ඡායාරූපය: ගෝඨාභයගේ හතුරන් සොයා ගත හැක්කේ එළාර – දුටු ගැමුණූ සටන තුළ නොව ඔහුගේම දුටුගැමුණු පෙරමුණ තුළ ය.
‘කෝ හතුරෝ! කෝ හතුරෝ! කෝ අපගේ හතුරෝ!
සංදේශය සිනමා පටයට අරිසෙන් අහබුදු ලියූ ඒ ගීය සමහර විට දැන් ජනාධිපති මන්දිරයෙහි නින්නාද වෙමින් තිබෙනවා ඇත.
මන්ද යත් ඒ පැත්ත බැලුවත් මේ පැත්ත බැලුවත් ගෝඨාභය රාජපක්ෂ මුහුණ දී සිටින්නේ එකක් හැර එකක් පැන නගින ප්‍රශ්ණ වලට නිසා ය. ඇත්ත වශයෙන්ම නම් අද ගෝටාගේ හතුරන් සිටින්නේ බැහැර නොවේ. ඇතුළතය. ඔහුගේ ම දේශපාලන ව්‍යාපාරය තුළ ය.
බැහැර විපාක්ෂික බලවේග තවමත් ජනාධිපතිවරණ පරාජයේ තුවාල ලෙවකමින් සිටිනවා විනා ජව සම්පන්න ප්‍රවේශයක් නොපෙන්වයි. වික්‍රමසිංහ ජනප්‍රවාද ගත කේතලය බදා ගත් වළහා වැන්න. කොතරම් පිච්චුනත් අත නොහරී. සජිත් ගැන කියලා වැඩක් නැත. ඔහු කතා කරන්නේ ගෝටාභයට සහය දෙන හැටි ය. කරු ජයසූරිය වියපත් ය.
ජවිපෙ ඇතුළු වාම කණ්ඩායම් හිමිහිට නමුත් පාර්ලිමේන්තු නොවන විරෝධතාවයන් හි යෙදෙන්නට පටන් ගෙන තිබීම සතුටකි.බෙදී විසිරී ඇති, එමෙන්ම විශ්වසනීයත්වයෙන් පහලට වැටී ඇති සිවිල් සමාජය කෙරෙන් හෝ දේශපාලන ගැතිබාවය සංස්කාරක පිළිවෙත බවට පත් කරගෙන ඇති ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය කෙරෙන් හෝ ගෝඨාභයගේ ප්‍රජාතන්ත්‍රවිරෝධී පිළිවෙත් වලට ප්‍රතිවිරුද්ධකම් පෑමක් අපේක්ෂා කළ නොහැකි ය.
කෙසේ වෙතත් වීදියේ විරෝධතා මේ අවස්ථාවෙහි ඔහු එතරම් ගණනකට නොගන්නවා ඇත. ඒ අද ඔහු මුහුණ දෙන අභියෝගය වන්නේ සිය බලය සහ දැක්ම, රජය බවට පත්කර ගැනීම නිසා ය. රාජ්‍යය යනු මම ය. රාජ්‍ය දැක්ම යනු මගේ දැක්ම ය. ගෝටා කැමැත්ත එයට ය.
ජනාධිපති ගෝඨාභය කී පරිදිම ඔහු බලයට පත් වුයේ සිංහල ජනයාගේ ජන්ද වලිනි. ඊටත් වඩා සිංහල බෞද්ධ ජන්ද වලිනි. එම ජන්ද ඔහු කරා ගෙන එනු ලද්දේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය වටා පෙළ ගැසුණු බලවේගයන්හි සම්මිශ්‍රණයක් විසිනි. එම මහා සන්ධානය හරිමැද සිටියේ රණකාමී සිංහල බෞද්ධ සංඝයා ය.
