Friday, April 19, 2024

කොළපාට සමාජය සහ වන්ද්‍රප්‍රේම ජිනීවා තානාපති කිරීමේ දේශපාලනය – සුනන්ද දේශප්‍රිය

ජායාරූපය: ‘ගෝටාගේ යුද්ධය’ පොත එළිදැක්වීම අවස්ථාව; මැද පොත අතැතිව සිටන්නේ දැන් ජිනීවාහි හ්‍රි ලංකා තානාපති සී.ඒ. චන්ද්‍රප්‍රේමය.

දෙමළ ඊළාම් කොටි සංවිධානය සමඟ ශ්‍රී ලංකාණ්ඩුව යෙදී සිටි යුද්ධ ජයග්‍රහණය ගෝඨාභය රාජපක්ෂ වෙත ආරෝපනය කරමින් ‘ගෝටාගේ යුද්ධය’ (Gota’s War) නමින් පොතක් ලියූ ‘දි අයිලන්ඩ්’ පුවත්පතෙහි තීරු රචකයකු වන සී.ඒ. චන්ද්‍රප්‍රේම ජානීවා හි ශ්‍රී ලංකා තානාපති ලෙස පත් කර තිබේ. ඔහු පසුගිය යහ පාලන ආණ්ඩුවේ උග්‍ර විවේචකයකු වූ අතර විවෘත ආර්ථික ක්‍රමය මෙරටට ඇති එකම විකල්පය ලෙස පිලිගන්නා විශ්ලේෂකයෙකි.

ලබන පෙබරවාරි 28වන දින ජිනීවාහි දි ඇරඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසි වාරයට පෙර ඔහු ජීනීවා කරා පැමිණ වැඩ බාරගන්නවා ඇතැයි ද වාර්තා වේ. එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධ කවුන්සිලයේ යෝජනාවන්ට සංසෝධන එක් කිරීමට සැළැස්මක් ඇතැයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබේ. 1988 සිට මෙරට පැවැති සන්නද්ධ අරගල සම්බන්ධයෙන් ඔහු සතු දැනුම සහ ජනමාධ්‍යවේදියකු වශයෙන් තාර්කික අදහස් දැක්වීමට ඇති හැකියාව එහිදී ප්‍රයෝජනවත් වනු ඇතැයි ද ජනමාධ්‍ය වාර්තා කරයි. චන්ද්‍රප්‍රේම යුද්ධයෙහි දී බරපතල මානව හිමිකම් කෙළෙසීම් සිදු නොවූ බවටත් අන්තර් ජාතික මැදිහත්වීම් අනවශ්‍ය බවටත් තර්ක කරන ලේඛකයෙකි. රාජපක්ෂ පාලන සමයන්හි ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති ධුරය සෑම විටම වාගේ පුරවන ලද්දේ දේශපාලනිකව ආණ්ඩුවට ලැදි පුද්ගලයින්ගෙන් මිස වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රිකයින්ගෙන් නොවේ. දයාන් ජයතිලක, තමාරා කුණනායගම් එ‍ළෙස පත් කරන ලද තානාපතිවරුන් සහ වරියන් වූහ.

කළක් එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරිකයකු වූ චන්ද්‍රප්‍රේම පසුව මහින්ද රාජපක්ෂ සමඟ එක් විය. ජවිපෙ භීෂනය මැද පවත්වන ලද 1989 මහා මැතිවරණයේ දී ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් මාතර දිස්ත්‍රික්කයට තරඟ කළේ ය.

1987- 1989 යුගයේ ජවිපෙ සන්නද්ධ අරගලය සම්බන්ධයෙන් ද ඔහු විසින් Sri Lanka, the years of terror: The J.V.P. insurrection, 1987-1989 නමින් පොතක් ලියා පළ කරන ලදී. ඔහු විසින් රචනා කරන ලද තවත් කෘති ගණනාවක්ම වෙයි.

‘ගෝටාගේ යුද්ධය’ පොත එළිදැක්වීමේ දී කතා කළ චන්ද්‍රප්‍රේම යුද්ධයට හේතුව ජනවාර්ගික ප්‍රශ්ණය වේ යන තිසීසය විවේචනයට ලක් කළේ ය. පෙනෙන අන්දමට ඔහු සහ ගෝඨාභය රාජපක්ෂ මේ සම්බන්ධයෙන් දරන්නේ එකම අදහසකි.

චන්ද්‍රප්‍රේම, ජේ.ආර්.ජයවර්ධන යුගයෙහි ආරක්ෂක ලේකම් වූ රංජන් විජේරත්න සහ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරුන් වශයෙන් සමානව අගය කරයි. ඇත්ත වශයෙන්ම නම් ‘ගෝඨාගේ යුද්ධය’ ලිවීමට උදව් කිරීම සම්බන්ධයෙන් ඔහු රංජන් විජේරත්න පදනමට ස්තුති කරයි. ඔහුගේ ස්තුතිය හිමිවන කිහිප දෙනෙකු මෙසේ ය.

