ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය දැන් හිරගෙදර වයි වාට්ටුවේ ය. ඇයගෙන් රහස් පොලීසිය කට උත්තර ගනිත්දී ඇය දෙවරක් ක්ලාන්ත වූ බව වාර්තා වී තිබුණි. ඇය පසුවූයේ රෝගී තත්වයකින් බව, විදේශ කටයුතු පිළිබඳ ස්විස් පෙඩරල් අමාත්‍යංශය මෙම 17වනදා නිකුත් කළ ප්‍රකාශයකින් ද තහවුරු කරමින් කියා සිටියේ එසේ තිබියදීත් ඇයගෙන් පැය 30ක් පුරා ප්‍රකාශ සටහන් කර ගත් බව ය. ඇයගේ ප්‍රකාශයෙහි කිසි තැැනක ඇයට පැමිණ වූ බව කියන අතවරයන්ට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සමබන්ධ යැයි කියා නැත. එසේ නමුත් ව්‍යාජ පැමිණිල්ලක් කළේ යැයි ඇයට නඩු පැවරීමට නීතිපති දප්පුල ලිවේරා තීරණය කර තිබේ.
දැන් පෙනෙන විදිහට මෙරට ක්‍රියාත්මක නීතිය අනුව කවර හෝ පුරවැසියකු, කවරකු හෝ විසින් පැහැරගෙන තර්ජනය කර මුදාහැරිය හොත් ඒ ගැන පැමිණිලි කිරීමට පෙර ගත යුතු පියවර ගණනාවක් තිබේ.
ප්‍රථමයෙන් එම සිදුවීම සීසීටීවී, ජංගම දුරකතන පණිවිඩ සහ වෙනත් සාක්ෂි මගින් තහවුරු වන්නේ දැයි රහස් පොලීසියෙන් විමසා දැන ගත යුතු ය. දෙවනුව පපරාසි මාධ්‍යයන්ට සිය ජායාරූප ඇල්බමයක් යවා තමාට කරදර නොකර කැමැති ඡායාරූපයක් තෝරා ගන්නා ලෙස දන්වා යැවිය යුතු ය. අවසාන වශයෙන් තමාගේ පැමිණිල්ල කිසිම රාජපක්ෂවරයකුට එරෙහිව නොවන බවට දිව්රුම් පෙත්සමක් දිය යුතුය. මෙම පියවරයන්ගෙන් තොරව එවැනි පැමිණිල්ලක් කිරීම සැබෑ අතුරුදහන්වීමකට වුව හේතුවක් වීමට බැරි කමක් නැත.
අසනීපයෙන් පසු වුවද ගානියා බැරිස්ටර්ට වැලිකඩ බනධනාගාරයේ වයි වාට්ටුව මිස සැප සහිත බන්ධනාගාර රෝහලෙහි නවාතැන් නොලැබෙනු ඇත. රෝහලෙහි සැප පහසුකම් ඇතිව සිටීමට නම් මැති ඇමැති රෝගය හෝ දේශපාලන බලය නැමැති රෝගය තිබිය යුතු ය. එපමණක් නොවේ. ඉහෙන් බහින රෝගයක් නැතිව සිටි ශිරන්ති රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට රහස් පොලිස් නිලධාරීන්ට රාජපක්ෂ මැදුරට බඩගෑමට සිදු විය. ඒ රනිල් වික්‍රමසිංහ ආනුභාවය ද තිබූ නිසා ය.
නමුත් සිරි ලංකාවේ සියලු පුරවැසියන් එක හා සමානය. එහෙම උනත්, ඒක එහෙමයි මේක මෙහෙමයි කියන්නේ අන්න ඒ නිසා ය.
අධිකරණය විසින් විභාග කර අවසන් කර තිබු මාර්ග අනතුරු නඩුවක් යළි විමසීමට පෙලීසිය, රාජපක්ෂවරු බලයට පැමිණ මාසයක් යන්නට පෙර තීරණය කළේ ය. ඒ අන් කිසිවක් නිසා නොව විපක්ෂයේ කැපී පෙනෙන දේශපාලනඥයකු වන වම්පික රණවක එම සිදුවීමට සම්බන්ධ නිසා ය. එම සිදුවීම සම්බන්ධයෙන් චම්පික රණවක සහ ඔහුගේ රියදුරුට විදේශ ගමන් තහනමක් ද ලබා ගැනීමට පොලීසිය උක්සුක විය. කවර හෝ සිදුවීමක් සම්බන්ධයෙන් විමසා අවසන් කරන ලද නඩු විභාගයක් යළි අධිකරණයක ඇසිය නොහැකි නමුත් දැන් පොලීසිය ගජරාමෙට වැඩ ය.