එකී සංඝයා විවිධ මුහුණූ වරින් පෙනී සිටිති. අයෙක් මිනීමැරුමකට වරදකරු වී සිටින කෝටිපති දුමින්ද සිල්වා බෝධිසත්වයකු බැවින් ඔහු නිදහස් කරදෙන ලෙස ගෝඨාභයට වද දෙති. මඩකලපුවේ අපකීර්තිමත් චීවරධාරියා රටට පමණක් නොව ලෝකයාටම පෙනන ලෙස දෙමළ මුසුලිම් ජනයාට ගරහති. අසැබි චවනයෙන් පමණක් නොව කායිකව ද පහර දෙති. තවත් එවැන්නකු ඇමෙරිකාව සමඟ ඇති ගිවිසුම්වලින් වහා ඉවත්වන ලෙස බලකර කියා සිටී. රංජන්ගේ හඩපට වේවයි ඇමෙරිකාව සමඟ ඇති ගිවිසුම් වේවයි කෙරෝනා වයිරසය වේවයි දරුවනට ලිංගික අධ්‍යාපනය ලබාදීම වේවයි අද ජනමනස පාලනය කරන්නට පෙරට එන්නේ මේ අන්තවාදී සංඝයා ය.
මේ වනාහී ගෝඨාභය රාජපක්ෂගේ මතවාදී ආධිපත්‍යය නොවේ. අන්තවාදී සංඝයාගේ මතවාදී ආධිපත්‍යයි. ගෝටාගේ සටන් පාඨය වූයේ විනය ගරුක පාලනයක් යන්න ය. මේ අන්තවාදී සංඝයා ඊට ප්‍රතිවිරුද්ධ ය. ගෝටාගේ විනය ගරුක පාලනය යනු මිලිටරිය මූලික කොට ගොඩ නැගෙන එකක් බව එක් ලක්ෂයේ කාර්ය සාධක බලකායේ සිට උතුරු පලාතෙහි සම්බන්ධිකරණයට යුද නිලධාරියකු පත් කිරීම දක්වා වන බොහෝ පියවරයන්ගෙන් පෙනේ. ගෝඨාභය තරම් යුද නිලධාරීන්ට රාජ්‍ය තනතුරු ලබා දුන් වෙනත් ජනාධිපතිවරයකු මෙරට සිට නැත.
අපට ගෝටාගේ හිත කියවිය හැකි ද? ඔහුට අවශ්‍ය වන්නේ මෙතෙක් බලයට පත් අන් සියලු දේශපාලන නායකයින් මෙන් වසර පහක් හෝ දහයක් බලයේ සිට නිකමකු වී ගෙදර යන්න ද? නැත්නම් වෙනසක් කරන්න ද? එකී සියලු දේශපාලනඥයින් බලයට ආවේ ද රට සුඛිත මුදිත කරවන බවට හිසේ අත්ගසා පෙරොන්දු වෙමිනි. මා නම් සිතන්නේ වෙනසක් ඇති කළ යුතු ය, එය හොදින් හෝ නරකින් කළ යුතු ය යන්න ගෝඨාභයගේ විශ්වාසය විය හැකි බවයි. ඔහුට වෙනස් අන්දසක ජනාධිපතිවරයකුවිමට උවමනා ය. එක් කරුණක් සම්බන්ධයෙන් නම් අපට ඔහුගේ හිත කියවිය හැක. එනම් මිලිටරිය මූලික කරගත් විනයක් රටෙහි ඇති කළ යුතු බවට ඔහු තුළ ඇති විශ්වාසය යි.
අන්තවාදී සංඝයා ගැන ඔහුගේ හිත කියවිය හැක්කේ කාට ද? ඔහු මෙම සංඝයා පාවිච්චි කරන්නේ හුදෙක් බලයට ඒම සඳහා පමණක් ද? මෙම විසකුරු සංඝ මාෆියාව අතර මරාගෙන මැරෙන තරමේ උම්මන්තක පිරිස් සිටිය හැකි බව ඔහු දන්නේ ද? නැත්නම් ඒ අතරින් එවැන්නකු නිර්මානය වියහැකි බව ඔහු දන්නේ ද? සෝමාරාමගේ මිනීමරු ‘මනෝකාය’ මෙම කවර හෝ අන්තවාදී භික්ෂුවකට ආරෝපනය නොවිය හැකි ද?
