Friday, April 26, 2024

පළිගැනීම් කොමිසම, රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක සහ තරුණයන් 11 දෙනා පැහැර ගැනීමේ නඩුව

ජනාධිපති රාජපක්ෂ විසින් පත් කරන ලද දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවෙහි පසුගිය දා රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක සාක්ෂි දෙමින් කියා සිටියේ තමා පසුගිය ආන්ඩුවේ දේශපාලන පළිගැනීමක ගොදුරක් බව ය.

ඔහු එසේ කියා සිටියේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කර තිබෙන විශේෂ කාර්යාලයේ දී පසුගිය 25 දින රැස්වූ අවස්ථාවෙහි ය.

2008.09.17 පාසල් වයසේ දරුවන් 5 ක් ඇතුළු පුද්ගලයන් 11 ක් අතුරුදන් කිරීම පිළිබඳ විශේෂ මහාධිකරණයක් අභියස පැවැත්වෙන නඩු විභාගයෙහි රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක ප්‍රධාන සැකකරුවෙකි. ත්‍රිකුනාමළ නාවික හමුදා කඳවුරෙහි එම දරුවන් රඳවා තිබූ ගන් සයිට් නම් රැදවූම් ස්ථානය බාරව සිටියේ මෙම රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක ය. එම කලාපයට ඔහුගේ අවසරයකින් තොරව නාවික හමුදාවේ කිසිම අයෙකුට ඇතුල්වීමට අවසර තිබුනේ ද නැත. එමෙන්ම මෙම රුණයින් පැහැර ගෙන ඝාතනය කරන ලද බවට චොදනා ලබා සිටින නාවික හමුදා විශේෂ බුද්ධි අංශය තිබුණේ ද රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක යටතේ ය. ඔහු කොළඹ සිටි බැවින් මෙම ගන් සයිට් කඳවුර පාලනයවූයේ නාවික හමුදා බුද්ධි අංශයේ කොමදෝරු සුමිත් රණසිංහ යටතේ ය.

එපමණක් නොව අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුව අධිකරණයට B732/2009 බී වාර්තාව යටතේ වාර්තා කර ඇති පරිදි, පැහැරගෙන පසුව ඝාතනය කරන ලද රජීව් නාගනාදන් ගේ කලු පැහැති ටාටා ඉන්ඩිගෝ කාරය, නිල් පාටින් යළි වර්ණගන්වා දසනායකගේ බිරිඳට තෑගි දී තිබුණි. වාහනයක වර්ණය මාරු කරන විට කළ යුතු නීතිමය පරිපාටිය අනුගමනය කර තිබුණේ ද නැත. මෙම වාහනය සහ රජීව් නාගනාදන් ඔහුගේ වාහනය සමඟ පැහැර ගන්නා ලද්දේ නේවි සම්පත් නොහොත් නාවක හමුදා බුද්ධි අංශයේ ප්‍රසාද් හෙට්ටිආරච්චි විසින් බව ද රහස් පොලීසිය වාර්තා කර තිබේ. එවකට නාවික හමුදාපති කරන්නාගොඩගේ පුද්ගලික සහායක ලෙස සේවය කළ නාවික හමුදා ලුතිනන් කොමදෝරු සම්පත් මුණසිංහ සහ ප්‍රසාද් හෙට්ටිආරච්චි නවාතැන් ගෙන සිටියේ එකම නාවික හමුදා නිවස්නයක ය.

කප්පම් ගැනීමට පැහැරගෙන ඝාතනය කළ 11 දෙනා. ( ඔබ්සෝවර් පුවත්පතිනි)

රහස් පොලීසිය වාර්තා කරන අන්දමට මෙම දරුවන් වෙනුවෙන් කප්පම් ඉල්ලා දුරකථන ඇමැතුම් දී ඇත්තේ ද රියර් අද්මිරාල් දසනායකගේ ජංගම දුරකථනයට නව සිම් කාඩ්පතක් ඇතුල් කිරීමෙනි. ඒ බව හෙළිදරව් වී ඇත්තේ ජංගම දුරකථනයේ ඉමි අංකය මගිනි. කුමන සිම් කාඩ්පතක් පාවිච්චි කරද ඉමි අංකය වෙනස් නොවේ.(IMEIජාත්‍යන්තර ජංගම උපකරණ අනන්‍යතාවය. එය සොයා ගැනීමට ජංගම දුරකථනයේ *#06# ඔබන්න.) එම අංකය ද අප නොදුටුව ද ඇමැතුමක් හෝ පණිවිඩයක් යැවීමේ දී සටහන් වෙයි.