ඒ අතරම ජාත්‍යන්තර රතු වරෙන්තුවක් තිබූ, එනිසා ම නීතියට කට්ටි පනිමින් රටන් රටට පලා යමින් ජීවත් වූ රාජපක්ෂ ඥාති සහෝදරයකු වන උදයංග විරතුංග එම වරෙන්තුවෙන් නිදහස් කරන සේ අර මුලින් කී පොලීසියම පසුගිය 13 දා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. එම ඉල්ලීම කරන ලද්දේ පසුගියදා අපරාධ පරීක්ෂන දෙපාර්ථමේන්තුවේ අධ්‍යක්ෂක වශයෙන් පත් වූ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්න විසිනි. රාජපක්ෂවරුන් යටතේ තානාපතිවරයකුව සිටි උදයංග වීරතුංගට චෝදනා එල්ල වී ඇත්තේ කුප්‍රකට මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙනි.
එකම පොලීසියකි. වැඩ දෙවිදියකට ය. චම්පිකගේ නඩුව යළි ඇද උඩට ගන්නා අතර වීරතුංගගේ නඩුුව විසිවෙයි. ඒක එහෙමයි මේක මෙහෙමයි කියන්නේ මෙන්න මේ නිසා ය.
ස්විස් නිලධාරිනිය පැහැර ගැනීමේ කතාව බොරුවක් බවට ‘රාජපක්ෂ අධිකරණයේ’ තීන්දුව දැන් ප්‍රකාශයට පත්කර හමාර ය. ඒ අතර පසුගිය සතියෙහි තවත් පැහැර ගැනීමක් සිදු විය. මහ රෑ කිරි දරුවකු සමඟ පවුලකි. පැහැර ගත් බවට චෝදනා කරන්නේ පාර්ලිමේන්තු මංත්‍රීවරු විසිනි. පැහැර ලනු ලැබුණේ ඉහත කී මාර්ග අනතුර පිළිබඳ නඩුවට සම්බන්ධ වාහනයේ රියදුරු තුසිත කුමාරගේ මව, බිරිඳ සහ වයස අවුරුදු එකහමාරක් වන කුඩා දියණිය යි. රියදුරු අත්අඩංඟුවට ගැනීමට ඇමක් වශයෙනි. එළිවනතුරු ම එම පවුල කිරි දරුවා ද සමඟ රඳවාගෙන තිබුණේ වාහනයක ය.
පොලීසිට අනුව එය පැහැර ගැනීමක් නොව කැමැත්තෙන් පැමිණිමකි. බිරිද සිය පුරුෂයා සිටින තැන පෙන්වීමට කිරි දරැවාද රැගෙන මහ රෑ කැමැත්තෙන් පොලිස් නිලධාරියකු සමඟ ‘ආවේ ය’. මේ කුඩා ලංකාවේ ඉන්නා තැනක් දැන ගන්නට පවුලක් ම පොලීසිය සමඟ ආ යුතු ද කියා ඇසීම තහනම් ය. රියදුරු සොයා ගිය පොලිස් නිලධාරියාට ගාල්ලේ සිටම කොළඹ අදාල පොලිස් ස්ථානයට දැනුම් දී රියදුරු සිටින ස්ථානයට පොලිස් කණ්ඩායමක් යවන්නට නොතිබුණේ ද කියා අප නොඇසිය යුතු ය. ඇසු විට අප දේශද්‍රොහීන් බවට පත්වෙයි.
සමහර පැහැර ගැනීම් බොරු කතා වන අතර සමහර පැහැර ගැනීම් කැමැත්තෙන් පැමිනීම් බවට පත් වෙයි. අඥාදායකයින් රජ කළ රටවල විරුද්ධවාදී දේශපාලනඥයින් ‘කැමැත්තෙන්ම’ සිය වරද පිළිගෙන මරණය කරා පිය නැගූවේ ද එහෙම ය. හරියට වසීම් තාජුඩීන් කාට හරි කිය සිය ඇටකඩු කුඩු කරගෙන හැටට හැටේ වේගයෙන් වාහනය එළවා ගෙන ගොස් ගසක හප්පා පුච්චාගෙන කැමැත්තෙන්ම මැරැනේ ය යන කතාව වාගේ ය. රාජපක්ෂ සමයෙහි ජනගත කළ එවැනි කතාන්තර සහ දැන් ඇසෙන කතාන්තර අතර වෙනසක් නැත.
ඒ්ක එහෙම වෙත්දී මේක මෙහෙමවීම නීතියේ පාලනය වල් වැදුණූ සෑම සමාජයකම සිදුව තිබේ.
