ඡායාරූපය: සමන් රත්නප්‍රිය © සුනන්ද දේශප්‍රිය.
එක්සත් ජාතික පෙරමුණ ජාතික ලයිස්තු මන්ත්‍රී, එක්සත් සමාජවාදී පෙරමුණ නියෝජනය කරමින් පත්කරන ලද ආචාර්ය, ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රරත්න පසුගිය දා ඉල්ලා අස්විය. මෙම ඉල්ලා අස්වීම විවාද සම්පන්නය. වත්මන් පාර්ලිමේන්තුවට ඇත්තේ තවත් කෙටි කාලයකි. එමෙන්ම පසුගිය කාලයේ විවාද සම්පන්න නීතිමය කරුණු වලදී ජයම්පත් වික්‍රමරත්න ජනාධිපති නීතිඥවරයා විසින් විශාල කාර්යභාරයක් සිදු කරන ලදි. එමෙන්ම එම නීතිමය කරුණු සමාජගත කිරීම සඳහා ඔහු විශාල සේවයක් කළේය. ඉතාමත් සරළ, පැහැදිලි, නිරවුල් භාෂාවකින් සංකීර්ණ අදහස් සමාජගත කිරීමට ඔහුට හැකිවිය. ඔහු විසින් පාර්ලිමේන්තුවේ දී සිදුකරන ලද චතුර කතාවන්, සාරගර්භිතය. ඔහු ඉවත් වීම නිදහස් මතධාරීන්ට නිවහල් අදහස් දැනගැනීමට තිබූ අවස්ථාවක් අහිමිවීමකි. නමුත් ඔහුගේ ඉල්ලා අස්වීමෙන් සලිත වී ඇත්තේ සිවිල් සමාජයයි.
සමන් රත්නප්‍රියගේ පත්වීම
නායකකාරකාදීන් කුමක් අදහස් කළේදැයි නොදනිමු. නමුත් මේ හිස්තැන පිරවීමට දැන් පත්වී ඇත්තේ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙක්, වෘත්තීය සමිති නායකයෙක් වන සමන් රත්නප්‍රිය යි. පසුගිය කාලය පුරාම රටේ පැවති අර්බුදකාරී අවස්ථාවන් වලදී සිවිල් ක්‍රියාකාරිකයන් සමග, දේශපාලනය හා ජනතාව සම්බන්ධ කරවීමට දැඩි වෙහෙසක් ගත් ක්‍රියාකාරී පුද්ගලයෙකු ලෙස ඔහු හැඳින්විය හැක. එය වඩාත් කැපී පෙනුනේ ව්‍යවස්ථා අර්බුදය අවස්ථාවේදී ය. සමන් රත්නප්‍රියගේ දේශපාලනික ක්‍රියාකලාපය කලින්ම දුටු, ඒ නිසාම එයින් ඈත් වූ කිහිප දෙනෙක් අපි දනිමු. අපට එය තේරුම් ගත හැකිය. මන්ද තමන් විශ්වාස කරන තමන්ගේ සිවිල් ක්‍රියාකාරිත්වයේ අදීනත්වය හා නිර්මලත්වය රැක ගැනීමට උපරිම උත්සාහ කරන අය ද සිටියි.
නිදහසේ වේදිකාව, වීදියේ විරෝධය, තුළින් පන්නරය ලද සිවිල් ක්‍රියාකාරීන් විසින් සිදුකරන ලද ක්‍රියාකාරිත්වයේ දී සිටි සමාජවාදී ව්‍යාපාරය තුළින් මතුව ආ ක්‍රියාකාරීන්ට වඩා වෙනස් මානයක් සිවිල් සමාජය ක්‍රියාකාරිත්වය තුළ ඇති කිරීමට සමන් රත්නප්‍රියගේ ක්‍රියාකාරීත්වය හා සම්බන්ධතාවයන් හැකිවිය. සුදර්ශන ගුණවර්ධනත් ඒ සමානව වෙනත් දිසාවකින් පෙළහර පෑවේ ය.