රහස් පොලීසියට කරන ලද ප්‍රකාශයන්හි දී නාවික සෙබළ දුෂ්යන්ත කොට්ටේගොඩ සහ එස්.එස්.කේ. සෝමදාස යන දෙදනොම මෙම පැහැර ගැනීම් සහ ඝාතනයන්ට රියර් අද්මිරාල් දසනායක ගේ සම්බන්ධය පිළිගෙන තිබේ. කොට්ටේගො යනු එම දරුවන් පස් දෙනෙකු පැහැර ගැනීමට පුද්ගලිකවම සම්බන්ධ වූ නවික සෙබෙළෙකි.

2015 පෙබරවාරි මාසසේ දී දසනායක මෙරටට කැඳවන ලද්දේ ඊට වසරකට පෙර තරම් පෙර සිට ආරම්භ වූ මෙම තරුණයින් 11 දෙනා පැහැර ගැනීම පිළිබඳ විමර්ශනය සඳහා ය. මෙම විමර්ශනය ආරම්භ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවට ප්‍රථමයෙන් එනම් 2009 වසරේ මැයි 28 වැනි දින පැමිණිළි කරන ලද්දේ එවකට නාවික හමුදාපති වූ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ බැවිනි. කොළඅපරාධ කොට්ඨාශයට කරන ලද එම පැමිණිල්ලෙන් කරන්නාගොඩ කියා සිටියේ සිය පුද්ගලික ආරක්ෂක වන ලුතිනන් කොමදෝරු සම්පත් මුණසිංහ එල්ටීටීඊයට සම්බන්ධයක් ඇතැයි පෙනෙන බැවින් ඒ ගැන පරීක්ෂා කරන ලෙස ය.( කරන්නාගොඩ මහතාගේ ළඟම හිතවතකු වූ සම්පත් මුණසිංහට විරුද්ධව කරන්නාගොඩ මහතාම පැමිණිලි කිරීම එවකට නාවික හමුදා නිලධාරීන් සියලුදෙනාටම ප්‍රශ්නයක් විය. ඒ ගැන නොයෙකුත් කතා පැතිරුණද ඒ විරසකයට හේතුව දන්නේ කරන්නාගොඩත් සම්පත් මුණසිංහත් පමණි. – දේශය) සම්පත් මුණසංහ සහ වසන්ත කරන්නාගොඩ අතර වූ පුද්ගලික ප්‍රශ්ණයක් උඩ තමා පසු පසු ඝාතකයින් හඹා එනු ඇතැයි බිය වූ ලුතිනන් කොමදෝරු සම්පත් මුණසිංහ 2009 ජූනි 20 දා අපරාධ පරීක්ෂන දෙපාර්ථමේන්තුවට බාර විය.

නේවි සම්පත් අත්අඩඟුවට පත්වීම

ඉන්පසු ඔහුගේ නිවස්නය පරීක්ෂා කිරීමේ දී පැහැර ගන්නා ලද දරුවන්ගේ හැදුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර හමු විය. මේ වන විට මෙම පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවේ ශානි අබේසේකර යටතට පත්ව තිබුණි. සමපත් මුණසිංහගේ නිවස්නයෙහි ලුතිනන් කොමදොරු ප්‍රසාද් හෙට්ටිආරච්චි ද වාසය කළ බැවින් ඔහුගෙන්ද ප්‍රශ්ණ කරන ලදී. දරුවන් 11 දෙනා පැහැර ගැනීම සහ ඝාතනය පිළිබඳව තොරතුරු හෙළිදරව් වුයේ ඒ අනුව ය. පැහැර ගන්නා ලද දරුවන් ප්‍රථමයෙන් රැගෙන ගිය කොළඹ චෛත්‍ය පාරේ නාවික හමුදා කඳවුරෙහි පිට්ටු බම්බුව නමින් හැදින්වෙන රැදවුම් ස්ථානය බාරව සිටියේ මෙම ප්‍රසාද් හෙට්ටි ආච්චිය. නේවි සම්පත් යන නමින් හැදින්වෙන්නේ ද ඔහු ය.

