Monday, May 20, 2024

31 වියැති තරුණයාගේ ලිංගික ප්‍රශ්ණය සහ අපේ හතේ පොත

මේ දවස්වල අපේ රටේ තියෙන දැවෙන ම ප්‍රශ්නය මේක ද කියල කල්පනා වෙනවා, බුකියෙ මේ ගැන කතාවෙන ලියවෙන දේ දැක්කම.
මම මේ පොත මුහුණු පොතෙන් ම කියෙව්වා. පස්සෙ 2019 මාර්තු 27 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු කාරක සභා වාර්තාවක්, පාසල් සිසුන් සඳහා ප්‍රජනන සෞඛ්‍යය ඉගැන්වීම පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කාරක සභා වාර්තාවත් කියෙව්වාhttps://www.parliament.lk/…/comrep…/1553836273071029.pdf

මේ ගැන උනන්දුවක් දක්වන හැමෝම මේ වර්තාව කියෙව්වොත් වටිනවා, ඒකෙ මොනවද අඩංගු කියලා.
මගේ මේ අදහස සටහන් කරන්නෙ මේ පිළිබඳ එක එක පාර්ශව බලන දේශපාලන හෝ ආගමික විරෝධී දෘෂ්ටියකින් නොවෙයි කියල මුලින් ම කියන්න කැමතියි.

පාසල් සිසුන් ට ලිංගික අධ්‍යාපනය, ප්‍රජනන සෞඛ්‍යය ඉගැන්වීම 7 වසරෙදි නැත්නම් මොන ශ්‍රේණියක දි හරි අනිවාර්යයයෙන් ම කළ යුතු දෙයක් විදියට මම විශ්වාස කරන්නෙ.
මෙන්න ඊට අදාළ සමීප ම නිදසුනක්. මේ ප්‍රශ්නය අහන්නෙ ළඟදී විවාහවීමට ඉන්නා අවුරුදු 31 ක තරුණයෙක්. අවුරුදු 31 ගෙවිලත්, විවාහවෙන්න ඉන්දෙද්දිත් මේ වගේ සරල සෞඛ්‍ය ප්‍රශ්නයකට පිළිතුරක් නො දන්නෙ පාසල් මට්ටමේ දි මේ පිළිබඳ මෙලෝ හසරක දැනුමක් නැති නිසා වෙන්න ඕන. මේක අහම්බ සිද්ධියක් විදියට බැහැර කරන්න නම් බැහැ, මොකද මේ වගේ ප්‍රශ්න නිතරම මහාචාර්ය කොල්වින් ගුණරත්නගෙ විශේෂඥ වෛද්‍ය හමුව පිටුවෙ පළවන නිසා.

ප්‍රශ්නය:
ළඟදී විවාහවීමට බලාපොරොත්තුවෙන් සිටිමි.මගේ වයස අවුරුදු 31 කි. මා හට ඇති ගැටලුව මෙයයි. මා පෙම්වතිය සමගින් කතා කරමින් සිටින අවස්ථාවල යම් ලිංගික කරුණක් සම්බන්ධයෙන් කතා කරන විට අසන විට හෝ එවැනි දර්ශනයක් දකින අවස්ථාවක මගේ ලිංගේන්ද්‍රියෙන් යම් ශ්‍රාවයක් පිටවීම සිදු වේ. එවැනි අවස්ථාවල මම අපහසුතාවට පත් වෙමි. වෛද්‍යතුමනි, මෙය රෝගී තත්වයක් ද? මේ සඳහා ප්‍රතිකාර ලබා ගත යුතු ද? මා හට ඔබ තුමා ගේ උපදෙස් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලමි.