සිවිල් ක්‍රියාකාරීන්ගේ වෙස්මුහුණු
නමුත් මේවන විටම සිවිල් සමාජය ක්ෂේත්‍රය තුළ සමන් රත්නප්‍රිය විසින් මෙම පත්වීම බාරගැනීම විවාදයට ත්, ඔහු අපහාස කිරීමටත් බඳුන්වී තිබේ. එසේ ක්‍රියා කරන්නේ ඔහු සමග අවසාන මොහොත දක්වා ක්‍රියාකාරීව සිටි පිරිස් ය.. ඔවුන් සමන් රත්නප්‍රියගේ සංවිධානාත්මක සෙවනේ පහස ලැබූවන් ය. බොහෝ සිවිල් ක්‍රියාකාරීන් සිවිල් ක්‍රියාකාරිත්වයන්ට සහභාගිවීමේ දී ගමන් වියදම් වැනි දේ නොගෙව යි. නමුත් එසේ ගමන් වියදම් ගෙවා කණ්ඩායම් එක්රැස් කරන පිරිස් ද සිටිති. රාජ්‍ය නොවන සංවිධානයන්හී ස්වභාවය එය යි. නමුත් සමන් රත්නප්‍රිය විසින් එක්රැස් කරන ලද පිරිස ඒ සඳහා සහභාගිවන්නේ තමන්ගේ ඒ කිසිඳු ගෙවීමකින් තොරව ය. ඒ නිසාම බොහෝ සිවිල් සංවිධාන ක්‍රියාකාරිත්වයන් සඳහා ක්‍රියාකාරීන් සහභාගි කරවීමට සමන් සමත්විය. සමන්ගේ දේශපාලන අරමුණු පැහැදිලි ය. ඔහු චන්ද්‍රිකා, මහින්ද, රනිල්, මෛත්‍රි, වැනි දේශපාලන නායකයන් සියල්ලන් සමග වැඩ කිරීමෙන් පසුව සිවිල් සමාජය කණ්ඩායම් එක්ව දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ දී එක්වේ. සමන් රත්නප්‍රිය යනු 100 දෙනෙක් රැස්වීමකට ගෙන ආ නොහැකි නිකමෙක් නොවේ. ඔහුගේ දේශපාලන අභිප්‍රායට සිවිල් ක්‍රියාකාරීන් විරෝධය දක්වන්නේ නම් එය කළ යුතුව තිබුණේ මුල් අවස්ථාවේදී ම ය.
සිවිල් ව්‍යාපාරය තුළ සමන් රත්නප්‍රිය භූමිකාව
සමන් කිසිඳු දේශපාලන පක්ෂයක සෘජු සම්බන්ධතාවයක් නොමැති වුවද 1996 සිට මේ දක්වා සමාජික සමාජිකාවන් විශාල පිරිසකගෙන් යුතු වෘත්තීය සමිතියක නායකත්වය දරයි. ඒ සඳහා ඔහු ගමන් ගත් මාර්ගයන් අරගලකාරී හා වෙහෙසකර ය. රාජ්‍ය සේවා හෙඳ සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ අනන්ද හිමිට එරෙහිව යමින් විශාල සමාජික සමාජිකාවන්ගෙන් හෙබි හෙඳ වෘත්තීය සමිතියක් බිහි කිරීම පහසු කටයුත්තක් නොවේ. එයින් ඔහුගේ දේශපාලන අරමුණු පැහැදිලි ය. එය කිසිවෙකුට රහසක් නොවේ. ඔහු චන්ද්‍රිකා, මහින්ද, රනිල්, මෛත්‍රි, වැනි දේශපාලන නායකයන් සියල්ලන් සමග වැඩ කිරීමෙන් පසුව සිවිල් සමාජය කණ්ඩායම් එක්ව දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ දී එක්වේ. සමන් රත්නප්‍රිය යනු 100 දෙනෙක් රැස්වීමකට ගෙන ආ නොමැකි නිකමෙක් නොවේ. ඔහුගේ දේශපාලන අභිප්‍රායට සිවිල් ක්‍රියාකාරීන් විරෝධය දක්වන්නේ නම් එය කළ යුතුව තිබුණේ මුල් අවස්ථාවේදී ම ය. අරලිය ගහ මන්දීරයේ පස්පාගන්නේ නැහැයි කියූ වීරයන් පසුව සමන් සමග එහි ගියේ ය. අගමැති, මැති ඇමතිවරුන් හමුවීමට, මාධ්‍ය ආයතනයන් ආක්‍රමණය කිරීමට මගක් නොමැතිව සිටි අයට සමන් හරහා එය ද ලැබුණේ ය.