මෙම තත්වය යටතේ මෙම පරීක්ෂණය දිගටම කරගෙන යාම පිනිස ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි ආබ්සේකර එවකට රහස් පොලීසියේ ප්‍රධානියා වූ ජේෂ්ඨ පොලිස් අධිකාරී විජය අමරසිංහගේන අවසර ලබා ගන්නා ලදී. විජය අමරසිංහ මේ සම්බන්ධයෙන් එවකට ආරක්ෂ ඇමැති වූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද දැනුවත් කරන ලද බව කියැවේ.

දැන් දේහපාලන පළි ගැනනීමකට හසු වූ බව කියන රියර් අද්මිරාල් දසනායකගෙන් ප්‍රශ්ණ කිරීමට අවශ්‍ය බැවින් ඔහු විදෙස් යැවීම නුසුදුසු බවට වාර්තාවක් රහස් පොලීසිය ආරක්ෂක ඇමැතිවරයාට දැනුම් දී තිබූ බව අදාළ අරංචි මාර්ග කියයි. මෙම පරීක්ෂණය සම්බන්ධයෙන් එවකට බුද්ධි අංශ ප්‍රධානියා වූ කපිල හෙන්දාවිතාරණ පවා දැනුවත්ව සිට තිබේ.

එහෙත් දැන් රියර් අද්මිරාල් දසනායක ප්‍රකාශ කර ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීම පිළිබඳව ප්‍රතිපත්ති සහ උපාය මාර්ග පිළිබඳ පශ්චාත් උපාධියක් හැදෑරීමට 2014 වසරේ සැප්තැම්බර් මාසයේදී ඇමරිකාව ඔහුට ලබා දුන් අවස්ථාව සම්පුර්ණ කිරීමට පසුගිය ආන්ඩුව තමාට ඉඩ නොදුන්නේ දේශපාලන හේතූන් මත බවයි. තමා දේශපාලන පළිගැනීමක ගොදුරක් බැවින් තමාට සාධාරණය ඉටු කරන ලෙස ඩී.කේ.පී දසනායක එම කොමිසම හමුවේ කියා සිටියේ ය.

එහි දී ඔහු කියා සිටියේ සුදුවෑන් වලින් පුද්ගලයන් අතුරුදන් කරවීම සහ තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යෑම සහ අතුරුදහන් කිරීම පිළිබඳ නඩුවට අවශ්‍ය සාක්ෂියක් ලබා ගැනීම සඳහා ආරක්ෂක මණ්ඩලයේ තීරණයක් අනුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත තමන්ව එලෙස කැඳවූ බව ය.2015 පෙබරවාරි 19 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති නිශාන්ත සිල්වා තමන්ගෙන් ප්‍රකාශයක් ලබා ගෙන අනතුරුව සිතාමතා අධිකරණය නොමඟ යැවීම මගින් තමාට විරුද්ධව විදෙස් ගමන් තමනමක් ලබා ගත් බවත් ඔහු කියා සිට ඇත.

නමුත් වෙනත් ආරංචි මාර්ග දක්වන්නේ මානව හිමිකම් කෙළෙසීම් පිළිබඳ චෝදනා ලබා තිබූ ඔහුට ඇමෙරිකානු වීසා ලබා ගැනීමට ද නොහැකි වූ බවය. තමා පිළීබඳව එවකටත් මනුස්‍ය ඝාතන පිළිබඳව අපරාධ පරීක්ෂනයක් පැවැත්වෙන බව ශිෂත්වය සඳහා ඉදිරිපත් කරන ලද ඉල්ලුම් පත්‍රයෙහි ඔහු සඳහන් කර නැත.

අද්මිරාල් ඩී.කේ.පී දසනායක කියා සිටින පරිදි ඔහු ගොදුරු වූ දේශපාලන පළිගැනීම එකී දරුවන් පැහැර ගැනීමේ අපරාධය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්ණ කිරීම ය. තවද තමා 2002 වසරෙහි ලංකාණ්ඩුව එල්ටීටීඊය සමඟ අත්සන් කරන ලද සාම ගිවිසමට තමන් විරුද්ධ වූ බැවින් එම කාරණය ද යහ පාලන ආණ්ඩුව තමන්ගෙන් පළිගැනීමට හේතුවක් බව කියා සිට තිබේ.

