Monday, November 25, 2024

ව්‍යවස්ථානුකූල ආන්ඩුක්‍රමය සහ ශ්‍රී ලංකාව (3) – මහාචාර්ය නවරත්න බණ්ඩාර

සොල්බරි ව්‍යවස්ථාව විසින් ව්‍යවස්ථානුකූල ආන්ඩුක්‍රමයේ මූලධර්ම ඉදිරියට ගෙන ගිය අන්දම පසුගිය ලිපියෙහි පැහැදිලි කළෙමි. ව්‍යවස්ථානුකූල ආන්ඩුක්‍රමයට අයත් මූලිකාංගයන් සහ සොල්බරි ව්‍යවස්ථාව විසින් සුලුතරයින් සඳහා සැපයූ ව්‍යවස්ථා රැකවරණ, දේශපාලන නිදහස පූර්ණ ලෙස භාවිතා කිරීමට ඇති කර ඇති බාධාවන් ලෙස හඳුන්වමින් ඒවා ඉවත් කිරීමට 1972 දී නව ව්‍යවස්ථාවක් පැන වූ බව ද එහිදී සඳහන් කළෙමි. අද ලියන්නේ එතැන් සිටය.

[title]බහූතර ජනවර්ගයේ සහාය මත[/title]

1948න් පසුව ඇරඹෙන යුගයේ දේශපාලනයේ ප්‍රධාන ලක්ෂණය වූයේ බහූතර ජනවර්ගයේ සහාය මත බලයේ සිටීම ගැන අවධානය යොමු කරමින් සිංහල දේශපාලන නායකයන් විසින් ශ්‍රී ලංකා රාජ්‍යය ප්‍රධාන ජනවර්ගයේ ආධිපත්‍යය මුල් කර ගෙන ගොඩ නැගීමට අවධානය යොමු කරන අන්දමය. 1948/49 පුරවැසි සහ ඡන්ද බලය පිළිබඳ පණත්, 1957 සිංහල පමණක් රාජ්‍ය භාෂා පණත මේ සඳහා මූලික පියවර තබන ලදි. මේවා නව ජාතික රාජ්‍යයේ සාමාජිකත්වය, ඡන්දදායකයා සහ රාජ්‍ය භාෂාව යන මූලිකාංග ප්‍රධාන ජනවර්ගයේ ජාතිකවාදී කථිකාවට ගැලපෙන පරිදි අර්ථ නිරූපණය කරන ලද ව්‍යවස්ථාමය පියවරයන්ය.

සුලුතර ප්‍රජාවේ සාමාජිකයන් මේ අවස්ථාවල අධිකරණයේ මැදිහත්වීම ඉල්ලා සිටියද ඔවුන්ට එම සහාය ලැබුනේ නැත. මීළඟට සිදුවූයේ දෙමළ ජනයාගේ නායකයන්ට ප්‍රාදේශීය වශයෙන් පාලනයට සම්බන්ධවීමට අවස්ථාවක් ලබා දීමට ගෙන ලද 1957 රට සභා සහ 1967 දිස්ත්‍රික් සභා යෝජනා ජන උද්ඝෝෂන මෙහෙයවා ප්‍රතිකේෂප කිරීමය. එයින් පෙන්වා දුන්නේ සුලුතර නායකයන්ට ප්‍රාදේශීය පාලනයට සම්බන්ධවීමට අවස්ථාවක් ලබා දීමට පවා සූදානම් නැති බවය. 1958 දී ඇතිවූ ජාතිවාදී කෝලාහලය දෙමළ සුලුතරයට එරෙහිව ප්‍රචන්ඩත්ව මුදාහලේය. මෙම සිදුවීම් දිග හැරෙනවිට දෙමළ නායකයන්ට පෙනුනේ ජාතික ප්‍රශ්ණය විසඳීමේ සෝල්බරි ප්‍රවේශය “ඇල්මැරුනු තේ කෝප්පයක්” (a weak cup of tea) බවය. මෙම පියවරයන් ඉදිරියට යාමේ ප්‍රතිඵලය වූයේ දෙමළ දේශපාලන නායකත්වය බෙදුමිවාදී දේශපාලනයේ සරණ පැතීමට යොමුවීමය.

