හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ නිදහස් දින උත්සවයේදී නීතිපති දප්පුල ද ලිවේරා සමග එක පේළියේ අසුන් ගත්තේය. නාවික හමුදාවේ දැනට භාවිත වන ඉහළම නිලය දරන්නේ මේ වසන්ත කරන්නාගොඩ ය. ඒ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් ය. මේ තනතුර දරන්නාට නාවික හමුදාවේ විශේෂ ආරක්ෂාව මෙන්ම නාවික හමුදා නිල වාහන ඇතුළු වරප්‍රසාද සියල්ල හිමි ය.
[title]ප්‍රධාන විත්තිකරුවෙක්[/title]
කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පදිංචිව සිටි තරුණයන් 11 දෙනෙකු පැහැර ගැනීම සම්බන්ධ නඩුවේ ඔහු ප්‍රධාන විත්තිකරුවෙකි. එහෙත් පොලිසිය කියන්නේ ඔහුව සොයාගන්න නොහැකි බවකි. ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයෙන් නිකුත් කළ සිතාසි භාරදෙන්නට අවස්ථා තුනකදී උත්සහ දැරුවද, කරන්නාගොඩ හොයා ගන්නට නැත. පොලිසිය මේ ටික අධිකරණයට කී විට, නීතිපති දෙපාර්තමේන්තුව පැත්තෙන් උපහාසයට හිනා වෙන්නේය. ඒ දෙපාර්තමේන්තුවේ ඉහළම ප්‍රධානියා චූදිතයා සමග එකට සිටී. මේ කවර නම් තත්ත්වයක්ද?
මේ අපරාධ කරන්නාගොඩගේ අනුදැනුම යටතේ සිදු වූ බවට විමර්ශනවලදී සාක්ෂි ඉදිරිපත් වී තිබේ. ඒ සියල්ල මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර ඇත. 2009 වසරේදී මේ අපරාධ සම්බන්ධ පැමිණිල්ල, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලද්දේ මේ කියන වසන්ත කරන්නාගොඩය. ඒ, මේ නඩුවේ ප්‍රධාන සැකකරුවකු වන නේවි සම්පත් නමැත්තා සමග තිබූ පුද්ගලික තරහකටය. කොටින්ම ඒ කියන සම්පත්, සරත් ෆොන්සේකා ළඟට යෑම මේ කෝන්තරයේ ආරම්භයයි. ෆොන්සේකා සහ කරන්නාගොඩ අතර ගැටුම හමුදාවේ රහසක් නොවේ. නේවි සම්පත් අත්අඩංගුවට ගෙන විමර්ශන කිරීමෙන් පසු මේ කප්පම් සිද්ධිය දිගින් දිගට ඇදී යන්නේය. එයින් කරන්නාගොඩද කර මුලට හිර වෙන්නේය. කරන්නාගොඩ මුලින් කියා ඇත්තේ මෙසේ ය.
“….. කමාන්ඩර් සම්පත් මුණසිංහ දක්ෂ නිලධාරියකු නිසා තමන්ගේ ආරක්ෂාවට තබා ගත් බවත්, පසුව සම්පත් මුණසිංහ කඳවුරෙන් පැනගොස් තිබූ බවත්, පුද්ගලයන් පස්දෙනකු පැහැරගෙන යාමට සම්බන්ධ බවට සැක කළ හැකි බවත් ….”
පසුව ඒ පුටුවට ආ, හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියා ඇති කරුණු වැදගත් ය. 2008 වසරේ, එනම් ට්‍රැවිස් සින්නයියා නැගෙනහිර නියෝජ්‍ය විධාන ලෙස සේවය කරන කාලයේ, ත්‍රිකුණාමලය නාවික කඳවුරේ ගන්සයිඞ් නම් ප්‍රදේශයට පිටතින් වාහන පැමිණ ගිය බවත්, තමන්ට ඒ සම්බන්ධයෙන් කිසිවක් නොපැවසූ බවත් ය. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් ඒ සම්බන්ධයෙන් කිසිවක් නොසොයන ලෙසට තමන්ට උපදෙස් දුන් බවත්, නාවික හමුදාපතිවරයාගේ පුද්ගලික සහකාර ලෙස සේවය කළ ඩී.කේ.පී. දසනායක විසින් ඊට අදාළ කටයුතු සියල්ල කළ බවත් ය. ඩී.කේ.පී. දසනායකට එවැනි බලයක් නැති වුවද, නාවික හමුදාපතිවරයා විසින් එවැනි බලයක් ලබා දී තිබූ බව ද ඔහු පවසා තිබේ.