‘මංගල සමරවීර, බැසිල් රාජපක්ෂ, වර්ධරාජා පෙරැමාල් සහ ධර්මලිංගම් සිද්ධාර්තන් වැනි දේශපාලනඥයින්, මෙම පොත සඳහා කාලය ලබා දුන් අය අතර වෙති’

චන්ද්‍රප්‍රේම සිංහල පාඨකයා අතර වඩා ප්‍රසිද්ධියට පත් වුයේ ඔහු විසින් ලියන ලද ‘කොළපාට සමාජය නම් පොත නිසා ය. ජේ.ආර්. ජයවර්ධන විසින් හදුන්වා දෙන ලද සමාජ ආර්ථික ප්‍රතිපත්ති ශ්‍රී ලංකාවෙහි අනාගත දැක්ම විය යුතු බවට තර්ක කළ එම පොත අතිශය විවාදාත්මක එකක් විය. එම කෘතිය සම්පාදනය කිරීමෙහිලා ප්‍රගීත් එක්නැළිගොඩ ද සහය වූ බව කියනු ලැබේ. බෙහෝ කළක් චන්ද්‍රප්‍රේම සහ ප්‍රගීත් යන දෙදෙනා සමීප මිතුරන් වූහ.

ගෝඨාභය රාජපක්ෂගේ ‘වියත් මඟ’ සංවිධනයෙහි ප්‍රම්‍රඛයකු වන ආචාර්ය චරිත හේරත් කොළපාට සමාජය ගැන මෙසේ සදහන් කරයි.

‘කොළපාට සමාජය කියා සී. ඒ. වන්ද්‍රප්‍රේම විසින් පොතක් ලීවේ අනුව දශකයේ මුල භාගයේ ය. ඒ කාලයේ දේශපාලනය කළ අපේ කණ්ඩායම් අතර ඒ පොතට විශේෂ අවධානයක් ලැබුනේ එජාපයේ දේශපාලනය විසින් රටට තුළ ගොඩ නැගූ ‘තත්වය’ (Condition) එම පොත මගින් සංකල්පනාත්මක ව හා තාර්තිකව වෙනස් ආකාරයකින් යුක්තිසහගත කර තිබු නිසාය. 1977 වර්ෂයෙන් පසුව මේ රටේ සිදු වූ දේශපාලන පරිවර්තනය ගැන එයට ‍ප්‍රතිවිරුද්ධ පැත්තෙන් පමණක් බලමින් සිටි කණ්ඩායම්වලට ජෙ. ආර්. ගේ දේශපාලනය වෙනස් ආකාරයකින් හා වෙනස් ආකල්පයකින් (භෞතිකවාදි ආකල්පයකින්) බැලීමට චන්ද්‍රපේම විසින් යෝජනා කළ බව සමහරුන්ගේ මතය විය. එහෙත් එකල මෙරට වැඩ කළ වාමාංෂික බුද්ධිමය කේඩරය සහ ජාතිකවාදි බුද්ධිමය කේඩරය මේ කෘතියේ තිබු ප්‍රධාන තර්කයට තදින් පහර දුන් බව අපට තවමත් හොදින් මතකය.’

නිර්මාල් රංජිත් දේවසිරි කියන්නේ කොළපාට සමාජය මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ “ධර්මිෂ්ඨ සමාජය” කෘතියට විරුද්ධව ලියන ලද එකක් බවයි.

‘1977 ඡේ. ආර්. ජයවර්ධන ගේ ධර්මිෂ්ඨ සමාජය සංකල්පයට එරෙහිව සරච්චන්ද්‍රයන් එදා සිය මතය පළ කළ අයුරුත්, සරච්චන්ද්‍රගේ මතවාදය නිශේධනය කිරීමේ අරමුණින් “කොළපාට සමාජය” ලියෑවුණු අයුරුත් පැහැදිලි කළ නිර්මාල් රංජිත්….’

නිර්මාල් රංජිත් වෙනත් අවස්ථාවක දී කියන්නේ එම පොතේ එන අදහස් තමා සම්පූර්නයෙන්ම පිළිගන්නා බව චන්ද්‍රප්‍රේම මෑත දී තමාට කි බවයි.