[title]70 සිරිමා ආන්ඩු‌‌‌වේ ජනරජය[/title]

මේ කාලයේ දී බහූතර ජනවර්ගයේ සාමාජිකයන්ව යොමුකරනු ලැබූවේ සෝල්බරි ව්‍යවස්ථාවේ සීමාවන් 1948 දි ලැබුනු නිදහස පූර්ණත්වයට පත් කිරීමේ බාධාවන් වශයෙන් හඳුනා ගැනීමටය. ජනතාවගේ නියෝජිතයන් සිටින පාර්ලිමේන්තුවට රටේ ස්වාධීනත්වය පිළිබිඹු කරමින් නීති පැණවීමට බාධා කරන සීමාවන් වශයෙන් ඒවා විස්තර කෙරින. ජනතාවගේ නියෝජිතයින් සිටින පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍ය සියල්ලට ඉහළින් තිබිය යුතු යයි ප්‍රකාශ විය. ‘පාර්ලිමේන්තු ස්වාධිපත්‍යය’ ජනතාවගේ අයිතිවාසිකමක් වශයෙන් හඳුනාගත් අතර එයට ඇති අවහිර ඉවත් කිරීම ජාතික නිදහස අර්ථවත් කරන බවට තර්ක කරන ලදි.

ජනරජයක් පිහිටුවීමට අවශ්‍ය නව ව්‍යවස්ථාවක් පිහිටුවීමට ජනවරමක් ඉල්ලූ සමගි පෙරමුණ 1970 දී පාර්ලිමේන්තුව තුළ 2/3 ක වැඩි ඡන්දයක් ලබා ගනිමින් බලයට පැමිණියේ මෙම පසුබිම තුළය.

ආන්ඩුව තමන්ට ලැබුනු අති විශාල ව්‍යවස්ථාදායක බලය යොදා ගෙන සමහර ආයතනික සීමාවන් නව ව්‍යවස්ථාව හඳුන්වා දීමට පෙරම ඉවත් කරන ලදි. 1970 සැප්තැම්බර් මාසයේ දී සෙනෙට් සභාව අහෝසි කරන ලදි. එහි ප්‍රතිඵලය වූයේ පාර්ලිමේන්තුව ඒක මණ්ඩල ව්‍යවස්ථාදායකයක් බවට පත්වීමය. 1971 දී බ්‍රිතාන්‍ය ප්‍රිවිකවුන්සිලය දක්වා මෙරට අධිකරණ තීරණවලට එරෙහිව අභියාචනා ගෙන යාමට තිබූ ක්‍රමවේදය අහෝසි කර ශ්‍රී ලංකා අභියාචනා මහාධිකරණය පිහිටුවන ලදි.

මේ අන්දමට සොල්බරි ව්‍යවස්ථාව අංග විකල කිරිම නිසා නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම අවශ්‍යවන හිස් තැනක් ද නිර්මාණය විය. 1972 දී ස්ථාපිත කළ ව්‍යවස්ථාව ‘ශ්‍රී ලංකාව’ යනුවෙන් රටේ නාමය වෙනස් කරන අතර බ්‍රිතාන්‍ය රැජිනගේ නායකත්වය පිළිගත් පාලන ක්‍රමය ඉවත් කර දමා ජනරජයක් හෙවත් සමූහාණ්ඩුවක් පිහිටුවන ලදි. ව්‍යවස්ථාව බැලූ බැල්මට පාර්ලිමේන්තු කැබිනට් ක්‍රමය තවදුරටත් ඉදිරියට ගෙන ගිය බව පෙන්නුම් කරන ලදි. නාමික සහ දේශපාලන යනුවෙන් විධායකය කොටස් දෙකකට වෙන් කිරීම දිගටම පවත්වා ගන්නා ලදි. නාමික විධායක වූයේ ජනාධිපතිවරයෙකි. දේශපාලන විධායකය වූයේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයයි. එහෙත් නව ව්‍යවස්ථාවේ පාලන ක්‍රමය බ්‍රිතාන්‍ය කැබිනටි ක්‍රමයෙන් බොහෝ දුරස්ථරවී තිබුනි.

[title]ආන්ඩුවේ බලතල ත්‍රීත්වයම[/title]

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට නොතිබූ තත්වයන් දෙකක් අලුතින් ඇති කරන පාර්ලිමේන්තුවට හෙවත් ජාතික රාජ්‍ය සභාවට හිමි විය. පළමුව ව්‍යවස්ථාව විසින් එය රාජ්‍යයේ උත්තරීතර ආයතනය යයි හඳුන්වන ලදි. එයට ඉහළින් කිසිම ආයතනයක් නැති බව එහි අදහස විය. එය ඒක මන්ඩල ව්‍යවස්ථාදායක් විය. එයට හරස් කපන දෙවන මන්ඩලයක් නොවීය. එය සම්මත කරන නීති අවසාන අනුමතියට නාමික විධායකයට යවන්නේ නැත. අධිකරයට එය පණවන නීති ප්‍රශ්ණ කළ නොහැකි විය.