[title]කොමදෝරු රොහාන් නලින් දේවේන්ද්‍රගේ ප්‍රකාශය[/title]
මේ කරන්නාගොඩ හිර වීමට අදාළ එක තැනකි. මේ ටිකත් ඔබ කියවිය යුතුය. කොමදෝරු රොහාන් නලින් දේවේන්ද්‍රගේ ප්‍රකාශය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට මෙසේ ඉදිරිපත් කර තිබේ.
“….. විවිධ නාවික කඳවුරුවල සේවය කිරීමෙන් පසු ත්‍රිකුණාමලය නාවික සහ සාගරික විද්‍යා පීඨයේ විධායක නිලධාරි ලෙස රාජකාරි භාරගත් බවත්, එම කඳවුර පරිශ්‍රයේ ගන්සයිඩ් නමින් ස්ථානයක් තිබූ බවත්, තමන් රාජකාරි භාරගන්නා අවස්ථාව වනවිටත් එම ස්ථානය නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයන් විසින් පරිහරණය කළ බවත්, ඔවුන්ගේ සියලු පරිපාලන කටයුතු නාවික හමුදාපතිගේ පූර්ණ අනුදැනුම මත සහ අධ්‍යක්ෂ නාවික බුද්ධිගේ අධීක්ෂණය යටතේ සිදු වූ බවත්, මේ කටයුතු සඳහා එවකට විධායක නිලධාරි ලෙස සිටි තමාත්,
නැගෙනහිර ආඥාපතිවරුන් ලෙස සිටි සමරතුංග සහ වීරසේකර සම්බන්ධ නොවූ බවත්, ගන්සයිඩ් නමැති ප්‍රදේශය ආවරණය කර තිබූ අතර, ඒ තුළට බුද්ධි සාමාජිකයන්ට අමතරව වෙනත් කිසිදු නාවිකයකුට ඇතුළුවීමට අවසරය නොතිබූ බවත් ….”
මේ කාලයේදී නාවික හමුදා විශේෂ බුද්ධි ඒකකය භාරව කටයුතු කර ඇත්තේ ඩී.කේ.පී. දසනායක ය. ඔහු මේ කප්පම් නඩුවේ ප්‍රධාන විත්තිකරුවෙකි. ඔහු ඇප පිට සිටින අතරේ උසස්වීම් ලබයි. හරියටම රතුපස්වල සිද්ධියේ ප්‍රධාන සැකකරු වන බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධනට මේජර් ජෙනරාල් තනතුර ලබා දුන්නා වගේ ම ය. මේ දසනායක නම් සැකකරු අත්අඩංගුවේ සිටියදී දිගටම රෝහල්ගතව සිටියේය. කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට නඩු දිනයට පැමිණෙන ඔහු, අඩු තරමේ ගිලන් රියෙන් හෝ බැස්සේ නැත. ඒ සම්බන්ධයෙන් විනිසුරු ලංකා ජයරත්න විමසූ විට ඔහුගේ නීතිඥයන් විසින් දිගින් දිගටම වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර තිබුණේ ඔහු අසාධ්‍යව රෝගියෙකු බවට තහවුරු කරමිනි. එහෙත් ඇප ලැබූ සැණින් ඔහුට පිහාටු ලැබිණි. රාජකාරියට වාර්තා කළ අතර, සියල්ල සුපුරුදු පරිදි සිදු වෙමින් තිබේ. වසන්ත කරන්නාගොඩට සිතාසි භාර දීමට නොහැකි වීමත්, ඔහුගේ පුද්ගලික සහකාර ලෙස ඒ සමයේ නාවික හමුදාව තුළ අත්තනෝමතික බලයක් භුක්ති විඳි ඩී.කේ.පී.දසනායක සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ පිළිවෙතත් එක පෙළට තබා කියවා ගත යුතුය.