නිරීක්ෂණය
1. හතේ අපේ පොත කියවා තිබුණා නම් අවුරුදු 31 වෙන තෙක් මේ ප්‍රශ්නයට උත්තර හොයන්න ඉන්නට සිදු වන්නේ නැත.
2. මේ තත්වය රෝගයක් යයි සිතා ප්‍රතිකාර අසන්නේ ද නැත.
3. පාසලේදී හෝ පසුව හෝ නිකමටවත් වැල පත්තර වර්ගයේ පත්තරයක් කියවන්නට ලැබී නැත.
4. හරි හමන් මිත්‍ර ආශ්‍රයක් තිබී නැත.
5. ලිංගිකත්වය, ආදරය, ප්‍රේමය විෂය කරගත් පොතක් පතක් හෝ චිත්‍රපටයක්වත් නරඹා නැත.
6. අද පාසලක විද්‍යානුකූලව ඉගැන්වීමට උත්සාහ කළ ලිංගික අධ්‍යාපනය පණහ හැට දශකවල දී මුද්‍රිත නවකතා ලෙස පුවත්පත් දැන්වීම් පළ කොට විසාල වශයෙන් අලෙවි කළ බව නව පරපුර හෝ ආගමික සංස්ථා නියෝජිතවරු නො දන්නවා විය හැකිය. ( මකුණා, ප්‍රංශ රස, දිව්‍යලෝක රස…..) මේ පොත් කියවා තිබේ නම් වැල පත්තරවල ඇත්තේ මොනවාදැයි කියා සිතේ.
7. හතේ අපේ පොත බෙදාහැරීම නවතා දැමූයේ කාගේ ඕනෑකමට ද, අවසාන පිටපත මුද්‍රණයට පෙර සංස්කාරක මණ්ඩලයේ අනුමැතිය නොලැබුණි ද , පාර්ලිමේන්තු කාරක සභාවක් දක්වා ගිය නිර්දේශයක ප්‍රථිඵලයක් ලෙස එළි දැක් වූ පොතක් ශිෂ්‍යයන් අතට පත්වීම වලක්වන ලද්දේ කාගේ වුවමනාවට ද, විරෝධයට ද?
8. මේ පොත පිටපත් කීයක් මුද්‍රණය කොට තිබේ ද? ඊට වැය වූ මුළු මුදල කොපමණ ද? මෙය සිංහල භාෂාවෙන් පමණක් මුද්‍රණය වූ පොතක් ද? දෙමළ හෝ ඉංග්‍රීසි බසින් මුද්‍රණය නොවිණි නම් ඊට හේතු මොනවාද ? දෙමළ හෝ බර්ගර් දරුවන් ට ලිංගික අධ්‍යාපනය අකැප ද?

දැන් බලන්න මහාචාර්ය කොල්වින් ගුණරත්න, කායික රෝග විශේෂඥ වෛද්‍යතුමා මේ 31 හැවිරිදි , ලිංගිකත්වය පිළිබඳ දැනුමක් නැති අහිංසකයා මෙන්ම අහිංසකාවියන් ට ද සෞඛ්‍ය විද්‍යාත්මකව දෙන පිළිතුර. ඒ අතරම බියට පත් කාන්තාවන් හට ඊනියා ප්‍රතිකාර නිර්දේශ කළ වෛද්‍ය නඩයට ද දෙන ප්‍රහාරාත්මක ප්‍රකාශය.

පිළිතුර :

ඕනෑම ලිංගික නැඹුරුවක් දක්වන කරුණක් ලිංගික උත්තේජනයක් විය හැකිය.මෙය දර්ශනයක්,හඬක්, සුවඳක්,හෙවණැල්ලක්, රසක්, සිතුවිල්ලක්,ස්පර්ශයක්,හෝ සිහිනයක් විය හැකිය. විවිධ උත්තේජනයන් නිසා ලිංගික ප්‍රබෝධයක් හටගත් විට ගහැනියකට හෝ පිරිමියකුට ලිංගික ශ්‍

රාවයක් ශිෂ්නයෙන් හෝ යෝනියෙන් වැගිරීම සාමාන්‍ය නිරෝගී ස්වභාවික හා රසවත් ප්‍රතිචාරයකි. ගැහැනු අයට ඉහත කී නිරෝගී ප්‍රතිචාරය පහළ වූ විට එය සුදයාම නමැති රෝගය බව ජනමාධ්‍ය හරහා ප්‍රචාරය කර එසේ කිරීමෙන් බියට පත් කාන්තාවන් හට ඊනියා ප්‍රතිකාර දිගින් දිගටම නිර්දේශ කළ වෛද්‍ය ගණය දැන් බොහෝ දුරට පටු වී ඇති බව සුබ සිදුවීමකි.

හතේ අපේ පොත අතට පත්වන යෞවනයෙකු හෝ යෞවනියක, අවුරුදු 31 ක් වන තෙක් සිට ඉහත අසා ඇති ආකාරයේ මැටි මෝල් ප්‍රශ්නයක් අසන්නේ නැත.

මෙවැනි අහිංසකයන් සමග විවාහ වන කාන්තාවන් ට අත් වන ඉරණම පිළිබඳ කුමන කතා ද? ඔවුන් ගේ විවාහ ජීවිත අවසන අධිකරණය දක්වා ගොස් දික්කසාදයකින් අවසන් වූව ද එය පුදුමයට පත් විය යුත්තක් නොවනු ඇත.

කුරුබිළියෙන් එළියට විත් විවෘත ඇසින් දියුණු වන ලෝකය දෙස බලන්න. ඒ ලොව සමග ගමන් කරන්න

Buddhi Galappatty  FB

Archive

Latest news

Related news