දෙවනුව ආන්ඩුවේ බලතල ත්‍රීත්වයම එයට අයත් බව ව්‍යවස්ථාවේ සඳහන් විය. ඒ අනුව ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ යන ජනතාවගේ ආන්ඩු බලතල සියල්ල ජාතික රාජ්‍ය සභාව සතු බලයන් බව සඳහන් කරන ලදි. ව්‍යවස්ථාවට අනුව එය විසින් ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය කෙලින්ම පාවිච්චි කරයි. එය ජනතාවගේ විධායක බලය අගමැති ඇතුලු අමාත්‍ය මංඩලය මගින් ද ජනතාවගේ අධිකරණ බලය නීතියෙන් ඇති කර තිබෙන අධිකරණ මගින් ද ක්‍රියාවට නගයි. එයට හිමිවූ ව්‍යවස්ථාදායක බලයට අතීතයට බලපාන නීති පමණක් නොව ව්‍යවස්ථාව සංශෝධනය නොකර ව්‍යවස්ථාවට පටහැනි නීති පැණවීමේ බලය ද ඇතුලත් විය. එයින් ප්‍රකාශ වූයේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව පාලකයන්ව පාලනය කිරීම වෙනුවට ඔවුන්ට අසීමිත බලයක් ලබා දෙන ලියවිල්ලක් බවට පත්වූ බවය. මේ අන්දමට 1833 සිට ක්‍රියාත්මක වූ බලතල බෙදීමේ මූල ධර්මය අත් හැර දමා බලතල කේන්ද්‍රගත කිරීම හඳුන්වා දෙන ලදි.

ආන්ඩුවේ ත්‍රිවිධ බලතල ව්‍යවස්ථාදායකයට හිමි කර දුන්නත් ප්‍රායෝගිකව එම බලය මෙහෙයවූයේ එම සභාවේ බහූතරයක සහාය මත දේශපාලන වශයෙන් එම ආයතනය මෙහෙයවූ අගමැති ප්‍රමුඛ කැබිනට් මංඩලයයි. මේ නිසා බලතල කේන්ද්‍රගත කිරීමෙන් විධායකයට පහර වැදුනේ නැත. පහර වැදුනේ අධිකරණයටය. එයට පාර්ලිමේන්තුව පැණවූ නීති ප්‍රශ්ණ කිරීමට හෝ මූලික අයිතිවාසිකම් හෝ සුලුතර අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පෙර පැවති බලය අහිමි කරන ලදි. එය ආන්ඩුවේ තුන්වන ආයතනයේ තත්වයෙන් ද පහතට වැටුනි.

[title]අගමැති ආන්ඩුක්‍රමය[/title]

නව කැබිනට් විධායකය තුළ පැවතියේ අගමැතිගේ අසහාය නායකත්වයයි. ඇත්ත වශයෙන්ම ආන්ඩුක්‍රමය විසින් හඳුන්වාදී තිබුනේ ‘අගමැති ආන්ඩුක්‍රමයකි’ (A Prime Ministerial Government). ව්‍යවස්ථාවට අනුව නාමික විධායක ජනාධිපති පත් කිරීම සහ ඉවත් කිරීම, ඇමතිවරු පත් කිරීම, ඔවුන්ට පවරන විෂයන් තීරණය කිරීම, ඕනෑම අවස්ථාවක ඒවා සංශෝදනය කිරීම සහ ඇමතිවරයකු තනතුරින් පහ කිරීම සඳහා කිසිවකු විමසන්නේ නැතිව සිදුකිරීම පිළිබඳ පූර්ණ බලය අගමැතිට තිබුනි. හදිසි අවස්ථා තත්වයක් ඇතැයි තීරණය කිරීම අගමැති සතු තනි බලයක් විය. හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළ විට දින දහයක දී ජාතික රාජ්‍ය සභාවේ අනුමතිය ලබා ගැනීම පැවති එකම සීමාව විය. හදිසි අවස්ථා තත්වය බලපැවත්වෙන කාලයේ දී හදිසි අවස්ථා රෙගුලාසි පණවා රට පාලනය කිරීමට ව්‍යවස්ථාව විසින් අවස්ථාව සලසා දෙන ලදි. මෙම හදිසි අවස්ථා රෙගුලාසිවලට ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව හැර වෙනත් ඕනෑම නීතියක විධිවිධාන අත්හිටවීමට හෝ ඉක්මවා යාමට හැකි බව ද ව්‍යවස්ථාවේ සඳහන් විය. මෙම හදිසි අවස්ථා රෙගුලාසි සෑදීමට ජනාධිපතිට උපදෙස් දෙන්නේ අගමැතිය.