තව ද ඔහු කියා සිට ඇත්තේ තමාට එම පාඨමාලාව සම්පූර්ණ කිරීමට තමන්ට අවස්ථාව ලබා නොදෙමින් පසුගිය ආණ්ඩුව කටයුතු කිරීම හරහා පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා විශේෂ වගකීමකින් යුතුව ශ්‍රි ලංකාව තුළ කටයුතු කිරීමේ අවස්ථාව තමන් ට අහිමි වූ බවයි.

තමන් අත්අඩංගුවට ගැනීමේදී එය අධීක්ෂණය කළ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා, එල්ල වී ඇති ඇතැම් චෝදනාවලට එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම පවසන ලෙස තමන්ට සහ බිරිඳට බලපෑම් කළ බව වයඹ නාවික ප්‍රදේශය භාර අඥාපති රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක පළිගැනීම් කොමිසම හමුවෙහි පවසා තිබේ.

මෙම ප්‍රකාශය රියර් අද්මිරාල් දසනායක ජනාධිපති කොමිසම හමුවේ කිරීමටත් පෙරම, 2008 සහ 2009 අවධියේ තරුණයන් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගිය යාම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායකට එරෙහිව පවරා ඇති නඩු විභාගය ඉදිරියට ගෙන යාම වළක්වාවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ ප්‍රධානත්වයෙන් යුතු “දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම” නිර්දේශයක් නිකුත් කළේ ය. නමුත් නීතිපතිවරයා එම නියෝගය පිළිගත්තේ නැත.

එම නියෝගය ජනාධිපති කොමිෂන් හරහා අධිකරණවල චෝදනා නගා ඇති චුදිතයින් නිදහස් කිරීමට කරනු ලබන බලපෑම ද අධිකරණ නඩු කටයුතුවලට අයුතු මැදිහත්වීමක්බව තරුණයින් 11 දෙනා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරිය වන අචලා සෙනවිරත්න ප්‍රකාශ කර තිබුණී.

ඩී.කේ.පී දසනායක මහතාට අදාල පැමිණිල්ල අධීක්ෂණය කළ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා , සහකාර පොලිස් අධිකාරී බි.එස් තිසේරා සහ ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යන මහත්වරුන්ට මාර්තු මස 03 වන දින කොමිසම හමුවේ පෙනී සිටින ලෙස උක්ත ජනාධිපති කොමිසම නොතීසි නිකුත් කන ලදී.

නීතිපති කුමක් කියයි ද?

මේ අතර වැඩ තහනමට ලක්ව සිටින ජේෂ්ඨ පොලිස් පරීක්ෂක ශානි අබේ සේකර පසුගිය 27වන දින විශ්‍රාමික යුද හමුදා මේජර් අජිත් ප්‍රසන්න සම්බන්ධයෙන් සම්බන්ධයෙන් පැය 08ක් රහස් පොලීසිය විසින් ප්‍රශ්න කරන ලදුව පිටු 32කට උත්තරයක් ලබා දී ඇතැයි ද වාර්තා වේ. මෙම කට උත්තරයෙහි දී රියර් අද්මිරාල් දසනායන පිළිබඳව ද කරුණූ දක්වා ඇතැයි තවදුරටත් වාර්තා වේ.

දැනටමත් විශේෂ මහාධිකරණයක විභාග වන නඩුවක් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් හමුවේ සාක්ෂි දෙමින් නඩුවට අදාළ විය හැකි කරුණූ හෙළිදරව් කිරීමට එම පරීක්ෂණය මෙහෙය වූ ශානි අබේසේකරට නීතිමය වශයෙන් ඉඩ තිබේ ද යන ප්‍රශ්ණය තවමත් විසදී නැත. මේ සම්බන්ධයෙන් එම නඩුව මෙහෙයවන නීතිපතිවරයා විසින් තීරණයක් දිය යුතු බව ද කියැවේ.

මාර්තු 03වන දින දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවෙහි තරුණයින් 11 දෙනා පැහැරගැනීම සහ ඝාතනය සම්බන්ධයෙන් මෙන්ම එයට රියර් අද්මිරාල් දසනායක සැකකරුවකු වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් වැඩිදුර කරුණූ හෙළිදරව් වීමට ඉඩ තිබේ.

වනසුන්දර බන්ඩාර.

Archive

Latest news

Related news