අද කොළඹ නගරය පුරා “මිනීමරු විනිසුරු පද්මිණී රණවක වහා අත්අඩංගුවට ගනු” යනුවෙන් පෝස්ටරයක් ප්‍රදර්ශනය කොට තිබුණි. පද්මිණි රණවක යනු වසර ගණනාවක් අධිකරණ සේවයේ විනිශ්ච්‍යකාරවරියක් ලෙස කටයුතු කරන ලද විනිශ්ච්‍යකාරවරියකි. ඇය සිදු කරන ලද මිනීමැරුමක් ගැන නම් අප දන්නේ නැත. එවැන්නක් වාර්තා වීද නැත. නමුත් මෙහි දක්වා ඇත්තේ මිනීමරු විනිසුරු පද්මිණී රණවක ලෙසයි. නමුත් අප දන්නා කරුණ නම් රටේ සුප්‍රසිද්ධ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ එමෙන්ම එවකට ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයාද වූ, ලංකාවේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ජාලයක් වන හිරු මාධ්‍ය ජාලයේ හිමිකරුගේ සොහොයුරාද වූ දුමින්ද සිල්වා ඇතුළු පිරිසක් විසින් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කිට්ටුවන්තයකුද ලෙසින් සැලකුණු එමෙන්ම ඔහුගේ වෘත්තීය සමිති පිළිබඳ උපදේශකවරයාද වූ භාරත ලක්ෂ්මන් ඝාතනය කිරීමට අදාළ නඩුවේ ඉහත කී දුමින්ද සිල්වාද වරදකරු කොට තීන්දුව ලබා දුන් විනිසුරන් දෙදෙනාගෙන් එක් අයෙක් ඇය බවයි.
මේ පෝස්ටර් මගින්ද හඩ පට විකාශනයන් මගින්ද වෙනත් කණ්ඩායම් විසින් සිදු කරන උද්ඝෝෂණ මගින්ද ජාතිවාදී භික්ෂූන්ගේ මාධ්‍ය සාකච්ඡා මගින්ද උත්සහ කරන්නේ වෙන කිසිවක් සඳහා නොව දුමින්ද සිල්වා නිදහස් කර ගැනීම සඳහාය. මේ සෙල්ලම ආරම්භ වූයේ නව රජය බලයට පත් වූ දා සිටමය. ඇත්ත කරුණ නම් නව රජය බලයට පත් කිරීමට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කල මෙරට මධ්‍යම පන්තිය දුමින්ද සිල්වාගේ නිදහස කිසිසේත් අපේක්ෂා නොකරයි. ඔවුන් විශ්වාස කරන්නේ ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂටත් වඩා කෙළින් මිනිහෙක් බවත් ඔහු කිසි අයෙකුට නොනැවෙන පුද්ගලයෙක් බවයි. රටේ විනය හදන්න පුලුවන් ඔහුට බව ඔවුන් විශ්වාස කරයි. විනය හදන්න පැමිණි ඔවුන්ගේ නායකයා විසින් දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීම ඔවුන් කිසිවිටෙකත් අපේක්ෂා නොකරයි. එම නිසා දුමින්ද සිල්වා අසාධාරණ ලෙස හිරගත කරන ලද පුද්ගලයෙක් බවත් ඔහුගේ නිදහස යනු යුක්තිය ඉටු වීමක් බවත් මධ්‍යම පන්තියේ ඔලුවට කා වැද්දිය යුතුය. දුමින්ද සිල්වා ගේ අයියාගේ නාලිකා ජාලයද, වෙබ් අඩවිද, තවත් මාධ්‍ය නාලිකාද, ප්‍රකට භික්ෂූන්ද, ජාතික යැයි කියාගන්නා සංවිධානද යොදා ගනිමින් මේ සිදු කරන්නේ ඉහත කී පරිදි මැද පන්තියේ ඔලු සේදීමේ ක්‍රියාවලියයි. ඉහත කී පෝස්ටරය එහි තීරණාත්මක පියවරකි.
පද්මිණි රණවක විනිශ්චචකාරවරිය පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමග සිදු කරන ලද දුරකතන සංවාදයක් ආන්දෝලනාත්මක ලෙස එළිදරව් වී තිබුණි. එකී දුරකතන සංවාදය මගින් යම් නඩු තීනුදුවකට බලපෑමක් එල්ල වූ බවක් මේ වන විටත් එළිදරව් වී නැත. එකී දුරකතන සංවාදය පිළිබද මේ වන විට පරීක්ෂණ සිදු කරයි. නීතිපතිවරයාගේ උපදෙස් මත මේ වන විටත් පද්මිණී රණවක හිටපු විනිසුරුතුමියගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රශ්න කොට ඇත. අධිකරණ සේවා කොමිෂන් සභාව මගින්ද මෙම හඩ පට පිළිබද පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.