මේ අන්දමව නව ව්‍යවස්ථාව පාලකයන්ට සීමාවන් දමන ලිබරල් ව්‍යවස්ථා සම්ප්‍රදායෙන් බැහැරවී ජනතාවගේ ඡන්ද බලයෙන් බලයට පත්වන නායකයින්ට ජනතා පරමාධිපත්‍යයේ නාමයෙන් සීමා රහිතව බලය පාවිච්චි කිරීමට අවස්ථාව සැලසීය. නාමික විධායකයට උපදෙස් දෙමින් තම බලය එම තනතුර මගින් ක්‍රියාත්මක කිරීමට අගමැතිට සිදුවූවත් දේශපාලන විධායකය සංවරණය කිරීමට ජනාධිපතිවරයාට නොහැකි විය. එයට හේතුව නාමික විධායක වන ජනාධිපතිවරයා පත් කිරීමේ තනි බලය මෙන්ම ඔහුව බලයෙන් පහ කිරීමේ දී තනි මතය අනුව කටයුතු කිරීමට ද ව්‍යවස්ථාව අගමැතිට බලය ලබා දී තිබුන නිසාය. ජනාධිපති වශයෙන් තමන්ට අවශ්‍ය පුද්ගලයා නම්කර අගමැති විසින් ලිපියක් නිකුත් කර එම පුද්ගලයා අග්‍රවිනිශ්චයකරු ඉදිරියේ දිවුරුම් දීමෙන් ජනාධිපති පත් කිරීම හඳුන්වා දී තිබුන ක්‍රමවේදයයි. මේ අන්දමට නාමික විධායකය පත් කිරීම ලොව කිසිම කැබිනට් ආන්ඩුක්‍රමයක නොපැවතුනි.

1972 දී සිදුවූයේ කුමක් ද? ‘ව්‍යවස්ථානුකූල ආන්ඩුක්‍රමය’ යයි අප හඳුනාගත් මූලික පාලන ක්‍රමය යටපත් කරමින් ජනතාවගේ ජනප්‍රිය ඡන්දය ලබා ගන්නා නායකයකුට අසීමිත බලයක් හිමි කර ගත හැකි ඇරිස්ටෝටල් විසින් ප්‍රතිකේෂප කළ ‘ශුද්ධ ප්‍රජාතන්ත්‍රවාදය’ ඉදිරියට පැමිණීම ය.

ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැවතිය ද එය පැවතුනේ පාලකයා බලවත් කිරීමටය. මේ අන්දමට ව්‍යවස්ථානුකූල ආන්ඩුක්‍රමය මර්දනය කරමින් ගොඩ නගන ලද අගමැතිගේ ඒක තන්ත්‍ර ක්‍රමය 1977 දී බලයට පැමිණි ජේ ආර් ජයවර්ධන විසින් සුලු ව්‍යවස්ථා සංශෝධනයකින් ජනාධිපතිවරයාට පවරන ලදි. ඒ සමගම තමන් එහි පළමු ජනාධිපති වශයෙන් පත්වීමෙන් ජනාධිපති විධායකය නිර්මාණය කරනු ලැබූවේය.

1975 දී වාමාංශික නායකයන්ව ආන්ඩුවෙන් පහකළ පසුව පෙනී ගියේ, සමාජවාදී සමාජයක් පිළිබඳ අපේක්ෂාව පෙරටු කොට පැමිණි මෙම ව්‍යවස්ථා ක්‍රමය, රාජ්‍යය තුළ පැන නගිමින් සිට ‘නව දේශපාලන පංතියේ’ ආධිපත්‍යය තහවුරු කිරීමේ මෙවලමක් බවට පත්වන අන්දමය. මෙම නව පංතියේ ආධිපත්‍යය තහවුරු කිරීම ඇරඹෙන්නේ ව්‍යවස්ථානුකූල ආන්ඩුක්‍රමය මර්දනය කරමින් 1978 දී විධායක ජනාධිපති ධූරය ඇති කිරීමෙනි. (මීළඟ ලිපියෙන් ඒ ගැන සාකච්චා කරමු).

Archive

Latest news

Related news