[title]ලුතිනන් කර්නල් වෙලගෙදරගේ ප්‍රකාශය[/title]
මේ ගන්සයිඩ් කඳවුර පිහිටා තිබූ නැගෙනහිර පළාතේ බුද්ධි අංශ කටයුතු අධීක්ෂණය කළේ දසනායක යටතේ, ලුතිනන් කර්නල් සුමිත් රණසිංහ ය. ඔහුගේ දෙවැනියා ලෙස කටයුතු කළ ලුතිනන් කර්නල් වෙලගෙදරගේ අධිකරණගත ප්‍රකාශයේ මෙසේ සඳහන් ය.
“…. නැගෙනහිර බුද්ධි අංශය අධීක්ෂණය කළ නඩුවේ දෙවැනි විත්තිකරු ලුතිනන් කර්නල් රණසිංහගේ දෙවැනි නිලධාරියා ලෙස තමන් කටයුතු කළ බවත්, විශේෂ බුද්ධි ඒකකය භාරව කටයුතු කර ඇත්තේ ඩී.කේ.පී දසනායක බවත් පවසා තිබේ. … අලි අන්වර්, රජීව් නාගනාදන්, ජෝන් රීට් කඳවුරේ සිටි බවත් ….. අලි අන්වර්ගේ හිසේ පහරදීමකින් ඇති වූ තුවාල දක්නට ලැබූ අතර, ප්‍රතිකාර කිරීම සඳහා සෙනෙවිරත්න නිලධාරියාට දැනුම් දුන් බවත් ප්‍රකාශ කර ඇත. දිනක් රාත්‍රියක ගන්සයිඩ් තුළ පුද්ගලයන් කිහිපදෙනකු මරා දමා ඇති බවට තොරතුරු ලැබුණු බවත්, එය පරීක්ෂා කිරීමට ගන්සයිඩ් තුළට පැමිණීමේදී පොලිතින් උර වල ඔතන ලද මළ සිරුරු බවට විශ්වාස කරන සිරුරු කිහිපයක් කැබ් රථය තුළ තිබූ බවත්, ගාමිණී ඇතුළු තවත් කිහිපදෙනකු තවත් එවැනි ම පොලිතින් වලින් ආවරණය කරන ලද මළ සිරුරක් කැබ් රථයට දමමින් සිටි බවත්, මෙලෙස පෙර දින රාත්‍රියේ මරා දමා ඇත්තේ කොළඹින් පැහැරගත් පුද්ගලයන් බවට තමන් විශ්වාස කරන බවත්….”
වෙනත් කිසිවක් කියන්නට අවශ්‍ය ද? අධිකරණයට පැමිණ මේ කරුණු අසත්‍ය නම්, එය තහවුරු කරනු වෙනුවට, පළා ගොස් සැඟවීමේ උපක්‍රමය කරන්නාගොඩලා අනුගමනය කරන්නේ ඇයි? ඊට ඔවුන්ට බලය ලැබී තිබේ.
මේ නඩුවේ තවත් ප්‍රධාන සැකකරුවෙකු වන, සැකකරුවන්ට සැඟවී සිටීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනා එල්ල වී ඇති හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවින්ද්‍ර විජේගුණරත්න ද හැසිරුණේ මෙසේම ය.
ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී තමන්ට එරෙහිව විමර්ශන සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිව සිටි නිශාන්ත සිල්වා මාරු කර නොදමන්නේ ඇයි දැයි පොලිස්පතිට තර්ජනය කළේ ඔහු ය. ඉන්පසු ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුව ඒ කියන නිශාන්ත සිල්වා මාරු කෙරිණි. වැදගත්ම කාරණය වන්නේ මේ සිදුවීම සිදු වූයේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය සිදු වූ දින 52 ආණ්ඩුව පැවති කාලයේ වීමයි.
කරන්නාගොඩගේ හයිය තියෙන්නේ කොතැනද යන්න අමුතුවෙන් කිව යුතු ද ?
(ඩී.බී.ඇල්කඩුව – ලංකා)