‘1977 යම් වෙනසක් ඇති කරන්න උත්සාහ කළා නම් ඒ වෙනස ඒ තරම් බලපෑමක් ඇති කරලා තිබුණේ නැහැ. එවකට විවෘත ආර්ථිකයේ මුල්ම අවධියේ තමයි සරත්වන්ද්‍රගේ පොත ලිව්වේ. නමුත් ‘කොළපාට සමාජය’ ලියුවේ ඊට වඩා විශාල වෙනසක් සිදු වු පසුවයි. ලෝක දේශපාලන හා ධනේෂ්වර ක්‍රමයේ මුලික වෙනස්කම් ඇති වු පසුව තමයි ‘කොළපාට සමාජය’ පොත ලියන්නේ. 2005 පස්සේ සිදු වන්නේ 2005 සිට 2015 දක්වා වු දේශපාලන ක්‍රමය තුළ සරත්චන්ද්‍ර ක්‍රමය අනුගමනය කළ ප්‍රවාහයත් කොළපාට සමාජය කෘතියේ කතුවරයත් දෙදෙනාම එකම පාලන තන්ත්‍රයේ කොටස්කරුවන් බවට පත් වෙනවා. මෙය ඉතා වැදගත් දෙයක්. මම මේ ගැන චන්ද්‍රප්‍රේමගෙන් ඇහුවා. තවමත් කොළපාට සමාජයේ අදහස් පිළිගන්නවද කියලා. ඔහු කිව්වා අඟලක්වත් වෙනස් නැහැ. ඔහු 97 කෘතියේදී කිව්ව දෙයක් තමයි මොන ආණ්ඩු බලයට පත්වුවත් මේ කොළපාට සමාජය තමයි මාවත කියලා. ඔහු කිව්වා මීට පෙර අපි ලෝකය දෙස බලන්නේ පෙර පැවැති දෘෂ්ටිවාදයන් අනුව කියලා. දැන් මේ සියලු දෘෂ්ටිවාද ඉවරයි. එහෙම අදහසක් තිබෙනවා. අපේ අදහස් විකල්ප මත ලෝකය වැඩ කරන්නේ නැහැ කියලා. හරි අපුරු දේ තමයි එවැනි අදහස් දරපු චන්ද්‍රප්‍රේම, ඒ අදහස් ඉදිරියට ගෙන ගිය ගුණදාස අමරසේකර, ජාතික චින්තන ව්‍යාපාරය වැනි සියල්ල පසුගිය පාලන තන්ත්‍රයේ කොටස්. එක වකවානුවක පරස්පර කඳවුරු දෙකක් නියෝජනය කරපු සමාජ ආර්ථික සංස්කෘතික චින්තන ප්‍රවාහ දෙකක් එක පාලක තන්ත්‍රයක් තුළ මේ ආකරයෙන් නියෝජනය වීම අපුරු දෙයක්.’

වරක් බොදුබල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඒ. චන්ද්‍රප්‍රේම මහතාට කන පැළෙන්නට ගසන බව කියමින් තර්ජනය කළේ ඔහුගේ අදහස් ඥණසාරට නයාට අදුකොළ හා සමාන නිසා ය.
එම තර්ජනය කරන ලද්දේ පැපිලියාන සුනේත්‍රාදේවි පරිවේණාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ අභාවප්‍රාප්ත මෑණියන්ගේ දේහයට අවසන් ගෞරව දක්වන්නට චන්ද්‍රප්‍රේම එහි ගොස් සිටි අවස්ථාවේදීය.
එහිදී ද ‘කොළපාට සමාජය’ ගැන ඥණසාර කෑ කැසුවේ ය.

“මම තමුසෙගෙ කොළපාට සමාජය ගැනත් දන්නවා. කන පැළෙන්නට ගහනවා…” යැයි ඥානසාර හිමියන් තමන්ට එහිදී තර්ජනය කළ බව චන්ද්‍රප්‍රේම  ජනමාධ්‍යට කියා තිබුණි.

ඥණසාර ග්‍රෝත්‍රයට ම අයත් මහාචාර්ය නලින් ද සිල්වා ද චන්ද්‍රප්‍රේම ගැන එතරම් ඇල්මක් දක්වන බවක් පෙනෙන්නට නැත. ඔහු මෙසේ කිය යි.

‘ජනාධිපතිවරණ ඊනියා ප්‍රතික්‍රියාව මෙතරම් බලවත් වූයේ කෙසේ ද? බහුතරයට තම ඡන්දවලින් පමණක් ගෝඨාභය දිනවීමට හැකියාවක් තිබිණි ද? චන්ද්‍රප්‍රේම දැනට ටික කලකට පෙරත් තර්ක කෙළේ එහෙම බැහැ කියා. ඔහු මාස කිහිපයකට පමණ පෙර ඊනියා සංඛ්‍යාන (සංඛ්‍යා ලේඛන) සමග අප නිවසට පැමිණ පෙන්නීමට උත්සාහ කෙළේ සිංහලයන්ගේ ඡන්දවලින් පමණක් දිනන්න බැහැ කියල.
අද ගෝඨාභය රාජපක්ෂ දිනා ඇත්තේ චන්ද්‍රප්‍රේමලා පරාජය කරමින්.’

දැන් ඒ නලින් ද සිල්වා තානාපතිකමක් රැගෙන මියන්මාරයට ගොසිනි. එය භු දේශපලන අතින් කිසිම වැදගත්කමක් නැති තානාපතිකමකි.

සී.ඒ. චන්ද්‍රප්‍රේම ශ්‍රී ලංකාවට ඉතාම වැදගත් මර්මස්ථානයක් වන ජිනීවාහි තානාපති වශයෙන් වැඩ බාර ගැනීමට නියමිත ය. ඉන් පෙන්නුම් කැරෙන්නේ ගෝඨාභය දේහපාලන දිශානතිය ද යන්න කීමට තවම කල් වැඩිය.

 

(සියලු උපුටා ගැනීම් අන්තර ජාලයෙනි)

Archive

Latest news

Related news