සමන් රත්නප්‍රිය බොහෝ සිවිල් ක්‍රියාකාරීන් අභිවබා ඉදිරියට පැමිණියේ 2018 ඔක්තෝම්බර් ව්‍යවස්ථා අර්බුදයත් සමග යි. එහිදී සිවිල් ක්‍රියාකාරීන්, දේශපාලන නායකයන්, බුද්ධිමතුන්, කලාකරුවන් හා ජනතාව එක්රැස් කිරීමට හැකිවිය. දින ගනනාවක් තිස්සේ ඊට විරෝධතාවය දක්වමින් විහාර මහාදේවී උද්‍යානය ඉදිරිපිට දිනය පුරා පවත්වන ලද සත්‍යග්‍රහය යි. ඒ තුළින් සමාජයට විශාල බලපෑමක් කිරීමට හැකි විය. මැත ඉතිහාසයේ දී ලංකාවේ සිවිල් ක්‍රියාකාරිත්වයක් තුළ දැකීමට හැකිව තිබූ සාමූහිකත්වයත්, සංවිධාන ශක්තියත්, පෙන්වන ලද අවස්ථාවකි. ඒ සඳහා නායකත්වය දුන් කණ්ඩායම අතර සමන් ද ප්‍රමුඛය. සමහර සිවිල් සංවිධානයන්ට සෙනග 10 දෙනෙක් සංවිධානය කිරීමට නොහැකි අවස්ථාවන් හිදී විවිධ කණ්ඩායම් සමග එක්ව දින ගණනාවක් පුරාම ජනතාව එක් කිරීමට ඔවුන්ට හැකි විය. ඒ සඳහා සමන්ගේ සම්බන්ධතා විශාල දායකත්වයක් සැපයූ බව දනිමු. ලියුම්කරුට වඩා ඊට සහභාගිවූවන් සාක්ෂි දරනු ඇත. පුදුම ය නම් අද සමන්ගේ පත්වීමට විරුද්ධවන්නේත්, ඔහු හා ඔහුට එල්ල කරන චෝදනාවන් සිදු කරන ලබන්නේත් මේ සියල්ල දත් කණ්ඩායම විසින්ම වීම යි.
සාමාන්‍යයෙන් සිවිල් සංවිධාන ක්‍රියාකාරිත්වයන් සඳහා සහ මාධ්‍ය හමුවීම් සඳහා විද්යුත් මාධ්‍ය පැමිණීමට අකමැත්තක් දක්වයි. මේ තත්ත්වය වෙනස් කිරීමට සමන් රත්නප්‍රිය විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග දුටුවෙමු.
සිවිල් ක්‍රියාකාරීන්ගේ විවිධත්වය
බ්‍රිටෝ ප්‍රනාන්දු, ජයතිලක බණ්ඩාර, ප්‍රධාන කොට ගත් දිවි හිමියෙන් ප්‍රජාතන්ත්‍රවාදී සටන් වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායම දැන් පැහැදිළිව වෙනස් වෙයි. ඔවුන්ට බොහෝ රජයන්ගෙන් තාන්නමාන්න, වරප්‍රසාදයන් ලැබුනද, ඒ සියල්ල ප්‍රතික්ෂේප කර නැවත නැවතත් අරගලයන්ට එක්විය. ඒ ඔවුන්ගේ ශෛලිය යි. එය විශිෂ්ඨ අදීන තත්ත්වයකි. නමුත් ඊට වෙනස් මගක් ගත් සිවිල් සමාජ ක්‍රියාකාරිනි ආචාර්ය නීතිඥ නිමල්කා ප්‍රනාන්දු තමන්ට ලැබුණු තනතුර බාර ගත්තාය. ඒ තුළ ඇය විසින් ඇයට කළ හැකි බොහෝ කරමින් සිටියි. ඇය ද ඇයගේ සීමාවන් තුළ තමන්ගේ විෂය පද්ධතියට අයත් කරුණු වලදී සිවිල් සමාජ ක්‍රියාකාරීන් සම්බන්ධ කරගත්තා ය. සුදර්ශන ගුණවර්ධන ද තමන්ගේ කාර්ය ඉතාමත් කාර්යක්ෂමවත්,නිර්මාණශිලීවත් කළේය. ඔහු ඒ කාලය තුළ සිවිල් ක්‍රියාකාරීන් වෙනුවෙන් සහය ලබාදුන්නේ ය. නිමල්කා සහ සුදර්ශන නිරන්තරයෙන් සිවිල් ක්‍රියාකාරීන් හා බැඳෙමින් අවශ්‍ය සහය ලබාදුන්නෝය. සමහර සිවිල් ක්‍රියාකාරීන් මේ සියල්ලට විරුද්ධ වෙයි. එවැනි සමහරු රජයන් පැමිණි විට රජයන්ගෙන් හොරෙන් සහය ලබා ගන්නා අතර අනෙක් සිවිල් ක්‍රියාකාරීන්ගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙයි.
