මෙරට මාධ්‍ය ආයතන ආයතන වල ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී ය .

ජනතාවගේ ප්‍රාර්ථනා සපුරාලීමට නම් ජනාධිපතිවරයාට බාධාවලින් තොරව වැඩ කිරීමේ අවකාශය තිබිය යුතු බවත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒ අවකාශය පැහැරගෙන ඇති බවත් කී ගෝඨාභය රාජපක්ෂ ජනතාවගේ ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බාධා පනවා තිබෙන්නේ නම් එවැනි ව්‍යවස්ථාවක තේරුම කුමක්දැයි ප්‍රශ්න කළේ ය. එබැවින් මේ බාධකය ඉවත් කිරීමට තුනෙන් දෙකක ජනවරමක් අවශ්‍ය බව ප්‍රකාශ කළේ ය.

ඔහු තමාට හරහට සිටින හෝ වැඩකට නැතැයි කියන කොමිෂන් සභා දෙකක් ගැන  කීවේ ය. ඒවා නම් පොලිස් කොමිෂම සහ මැතිවරණ කොමිසම යි. පොලිස් කොමිසම විසින කරනු ලබන දේ පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස පොලිස්පතිවරයාට ද පහසුවෙන් ම ඉටු කිරීමට හැකියාව තිබෙන බව ජනාධිපතිවරයා කීවේ ය.

ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව මගින් මැතිවරණයේ දී තමන් ලබාදුන් ප්‍රතිඥාවක් ඉටු කිරීම පිණිස උපාධිධාරීන්ට රැකියා පුහුණු අවස්ථාවක් සලසා දීම සම්බන්ධයෙන් විරෝධයක් මතු කර ඇතැයි කීවේ ද එම විවේචනයේ ම කොටසක් ලෙස ය. ඒ ගැන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනබව රාජපක්ෂ අවධාරණය කළේ ය.

ස්වාධීන යැයි කියාගන්නා මැතිවරණ කොමිසමේ එක්තරා සාමාජිකයෙක් පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේදී මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ නිකුත් කරන්නට යාම නිසා එහි ස්වාධීනත්වයට කිසියම් බාධාවක් එල්ල වූ කී රාජපක්ෂ මෙබඳු ආයතන සම්බන්ධව ඉදිරි ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ කිසියම් තීරණයක් ගත යුතුව ඇතැයි ප්‍රකාශ කළේ ය .

මෙයට පෙර කිසිම මැතිවරණ අවස්ථාවක දී ජනාධිපතිවරයකු හෝ අගමැතිවරයකු මැතිවරණ කොමිසම හමු වී එහි තීරණ වෙනස් කිරීමට උත්සාහ කර නැත.

ජනාධිපති රාජපක්ෂගේ කතාවෙන් ඉතාම පැහැදිළිව පෙන්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබිය යුතු තුළන සහ සංවරණ කෙරෙහි ඔහුගේ කිසිදු කැමැත්තක් නැති බවයි.

පසු ගිය දිනෙක අධිකරණය ගැන ද ඔහු කියා තිබුණේ තමන් නිහඩව සිටීම දුර්වලකමක් ලෙස මෙරට අධිකරණය කල්පනා නොකළ යුතු බවයි.

Archive

Latest news

Related news