Friday, April 19, 2024

පසුගිය ඒකාධිපති රෙජීමය බලයට ඒම කවර මිලක් ‌ගෙවා හෝ ජනාධිපතිවරණයේ දී පරාජය කළ යුතු ය – ලයනල් ‌බෝපගේ

පසුගිය ඒකාධිපති රෙජීමයේ පැවති මර්ධනකාරී සමාජ රටාව පිළිබඳ අඳුරු යථාර්තය තවමත් අපගේ සිත් තුළ ඉතා පැහැදිලිව රැඳී තිබේ. කවර මිලක් ගෙවා හෝ යළි බලයට ඒම සඳහා ඔවුන් තුළ ඇති නොසන්සිඳෙන ආශාව සාමූහික ප්‍රජා ප්‍රයත්නයකින් පරාජය කළ යුතු අතර සියලු දෙනාම ඡන්ද පොලට ගොස් ඔබගේ පළමු, දෙවන සහ තෙවන මනාපයන් ඡන්ද පත්‍රිකාවේ සටහන් කරන ලෙසත්, ඔබගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිය බුද්ධිමත් ව සහ දුර දක්නා නුවණින් යුතුව භාවිතා කරන ලෙසත් ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඔස්ට්‍රේලියානු සහයෝගිතාවය, ප්‍රකාශණයක් නිකුත් කරමින් ඉල්ලා සිටී. එසේ  කිරීමට අපොහොසත් වුවහොත්, කිසිදු හැඟීමකින් තොරව දූෂණයේ යෙදෙන සහ ආත්මාර්ථකාමී දේශපාලනඥයන්ට යළිත් වතාවක් අසීමිත දේශපාලන බලතල අත්පත් කර ගැනීමට එය මග පාදනු ඇතැයි ද එය සදහන් කරයි.

මෙම ප්‍රකාශය එම සහයෝගිතාවයේ සභාපති ආචාර්ය ලයනල් බොප්ගේ විසින් නිකුත් කර තිබේ.

සම්පූර්ණ ප්‍රකාශය පහත පළවේ.

ජනාධිපතිවරණය : ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ඔසොවා තබන, භාෂණයේ නිදහස සුරකින, නීතියේ ආධිපත්‍යයට ගරු කරන සහ සංහිඳියාව පෝෂණය කරන අපේක්‍ෂකයෙකු තෝරා පත් කර ගනිමු.

ආදරණීය ශ්‍රී ලාංකික ඡන්දදායක ජනතාවනි!


2015
ජනවාරි 08 ට පෙර අසීමිත විධායක බලයක් සහිත ජනාධිපති ධුරයක් ශ්‍රී ලංකාවේ පැවතුණි. ප්‍රජාතන්ත්‍රීය ආයතනයන් කෙරෙහි ජනතා විශ්වාසය කිසි දා නොවූ විරූ තරම් පහළ මට්ටමක පැවති අතර, ජනතාව ඒ කෙරෙහි වූ තම පිළිකුල ප්‍රකාශ කරන ලද්දේ වෙනසක් සඳහා ඡන්දය පාවිච්චි කිරීම මගිනි.

2015 මැයි මාසයේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු කළ 19 වැනි සංශෝධනය සම්මත වීමත් සමග ජනාධිපතිවරයාගේ විධායක සහ ව්‍යවස්ථාදායක බලතල සැලකිය යුතු මට්ටමකින් සීමා කරනු ලැබිණ. ඊට පෙර පැවති, ව්‍යාප්ත වෙමින් ගිය, වැරදි කරුවන් දඬුවම් නොලබා ගැලවී යාමේ සංස්කෘතිය සහ නිර්ලජ්ජිත ලෙස ක්‍රියාත්මක වූ ඥාති සංග්‍රහය, අල්ලස සහ පවුල් පාලනය විශාල ප්‍රමාණයකට හීන වූ බව, කෙනෙකුට තර්කයක් ලෙස මතු කළ හැකිය. විවිධාකාර අඩු ලුහුඬු කම් සහ බිඳ වැටීම් පැවතියද වත්මන් පාලනය විසින් නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීමටත්, ප්‍රජාතන්ත්‍රීය භාවිතාවන් කෙරෙහි විශ්වාසය යළි ඇති කිරීමටත් දායකත්වයක් දක්වා තිබේ. අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ මහජන විශ්වාසය ද කිසියම් ප්‍රමාණයකට යළි තහවුරු වී ඇත.

යහපාලනය” පිළිබඳව කරන ලද බොහෝ අභීත ප්‍රකාශ සම්පූර්ණ වශයෙන් ක්‍රියාවට නැගී නොමැති මේ මොහොතේ දී, ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින අපේක්‍ෂකයන් විසින් ඉටු කළ නොහැකි හෝ ජනාධිපතිගේ බල සීමාවට අයත් නොවන හෝ විවිධ බොරු පොරොන්දු ගණනාවක් දී තිබේ.