සියළුම සිවිල් ක්‍රියාකාරීන් ඒකාකාරී නැත. ඒකාකාරී විය යුතු ද නැත. ඒ විවිධත්වය පිළිනොගන්නා තාක්කල් රටේ කිසිඳු සිවිල් ව්‍යාපාරයක් සාර්ථක වන්නේ ද නැත. පැහැදිලි දේශපාලන අරමුණක් තිබෙන දේශපාලන වෙනසක් කිරීමට පැහැදිලිව ම ක්‍රියාකාරී දේශපාලනයේ නියැලිය යුතු යයි සිතන, පතන, ජීවිතය කාලයම එවැනි අරමුණු උදෙසා කැපවුනු සිවිල් ක්‍රියාකාරීහු ද සිටිති. ජනතාව සංවිධානය කිරීම යනු ඔලුගෙඩි නොව අදහස් සහිත පිරිසක් බිහි කිරීම යයි සිතන පිරිසක් ද, ජනතා මතය වෙනස් කිරීමට නම් විශාල වශයෙන් ජනතාව සංවිධානය කිරීම, ජනමාධ්‍ය, රූපවාහිනී සංවාද, සාකච්ඡා වලට සහභාගි විය යුතු යයි සිතන පිරිසක් ද සිටිති. දේශපාලන පක්ෂ හා සෘජුව ක්‍රියාත්මක විය යුතු යැයි සිතන පිරිසක් ද සිටිති. සමන් රත්නප්‍රිය ඒ අතරින් එක් අයෙකු පමණි.
වෛරී සිවිල් ප්‍රතිචාර
සමන් රත්නප්‍රිය විසින් කොරෝනා වෛරසය සඳහා පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවක කොටසක් සිවිල් කණ්ඩායමක් විස්න් නිර්මාණය කර ඇති වට්ස්අප් කණ්ඩායමකට ඇතුළු කර තිබුණි. ඊට විරෝධය දක්වන ලද එම කණ්ඩායමේ කිහිප දෙනෙක් ඊට ප්‍රතිචාර දක්වන ලද්දේ වෛරී ස්වභාවයෙනි. පැරණි ව්‍යාපාරයේ සම්බන්ධතාවයන්ට වඩා වැදගත් වූයේ වෙනස් අදහස් දක්වනන් ෆැලට් න්‍යායෙන් විනාශ කර දැමීමයි. තවමත් ඒ ෆැල්ට් න්‍යායෙන් කටයුතු කරන වාමාංශික ව්‍යාපාරයේ ගිනි පුළිගු ඉතිරි වී තිබේ. ෆැලැට් න්‍යායෙන් කටයුතු කරන ලද වාමාංශික ව්‍යාපාරයන් ඇතුළු දේශපාලන ව්‍යාපාරයන්ට අත්වූ ඉරණම අපි දනිමු. දැනටමත් සිවිල් සංවිධාන ව්‍යාපාරයටත් ඒ හානිය සිදුවී තිබේ. නෙල්සන් මැන්ඩෙලා විසින් දකුණු අප්‍රිකාවේ ඇති කරන ලද සංහිඳියාව හේතුවෙන් ගැටුම් කළමනාකරණය මෙන්ම, අන් මත ඉවසමින් නව ප්‍රජා සංවිධාන සංස්කෘතියක් නිර්මාණය කර දැන් දශකයකට වැඩිය. ඒ නිසාම බොහෝ දේශපාලන පක්ෂ වල සංස්කෘතීන් ද වෙනස් වී තිබේ. යල්පැන ගිය සංකල්ප වලින් සිවිල් සමාජයට කළ හැකි මෙහෙවරක් නැත.
