Tuesday, July 16, 2024

කොරෝනා ‌වසංගතය ගැන වූහාන් හි සිට වාර්තා කළ චීන පුරවැසි මාධ්‍යවේදී ‌චෙන් කියුෂි අතුරුදහන් !

ඡායාරූපය: ‌‌‌චෙන් කියුෂු චීනයේ නව හිමිකම් සහ මාධ්‍ය නිදහස ‌වෙනුවෙන් සිය සමාජ ජාල වාර්තාකරණය ‌‌‌යොදවන ලදී.

වුහාන් නගරයේ සිට කොරොන වයිරස් අර්බුදය සම්බන්ධයෙන් චීන ආණ්ඩුව කටයුතු කරන අන්දම පිළිබඳව විවේචනාත්මකව වාර්තා ප්‍රසිද්ධ කළ පුරවැසි මාධ්‍යවේදියෙකු වූ චෙන් කියුෂි සතියකට ආසන්න කාලයක් අතුරුදහන් වී ඇති බව ඔහුගේ පවුලේ අය පවසති.

ට්විටර් හි අනුගාමිකයන් 260,000 කට වඩා සිටින චෙන් කියුෂි , වුහාන් හි බොහෝ රෝහල්වල ආරක්ෂිත ඇඳුම්, කණ්නාඩි, අත් සනීපාරක්ෂක සහ විෂබීජ නාශක නොමැති බවත්, අවට නගරයන්හි සූදානම ඊටත් වඩා අඩු බවත් බවත් වාර්තා කළේය.

චෙන් මහතා අතුරුදහන් වීමෙන් පසු, පසුගිය බ්‍රහස්පතින්දා තම පුතා සෙවීමේදී උදව් ඉල්ලා සිටි ඔහුගේ මවගේ වීඩියෝවක් ඔහුගේ ට්විටර් ගිණුමේ පළ කරන ලදී.

චීනයේ නීතියට අනුව “සාවද්‍ය තොරතුරු” පතුරවන ඕනෑම අයකුට දඩුවම් දිය හැකි ය.

පසුගිය බ්‍රහස්පතින්දා සිට අතුරුදන් ව ඇති 34 හැවිරිදි චීන මානව හිමිකම් නීති චෙන් කියුෂි පසුගිය ජනවාරි 24 වනදා සිට කොරෝනා වයිරස් අපිකේන්ද්‍රය වන වූහාන් හි තත්වයන් පිළිබඳව සමාජ මාධ්‍යවල නිරන්තර යාවත්කාලීන කිරීම් කරමින් සිටියේය.

වාර්තා කිරීම පිනිස ඔහු වුහාන් වෙත පැමිණියේ කෙරෝනා වෛරසය නිසා නගරය අගුලු දැමීමට මොහොතකට පෙර ළඟා වූ අවසාන දුම්රියෙනි. රෝගය ගැන ඔහුගේ වාර්තාකරණය, චීන කොමියුනිස්ට් පක්ෂය පවත්වා ගෙන යන දැඩි මාධ්‍ය වාරණය නොසළකා හැරීමක් විය.

ආපදාවක් ඇති වූ මුල් අවස්ථාවේදී ම පෙරමුණට යාමට ඔබ නිර්භීත නැත්නම් ඔබ වාර්තාකරුවෙකු ලෙස හැඳින්විය හැක්කේ කෙසේද?” යැයි වුහාන් වෙත පැමිණීමෙන් පසු සිය යූ ටියුබ් නාලිකාවේ වීඩියෝවක ඔහු අසා සිටියේ ය.

ඔහු අතුරුදහන් වූ පුවත පළ වූයේ ප්‍රථමයෙන්ම නව කොරෝනා රෛසය ගැන අනතුරු හැඟවූ වෛද්‍ය ලී වෙන්ලියැන්ග්ගේ මරණයත් සමඟම ය. තමා ප්‍රාදේශීය බලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට පෙර වෛද්‍ය ලී වෙන්ලියැන්ග් කොරෝන වෛරසය ගැන මිනිසුන්ට අනතුරු ඇඟවීමට උත්සාහ කළේය.

වෛද්‍ය ලීගේ මරණය චීනය පුරා කෝපයක් හා ශෝකයක් ඇති කළ අතර සිකුරාදා වන විට චීන සමාජ මාධ්‍ය වේදිකාව වන වයිබෝ වෙත බිලියනයක් තරම් ප්‍රකාශ එක් කර තිබුණි. එම ප්‍රකාශ චීන රජය විසින් වාරණය කරන ලදුව පැය කිහිපයක් ඇතුළත මිලියන 450 ක් දක්වා අඩු විය.