රාජ්‍ය පාලනයේ විනිවිද භාවය සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, බලය බෙදා හැරීම, යුද සමයේ සිදු වූ අපරාධ පිළිබඳව යුක්තිය ඉටු කිරීම සහ සියලු ශ්‍රී ලාංකේය ජනයාගේ මානව හිමිකම් හා ආගමික අයිතීන් ආරක්‍ෂා කිරීම බඳු ගැට`ඵ තවමත් විවාදාත්මක මට්ටමක ඇති නොවිසඳුනු ගැටළුය.

මෙම ප්‍රශ්න තව දුරටත් පමා නොකොට, ඵලදායක දේශපාලන සංවාද මගින් නිරාකරණය කර ගැනීම අපගේ ජාතික ආරක්‍ෂාවට සහ ආර්ථික සෞභාග්‍යයට යහ සාධක වන බවත්, එමගින් අයවැය තෙරපුම ලිහිල් වී සැලකිය යුතු මට්ටමකින් ජාත්‍යන්තර සබඳතා වර්ධනය වනු ඇති බවත් අපි විශ්වාස කරමු.

ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික භාවයක් සහ පුළුල් මනසක් සහිත දේශපාලන නායකත්වයක් ශ්‍රී ලංකාවට අවශ්‍යව තිබේ. මේ මොහොත ජනයාගේ ඡන්දයට වටිනාකමක් හිමි වන අවස්ථාව ය.
එහෙයින්, ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් ඔසොවා තැබීමේ, භාෂණයේ නිදහස සුරැකීමේ, නීතියේ ආධිපත්‍යයට ගරු කිරීමේ සහ රටේ සංහිඳියාව පෝෂණය කිරීමේ වඩාත් වැඩි ශක්‍යතාවක් ඇති අපේක්‍ෂකයෙකු ඡන්දයෙන් පත් කර ගන්නා ලෙස “ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඔස්ට්‍රේලියානු සහයෝගිතාවය” නමැති අපේ සංවිධානය ඡන්දදායක ජනතාවට ආයාචනා කර සිටියි.

පසුගිය ඒකාධිපති රෙජීමයේ පැවති මර්ධනකාරී සමාජ රටාව පිළිබඳ අඳුරු යථාර්තය තවමත් අපගේ සිත් තුළ ඉතා පැහැදිලිව රැඳී තිබේ. කවර මිලක් ගෙවා හෝ යළි බලයට ඒම සඳහා ඔවුන් තුළ ඇති නොසන්සිඳෙන ආශාව සාමූහික ප්‍රජා ප්‍රයත්නයකින් පරාජය කළ යුතුය.

සියලු දෙනාම ඡන්ද පොලට ගොස් ඔබගේ පළමු, දෙවන සහ තෙවන මනාපයන් ඡන්ද පත්‍රිකාවේ සටහන් කරන ලෙසත්, ඔබගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිය බුද්ධිමත් ව සහ දුර දක්නා නුවණින් යුතුව භාවිතා කරන ලෙසත් අපි ඔබෙන් ඉල්ලා සිටිමු. එසේ කිරීමට අපොහොසත් වුවහොත්, කිසිදු හැඟීමකින් තොරව දූෂණයේ යෙදෙන සහ ආත්මාර්ථකාමී දේශපාලනඥයන්ට යළිත් වතාවක් අසීමිත දේශපාලන බලතල අත්පත් කර ගැනීමට එය මග පාදනු ඇත.

දුර්මුඛ වීම සහ දේශපාලන උකටලී භාවය තුළින්, රටේ පාලනය සිවිල් අයිතිවාසිකම්වලට තර්ජන එල්ල කිරීම පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලන පුද්ගලයන් අතට පත් වී යුක්තිය ඉටු කිරීමේ කාර්යය මග හැරීම අලුත් ආචාර ධර්මයක් බවට පත් වනු ඇත. මෙම ජනාධිපතිවරණය වනාහි, අනාගතයේ දී ඇති වීමේ අවදානම පවතින මර්ධන නීති සමුදායකින් ගැලවී සිටීමට ඔබට සහ ඔබේ දරුවන්ට ඇති අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ආරක්‍ෂා කර ගැනීමට ලැබෙන අවස්ථාව වේ.

තෝරා ගැනීම ඔබ සතුය. ඉතා ළඟ ළඟ පවතින තරගයක් පිළිබඳ අනාවැකි පැවසෙන හෙයින්, මෙම ජනාධිපතිවරණයේ දී අන් කවරදාටත් වඩා ඔබගේ මනාප ඡන්ද විචක්ෂණශීලී ලෙස භාවිතා කිරීම දැඩි ලෙස වැදගත් වෙයි.
අත්සන් කලේ:

ආචාර්ය ලයනල් බෝපගේ
සභාපති, ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඔස්ට්‍රේලියානු සහයෝගිතාවය, ඔස්ට්‍රේලියාව
දුරකතනය: +61 405 452 130, ඊමේල්: [email protected]
2019
නොවැම්බර් 4 වන දා

ඉහත ජායාරූපය ලංකා ට්රුත් වෙබ් අඩවියෙනි.

 

Archive

Latest news

Related news