ප්‍රශ්ණය අන්තවාදී සංඝයා පමණක් ම නොවේ. ඔහුගේ අගසව්වන් වන අවියත් මඟෙහි යන බොහෝ පිරිස් විටෙක මෙම සංඝයාටත් වඩා අන්තවාදීන් වීමයි. දේශපාලන විසදුමක් ඇතුළත් ව්‍යාවස්ථා සංසෝධන ගෙ ඒමට උත්සාහ කරන පිරිස් ඝාතනය කර දනිහිසෙන් පහළ එල්ලා ගෙන යාමට නියෝග කළ යුතු යැයි කීවේ අද ආරක්ෂක ලේකම්වන මේජර් ජෙනරල් කමල් ගුණරත්න ය. ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවෙහි යුද සමයෙහි සිදුවූ බවට කියැවෙන මානව හිමිකම් සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා සිටින ශ්‍රී ලාංකික සිවිල් සමාජ පිරිස් ගාලු මුවදොර පිටියහෙි ප්‍රසිද්ධියේ මරා දැමිය යුතු බව කීවේ අද්මිරාල් සරත් වීරසේකර ය. එමෙන්ම ගෝටාගේ පාර්ශවයෙන් ගම්පහට තරඟ වදින නාලක ගොඩහේවා ද සංක්‍රමණීය ක්‍රියාවළියට සම්පුර්ණයෙන්ම විරුද්ධ ය. දොස්තර සාෆි සහබ්දින් සම්බන්ධ ව්‍යාජ වෛර ප්‍රචාර ජනගත කළ චන්න ජයසුමන ද ගෝටා පෙරමුණේ ය. ගෝටාගේ අන්තර් ජාතික සිංහල ඩයස්පෝරා බල ඇණි සමන්විත වන්නේ දෙමළ සහ මුස්ලිම් විරෝධී අන්තවාදීන්ගෙනි.
මෙයට අපූරු උදාහරණයක් නම් ගෝඨාභය විසින් පකිස්ථානයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් පත්කළ අද්මිරාල් මොහාන් ජයවික්‍රම විසින් යවන ලද මෙම ට්විටර් පනිවිඩය යි: ‘ඉතිරි වී තිබෙන දකුණු ආසියානු රටටල්, පකිස්ථානය, බංගලදේශය සහ ඇප්ගනිස්ථානය මෙන් මුස්ලිම්වීමෙන් රැක ගැනීම හින්දු ඉන්දියාව විසින් සහතික කරනු ඇත. තවමත් ඉස්ලාමය විසින් ගිලගෙන නැත්තේ ශ්‍රී ලංකාව, නේපාලය සහ භූතානය පමණි’. ඔහු යන්න යන්නේ පකිස්ථානයෙහි ශ්‍රී ලංකා ජනාධිපති ලෙස ය.!
වර්ථමාන ලෝක තත්වය යටතෙහි ගෝඨාභය අපේක්ෂා කරන ධනවාදී ආර්ථික වර්ධනයක් ඇතිකළ හැක්කේ ශ්‍රී ලංකාව තව දුරටත් ලෝක ආර්ථිකයට විවෘත කිරීම මගින් පමණකි. එක් විදේශ විශ්ව විද්‍යාලයක් නොව නිදහස් විශ්ව විද්‍යාල කලාපයක්ම ඇති කරන්නට ඔහු තීරණය කර ඇත්තේ එනිසා ය. විදේශ ප්‍රාග්ධනය විශාල වශයෙන් ගෙන්වා ගැනීම ඔහුගේ ප්‍රධාන සැළැස්මකි. ජේ. ආර්. ජයවර්ධන නම් කෙලින් ම කීවේ ‘ හොර ජාවාරම්කරුවෙනි, වරෝ වරෝ!’ කියා ය. රාත්‍රී ආර්ථිකයක් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අත්‍යවශ්‍ය බව කියන සී.ඒ. චන්ද්‍රප්‍රේම ඔහුගේ එක් ප්‍රධාන තානාපතිවරයෙකි. මත්පැන් අලෙවි කිරීම සඳහා බලපත් දීම ලිහිල් කළ යුතු බවට ද ඔහුගේ ආණ්ඩුව තීරණයක් ගෙන තිබේ. ඒ සංචාරක ව්‍යාපාරය ඉහළ නංවා ගැනීමට ය. ඉන්දියානු සහ චීන ධනකුවේර සංචාරකයින් මෙරටට පැමිණෙන්නේ සූදු කෙළීමත් අරමුණු කර ගෙන ය. එනයින් සූදු කෙළීමටත් ඉඩ දීමට වෙනවා ඇත.
