Tuesday, July 16, 2024

මාධ්‍යවේදීන්ට එරෙහි පහරදීම් පිළිබඳ  කඩිනම් පරික්ෂණ වහාම සිදුකළ යුතුයි- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

මාධ්‍ය නිවේදනය/ 2019-12-09.

පසුගිය දින කිහිපය තුල දිගින් දිගටම මාධ්‍යවේදින් සිය වෘත්තීය නිසා විවිධාකාර තාඩන පිඩන වලට ගොදුරු වීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව හෙළා දකි.

මෙම සිදුවිම් මාලාවට අළුතෙන්ම එකතු වු සිද්ධිය ලෙස අප වෙත වාර්තා වුයේ අලුත්ගම ප්‍රාදේශිය මාධ්‍යවේදී තුසිත කුමාර ද සිල්වාට සහ ඔහුගේ බිරිඳ ද ඉලක්ක කොට ගෙන කරන ලද පහර දීමයි. ඔහු අප වෙත ප්‍රකාශ කළ අන්දමට ‘අලුත්ගම ප්‍රදේශයේ සිදුවන කෘතිම රා නිපදවන ස්ථාන කිහිපයක් විශේෂ කාර්ය බලකාය විසින් පරික්ෂා කොට අත්අඩංගුවට ගත් සැකකරුවන් අලුත්ගම පොලිසියට වැඩිදුර කටයුතු කිරීම පිණිස බාර දි ඇත. මෙම ප්‍රවෘත්තිය  තමා සේවය කරන මාධ්‍යයන් ඔස්සේ වාර්තා කළ අතර එම ප්‍රවෘත්ති පළ කිරීම මුල් කොට චෝදනාවන්ට ලක් වු කණ්ඩායමක් විසින් තමාට හා තම බිරිඳට පහර දි ඇත.

‘තමන්ගේ ආණ්ඩුවක් බලයට පත් වූ පසු අදාල වාර්තාකරණයට පිළිතුර දෙන බව පවසා ප්‍රහාරකයින් මීට පෙරද තර්ජනය කර තිබූ බව වින්දිත මාධ්‍යවේදී තුසිත කුමාර ද සිල්වා  මහතා පවසයි. ඔහුගේ ප්‍රකාශය අනුව මේ ප්‍රහාරය තුළ එවැනි දේශපාලන පළිගැනීමක් ගැබ් ව තිබේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයට එල්ල කළ බරපතල තර්ජනයක් ලෙස හෙලා දැකීමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කටයුතු කරයි.

වෘත්තීය මාධ්‍යවේදීන්ට අවමන් සහගත ලෙස සලකන මෙවැනි සිදුවීම් ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට බාධකයක් වශයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සලකයි. මෙම සිදුවීම සුළු කොට නොතකා කඩිනමින් සාධාරණ පරික්ෂණයක්  මගින්  සැකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කරන මෙන් සියළු බලධාරින් ගෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලා සිටි.

Archive

Latest news

Related news