නව කෙරෝනා වෛරසය පැතිර ගිය වුහාන් හි සිරවී සිටින පුද්ගලයින් සමඟ  සම්මුඛ සාකච්ඡා පැවත්වා චෙන් කියුෂි ඒවා ද ප්‍රසිද්ධ කළේ ය.

චෙන් කියුෂි අතුරුදහන්වීමෙන් පසු ඔහුගේ යූ ටියුබි චැනලයේ පළකළ වීඩියෝවක ඔහුගේ මව මෙසේ කීවාය.

අද සවස ඔහු කීවේ තාවකාලික රෝහලකට යන බවයි. නමුත් අද රාත්‍රී 7:00 ත් රාත්‍රී 8:00 ත් අතර සිට අපට තොරතුරක් නැත.

දැන් පාන්දර 2.00 යි.

මම විශේෂයෙන් වුහාන්හි සිටින චීන අන්තර්ජාලවාසීන්ගෙන් උදව්වක් ඉල්ලා සිටිමි. මට වෙන් කියුෂි සොයා ගැනීම අවශ්‍ය ය. මගේ පුතාට සිදුවූයේ කුමක්දැයි සොයා ගැනීමට අවශ්‍ය ය.” ‌‌

අුතුරුදහන්වීමට ‌පෙර ‌‌චෙන් කියුෂි සිය සමාජ මාධ්‍යයන්හි ‌මෙවැනි සදහනක් කර තිබුණි.

මම මගේ විදේශීය මිතුරන්ට මගේ සමාජ මාධ්‍ය ගිණුම්වල මුරපද සියල්ලම ලබා දුන්නා… මම ඔවුන් පැය 12 කාලයක් තුළ සම්බන්ධ කර නොගත්තොත් ඔවුන් මුරපද වෙනස් කරයි.”

මන්ද යත් මා අත්අඩංගුවට ගනු ලැබුවහොත් යූ ටියුබ්සහ ට්විටර්හි මගේ සියලුම වීඩියෝ මකා දැමීමට බලධාරීන් මට බල කළ හැකි නිසා ය.”

මින් පෙනේනනේ පුරවැසි මාධ්‍යවේදී වෙන් කියුෂු තමා අත්අඩංඟුවට පත්වුවහොත් සිය සමාජ ජාල ගිනුම් ආරක්ෂා කිරීම සිය විදේශීය මිතුරන්ට බාර දී තිබූ බවත් ඔවුන්ගේ ආධාරයෙන් මව විසින් වීඩියෝව පළ කළ බවත් ය.

චෙන් කියුෂි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් චීන රජය ප්‍රසිද්ධියේ විවේචනය කළ අයෙකි.

පසුගිය වසරේ ඔහු හොංකොං හි සිට චීන ප්‍රේක්ෂකයින්ට චීන සමාජ මාධ්‍ය වන වයිබෝසහ වීඩියෝ බෙදාගැනීමේ යෙදුමක් වන ඩුවින්හි මිලියනයකට අධික සිය අනුගාමිකයින් වෙත සජීවීව විකාශයනයක් කළේය. ඔහුගේ එම ගිණුම් ඉන් පසු තහනම් කරන ලදී. චීන සමාජ මාධ්‍යක් වන “වී චැට්” හි ඔහුගේ ගිණුමෙහි අන්තර්ගතය ද අතුගා දමන ලදී.

ඉන් අනතුරුව යූ ටියුබ් වෙත මාරු වූ චෙන් කියුෂි අතුරුදහන්වන වනවිට ඔහුට එහි 450,000ක් අනුගාමිකයින් සිටියේ ය.

පසුගිය මාසයේදී, “වී චැට්” එහි පරිශීලකයින්ට අනතූරු හඟවා සිටියේ ව්‍යාජ තොරතුරුනීති අනුව වැරදි තොරතුරු පැතිරවීමට එරෙහිව වසර හතක් දක්වා සිර දඬුවමක් නියම කළ හැකි බවයි.

චීන පුරවැසි මාධ්‍යවේදී වෙන් කියුෂි තවම කිසිදු තොරතුරක් දැන ගන්නට ලැබී නැත.

(ඒබීසී පුවතක් ඇසුරිනි)

Archive

Latest news

Related news