නමුත් රන්මසු දහසක් වටින ප්‍රශ්ණය නම් ඔහුගේ දේශපාලන පදනමෙහි අරටුව වන සිංහල බෞද්ධ ස්වෝතමවාදී බලවේග එවැනි ආර්ථික සංවර්ධනයකට එකඟ වනු ඇත්ද යන්නයි. ඒ දේශීය වශයෙනි. අන්තර් ජාතික වශයෙන් චීනය, රැසියාව, ඉන්දියාව, ඇමෙරිකාව මෙන්ම බ්‍රිතාන්‍ය මෙන්ම යුරෝපා සංගමය ඇති කරන තෙරපුම් ද ප්‍රතිවිරෝධී ය.
ගෝඨාභය වනාහී එකිනෙකට නොපෑහෙන ප්‍රතිවිරෝධී බලවේගයන්ගේ සංකර දේශපාලන සංසිද්ධියකි.
නිදසුනක් ගමු: පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස්, ගෝඨාභය රාජපක්ෂ වෙත ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ලිපියක් ද රැගෙන ආවා ය. ඇය සමඟ ජනාධිපති ට්‍රම්ප් ගේ නියෝජ්‍ය සහකාරියක වන එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයෙහි ලිසා කුර්ටිස් ද පැමිණියා ය. තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත රැගෙන ආ ලිපියෙහි ‘ප්‍රතිසංස්කරණ සහ සංහිදියා මාවතෙහි ඉදිරියට යන ශ්‍රී ලංකාව සමඟ පවත්නා අනවරත ක්‍රියාකාරී සම්බන්ධතාවය අප කොතරම් අගය කරන්නේ ද යන්න’ ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කර තිබූ බව ඇලිස් වෙල්ස් ප්‍රකාශ කර තිබේ. එමෙන්ම සිය සාකච්ජාවන්හි දී ප්‍රචන්ඩ අන්තවාදය මැඩළීම, මුහුදු මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම, අන්තරායකාරී මත්ද්‍රව්‍ය ප්‍රවාහණය වැළැක්වීම සහ ආයෝජන සහ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සම්න්ධයෙන් දෙරට අතර ඇති පොදු ලැදියාව ද තමන් අවධාරණය කළ බව ඇලිස් වෙල්ස් කියා තිබේ.
මෙම තෙරපුම සහ ඊට විරුද්ධ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී තෙරපුම සමනය කරන්නට ගෝටාට පුලුවන් ද? කෙසේ ද?
සිංහල බෞද්ධ අන්තවාදී පිරිස් කොතරම් මොර දුන්න ද ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ ශ්‍රී ලංකාව එලඹ ඇති කිසිදු ගිවිසුමකට ගෝටා අත තබනු ඇතැයි සිතීම උගහට වන්නේ මේ නිසා ය. ධනවාදී ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමේ ඉලක්කය පසුපස හඹා යන්නේ නම් සහශ්‍ර අභියෝගතා ගිවිසුම හෝ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමට ගෝඨාභයට නොහැකි වනවා ඇත.
ශ්‍රී ලංකාවේ බහුවාර්ගික, බහු ආගමික සහ බහු සංස්කෘතිමය ස්වභාවය ප්‍රතික්ෂේප කරන්නාවූ ගොඨාභයගේ දේශපාලන පදනම සහ ලෝකයට වඩා විවෘත වෙමින් විදේශ ආයෝජන මත පදනම් වූ සංවර්ධනයක් අපේක්ෂා කරන ගෝඨාභයගේ ආර්ථික දැක්ම එකිනෙකට පරස්පර ය. ඔහුගේ හතුරන් සොයා ගත හැක්කේ මෙම ප්‍රතිවිරෝධය විමසා බැලීමෙන් පමණි.