වාසුදේවද මේක මෙහෙමයි ඒක එහෙමයි ගායනට අත්වැල් ඇල්ලුවේ සමාජ ජාල සිනා සාගරයක කිමිද්දවමිනි. බඩු මිල අඩු කිරීමට නම් වැඩි මිල බඩු නොගෙන ඉන්න පේස් බුක් සමාජයෙන් එළියට එන්නැයි අඥාවක් නිකුත් කරමිනි. එවිට බඩුමිල බහිනු ඇතැ යි ඔහු කීවේ ය. රතුලුනු මිල වැඩි නම් ගන්නේ අහවල් එකද කියා ඔහු කීවේ ද නැත. හාල් මිල වැඩිනම් පූනක්කු කාපල්ලා කියා නමි පේස් බුක් සමාජයේ කව්දෝ වාසුදේවට ලියා තිබුණි. පසුගිය රජය කාලයේ බඩුමිල ඉහළ ගිය විට වාසුදේව සරම උස්සාගෙන අර පාර්ලිමේන්තුවේ දී කී අහවලා ද පෙන්නා ගෙන කෑ ගසන්නට තිබුණි. නමුත් දැන් මේක මෙහෙමයි න්‍යාය අනුව නොකා සිටීම බඩුමිල බස්සන මන්ත්‍රය වී තිබේ.
ජනාධිපති ගෝඨාභයගේ් ප්‍රථම මාසය අවසාන වූයේ නපුරු සිහින වලිනි. විපාක්ෂික දේශපාලනඥයින් සහ මානව හිමිකම් නීතිවේදීන් දඩු කදේ ගසන බවට තර්ජනය කිරීමත්, ජනමාධ්‍යවේදින් වෙත නපුරු ඇඟවීම් කිරීමත්, රාජපක්ෂවරුන් විසින් තමන්ටම බෙදා ගැනිීමත් හැරුණ විට පේන්න තිබෙන්නේ බිත්තිවල අදින අවලස්සන, නිර්මාණශීත්වයක් නැති, එකම වර්ගයේ ඇස් නීලංකාර කරවන පින්තූර පමණකි. ඇත්ත වශයෙන්ම නම් මෙම පින්තූර ගෝඨාභය දේශපාලනයේ හිස් බවට කදිම නිදසුනකි. හරියට මැතිවරණ ප්‍රචාර තහනම් දින ගෝටාගේ ප්‍රකාශකයා වූ ඉරාජ්ගේ යට ගවුම් සිංදු වාගේ ය. රාජ්‍ය අනුග්‍රහිත කලාව රටක පාලක පංතියේ දේශපාලනයේ පිළිබිඹුවකි.
අනෙක් කතා සියල්ල ඊනියා යහපාලන ආණ්ඩුව ද පස් වසරක් පුරා තෙම්පරාදු කළ සරුව පිත්තල හා සමානය. සද්දෙට බැදෙයි. සුවදක් නැත.
ගෝටාගේ මුල් මාසය අවසන් කැරැණේ දසප්‍රතිපදා ජාතික ප්‍රතිපත්ති රාමුව එළි බැස්සවීම මගිනි. මෙවැනි ප්‍රතිපත්ති රාමු සෑම වසර පහකටම වරක් දැක ඇති බැවින් එය හුදු එළි බැහීමකින් එහාට නොගියේ ය. මෙම ප්‍රතිපත්ති රාමුවට තහනම් වචන ගණනාවක් තිබී ඇති බව පෙනේ. ඒවා නම් දේශපාලන විසදුම, ජාතික සංහිදියාව, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ මාධ්‍ය නිදහස යනාදිය යි. පශ්චාත් යුද්ධ සමාජයක ජාතික සංහිදියාව ගැන කතා නොකිරීමේ ප්‍රතිපත්තිමය අරුත කුමක් ද? ජනමාධ්‍යවේදීන් දුසිම් ගණනින් ඝාතනය වූ, මාධ්‍ය ආතනයන්ට බෝමිබ ගසා ගිනිතැබූ රටක මාධ්‍ය නිදහස ගැන කතා නොකරන ප්‍රතිපත්ති රාමුවක අරුත කුමක්ද? දශක හයකට ආසන්න කාලයක් පුරා ප්‍රචන්ඩ දේශපාලන ව්‍යාපාර සහ රාජ්‍ය මර්දනය පැතිර ගිය, එනිසාම දරුණු ලෙස මානව හිමිකම් කඩවූ සහ දුර්වල වූ රටක මානව හිමිකම් ප්‍රවර්ධනය ගැන කතා නොකරන ජාතික ප්‍රතිපත්තියක අරුත කුමක් ද?
අරුත නම් වත්මන් ශ්‍රී ලාංකික සහ අන්තර් ජාතික සංදර්භය තුළ හුදෙක් විකෘතියක්ම පමණක් විය හැකි එබැවින්ම ගොරබිරම් රෑපකායක් පමණක්ම ලබා ගත හැකි සිංගප්පූරු සිහිනය යි. සිංගප්පූරු ආදර්ශයේ මනෝකායට ගත හැකි එකම භූත රූපය රාක්ෂයින් ද කන මකරාක්ෂයකු පමණක් බව, ගෝටා්ගේ ප්‍රථම මාසයේ පණිවිඩය බව පෙනේ.