කොරෝනා වෛරසය ගැන සමන් දක්වන ලද අදහස් වෛද්‍යවරයෙකු විසින් පැවසුවේ නම් එවැනි අදහසක් මතුවේද? ඔහු විසින් දක්වන ලද්දේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබෙන තත්ත්වයයි. මේ අභියෝග එල්ල කරන ලද වට්ස්අප් පිටුවේ සාමාජික සාමාජිකාවන් 500 වත් නැත. අපගේ නිරීක්ෂණයන්ගෙන් අවබෝධ වුයේ සමන්ගේ වෘත්තීය සමිතියේ සමාජික සමාජිකාවන් 25,000 පමණ සිටින බවයි. එමෙන්ම ඔහුගේ පෞද්ගලික මුහුණු පොතේ මිතුරු මිතුරින් 5000 පමණ සිටියි. එමෙන්ම ඔහුගේ මුහුණු පොතේ පිටුවේ 4000 සාමාජිකයන් සිටියි. මේ නිසා සමන් රත්නප්‍රිය විසින් හුදු ජනප්‍රියතාවය ප්‍රකාශ කිරීමට තිබුණේ නම් ඒ සඳහා වෙනත් ක්‍රමයක් භාවිතා කළ හැකිව තිබුණි. ඔහුගේ එම පෝස්ටුව ඉවත් කිරීමට අවශ්‍යතාවය තිබුණේ නම් ඔහුට දුරකතන ඇමතුමක් දිය යුතුව තිබුණි. නමුත් වෛරී ප්‍රකාශන භාවිතයෙන් පෙනෙන්නේ එහි ඊට වඩා වෙනස් උවමනාවක් තිබෙන බවය.
සිවිල් ව්‍යාපාරය සමන් රත්නප්‍රියගෙන් දික්කසාදවීම
බාහිරින් බලන විට අපට පෙනේනේ සමහර සිවිල් සංවිධාන සමාජික සාමාජිකාවන් සමන්ගේ පත්වීමත් සමග ඔහුගෙන් දික්කසාද වී ඇති බවයි. ලංකාවේ සාමාන්‍ය දික්කසාදයක දී සිදුවන්නේ අනෙක් අනෙකාට සිතාගැනීමටත් නොහැකි චෝදනා ගොනු කිරීමයි. කලින් දිනයේ තමාගේ සැමියා, බිරිඳ ද කියා හිතාගැනීමට නොහැකි අන්දමින් චෝදනා කිරීමයි. අතීතයේ තමන් හා යහන්ගත වූයේ මේ පුද්ගලයා ද කියා නොසිතෙන තරමට චෝදනා කිරීමයි. එහිදී මානව සම්බන්ධතාවයක් ගරු කිරීමක් හෝ එකිනෙකාට ගරු කිරීමක් හෝ අනෙකා නිසා තමන්ගේ ජීවිතවලට එකතු වූ යම් දෙයක් එකතු වූ බවක් හෝ නොසිතා චෝදනා කිරීමයි. දැන් සිවිල් සමාජයේ සිටින සමහර පුද්ගලයන්ට සිදුව ඇත්තේ ද මෙයයි. ඒ තුළින් තමන්ගේ අනන්‍යතාවය හා බලය ගොඩනගා ගැනීම සිදු කිරීමයි. මෙම තත්ත්වයන් පැහැදිලි කර හැකි වන්නේ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ සාධාරණත්වය හා ආධිපත්‍යය ඇති කිරීමට අරමුණු කරගත් සිවිල් වැසියන් සිටින සංවිධානයක නොව, නොදියුණු, නූගත්, ගෝත්‍රික සමාජයකටය. ඔවුන්ගේ අනාගතය රටේ ජනතාව විසින් ඉදිරියේ දී තීරණය කරනු ඇත.
සියළු දෙනාම එක්ව සියඹලා රස විඳ දැන් සියඹලා රස වින්දේ සමන් පමණක් බව පවසයි. සත්‍යය එම නොවන බව පැහැදිලිය.