මෙම විනිසුරුවරියගේ දුරකතන ඇමතුමේදී රන්ජන් විමසන නඩුව ඉහත කී භාරත ලක්ෂමන් ඝාතනය කිරීමට අදාළ නඩුවයි. එකී නඩු තීන්දුව විභාග වූයේ ත්‍රිපුද්ගල මහාධීකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේදීය. විනිසුරුවන් වූයේ ගරු ශිරාන් ගුණරත්න, ගරු පද්මිණී රණවක හා ගරු එම්.සී.බී.එස් මොරායස් යන විනිසුරුවරුන්ය. දුමින්ද සිල්වා ඇතුළු පිරිස වරදකරු කරමින් මෙහිදී බා දුන්නේ තුනට දෙකක බෙදුණු තීරණයකි. එහිදී ගරු ශිරාන් ගුණරත්න මැතිතුමාගේ තීරණය වූයේ සියලු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කල යුතු බව වුවත්, අනෙක් විනිසුරුවන් දෙදෙනාම දුමින්ද සිල්වා ඇතුළු චූදිතයන් කිහිප දෙනෙක් වරදකරුවන් බවට තීරණය කරන ලදී.
අධිකරණයේ නිසි ක්‍රියාදාමය අනුව යමින් මෙම තීන්දුවට අභියාචනාකිරීමක් දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ගෙන් සිදු විය. ඒ අනුව මෙම අභියාචනය විභාග කිරීම සඳහා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මණ්ඩලයක් පත් කිරීමට එවක අගවිනිසුරු ගරු ප්‍රියසත් ඩෙප් මැතිතුමා තීරණය කරන ලදී. ඒ අනුව එකී නඩු විභාගය දින ගණනාවක් පුරා පැවතුණි. දුමින්ද සිල්වාගේ අයියාගේ නාලිකාවල එකී නඩු විභාගයේ විත්තිකාර පෙත්සම්කරුවන්ගේ නීතිඥයන්ගේ කරුණු දැක්වීම් ප්‍රධාන පුවත් ලෙස එක දිගට විකාශය කරන ලදී.
නමුත් අවසානයේ මෙම පංච පුද්ගල විනිසුරු මණ්ඩලයම තීරණය කරනු ලැබුවේ මහාධිකරණ තීනුදුවෙන් දුමින්ද සිල්වාට ලබා දුන් තීරණය නිවැරදි බවයි. ඒ අනුව දුමින්ද සිල්වාට ලබා දී ඇති දඩුවම මෙරට ඉහළම අධීකරණයේ විනිසුරන් බහුතරයකගෙන් සමන්විත විනිසුරු මණ්ඩලයක් විසින් ඒකමතිකව තහවුරු කරන ලද නඩු තීන්දුවක් වෙයි.
මෙම ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සමග රන්ජන්ට සම්බන්ධයක් තිබුණු බවක් හෝ වෙනත් බලපෑමක් වූ බවක් හෝ මේ වන විට එළිදරව් වී නොමැත. මෙවන් තත්වයක් තිබියදීත් පද්මිණි රණවක විනිසුරුවරිය ඇතුළු සමස්ත අධිකරණයට පහර දෙමින් මේ කැසකවන්නේ දුමින්දට ජනාධිපති සමාව දී එය ජනතාව ඉදිරියේ යුක්ති සහගත කර ගැනීමටය.
ඒ වෙනුවෙන් මොවුන් මේ සෙල්ලම් කරන්නේ මෙරට ජනතාවගේ විශ්වාසය පසුගිය වසර කිහිපය තුළ යළිත් තහවුරු කර ගත් මෙරට අධිකරණය සමගය. මෙරට පසුගිය වසර කිහිපය තුළ ස්ථාපිත වූ අධිකරණ ස්වාධීනත්වයෙන් ඉහළින්ම ප්‍රයෝජන ගත් පුද්ගලයෙක් ලෙස වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කල හැක. අවසාන මොහොතේ ඔහුව ජනාධිපතිවරණ තරග බිමෙන් ඉවත් වීමට තුඩු දිය හැකි අභියාචනාධිකරණයේ පැවරූ නඩුව නිශ්ප්‍රභ කලේ මෙරට අධිකරණයේ ස්වාධීනත්වය හේතු කොට ගෙනය. මෙයට අමතරව ඔහුට විරුද්ධව පවරා තිබූ බොහෝ නඩුවලදී අතුරු සහනයන් ගණනාවක් ඔහුට ලබා ගත හැකිව තිබුනේ මෙරට අධීකරණයේ ස්වාධීනත්වය හේතු කොට ගෙනය. අධිකරණය පාලකයාගේ කැමැත්ත නොවිමසා තීන්දු ගන්නා තත්වයක් නිර්මාණය වී තිබුණු අතර ඒ හේතුකොට ගෙනම අධිකරණය පිළිබද ජනතා විශ්වාසයද වැඩි විය.
තවමත් තහවුරු නොකල හඩ පට ජනතාවට අයත් සංඛ්‍යාත හරහා විකාශය කරමින් හා මෙවන් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් පෞද්ගලික අවශ්‍යතාවයක් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මණ්ඩලයක තීරණය අභියෝගයටත් එමෙන්ම හෑල්ලුවට ලක් කරමින් කටයුතු කිරීමට තවදුරටත් ඉඩ දිය යුතුද? මෙවන් අමන ක්‍රියාවන් සිදු කරන කණ්ඩායමට විරුද්ධව නීතිපතිවරයා කටයුතු කරන්නේ කවදාද? විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධව ක්‍රියාත්මක වන ලෙසම අධිකරණය හෑල්ලුවට ලක් කරන ඒ පිළීබද විශ්වාසය බිද වට්ටන මාධ්‍ය ආයතන හා කල්ලි කණ්ඩායම් හා පුද්ගලයන්ට එරෙහිවද නිතිය ක්‍රියාත්මක විය යුතුය.
(aithiya.lk)