Tuesday, July 16, 2024

‘ඔබේ තර්ජන වලට මගේ අධිශ්ඨානය විනාශ කළ නොහැක’ – රඳවා සිටින යුද සෙබළුන් නිදහස් කිරීමේ ගෝටාගේ කතාවට සන්ධ්‍යා පිළිතුරු දෙයි!

සන්ධ්‍යා එක්නැළිගොඩ © Sunanda Deshapriya.

තමා බලයට පැමිණ ඊළඟ දිනයෙහිම විවිධ චෝදනා මත රඳවා සිටින යුද හමුදා සාමාජිකයින් නිදිහස් කරන බවට ගෝඨාභය රාජපක්ෂ විසින කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් විවෘත ලිපියක් ලියන සන්ධ්‍යා එක්නැළිගොඩ මෙසේ ප්‍රශ්ණ කරයි: 

1. ඔබ මෙසේ මෙම බන්ධනාගාරගත හමුදා නිළධාරීන්ට දණ්ඩ මුක්තිය ලබා දෙන්නේ කරන ලද අපරාධ වරද අධිකරණයේදී ඔප්පු වී දඬුවම් විඳින සියලුම හමුදා නිළධාරීන්ටද ? (රටේ මීනීමැරුම්මංකොල්ලකෑම්ස්ත්‍රී දුෂණසොරකම් ආදී සියලු අපරාධ වලට සම්බන්ධ අය ද ඇතුලුවනැතහොත් ඔබ විසින් තෝරා ගත් පිරිසකට පමණදඑසේ තෝරා ගැනීමක් සිදු කරන්නේ නම් එය කරන්නේ කුමන පදනමකින්ද?

2. මගේ සැමියාගේ නඩුව පවතින්නේ නීතිපති තුමා විසින් චෝදනා ගොනු කොටඅගවිනිසුරු තුමා විසින් ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කොට එම නඩු ආරම්භ කිරීමේ අදියරේ යප්‍රගීත්ගේ සේම තවත් ප්‍රසිද්ධ අපරාධ ගණනාවක (හමුදාව සමබන්ධනඩු පවතින්නේ මූලික අදියර වලයඔබ ලබා ගන්නවා යයි කියන ජයග්‍රහණයෙන් පසු දිනම (නොවැම්බර් 17) ඔවුන්ට දණ්ඩ මුක්තිය ලබාදෙන්නේ එම නඩු වල අධිකරණමය ක්‍රියාදාමය නවතාවිනාශ කර දමාද?

3. දණ්ඩමුක්තිය ලබාදීමට ඔබ විසින් තෝරාගන්නා කණ්ඩායම් අතර භාරත ලක්ෂ්මන් ඝාතනයේ වරදකරු දුමින්ද සිල්වාකුරාම් ශේක් ඝාතනයේ වරදකරු වූ ප්‍රසිද්ධ ස්ත්‍රී දුෂක හිටපු තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති චන්ද්‍ර සම්පත් යන අයත් ඇතුලත් ද ?

 

සම්පූර්ණ ලිපිය පහත පළවේ:

එක්නැලිගොඩල නො. 136/2, සුහද මාවතහිරිපිටිය, පන්නිපිටියල 2019.11.05

නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතාජනාධිපතිවරණය 2019ල ජනාධිපති අපේක්ෂකශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ.

ට්විටර් හා ෆේස්බුක් සමාජ මාධ්‍යජාල ඔස්සේ ඔබ වෙත එවන ව්වෘත සංදේශය

ජනාධිපති අපේක්ෂක මහත්මයාණෙනි,

2019.10.09 දින ඔබ විසින් මැතිවරණ රැළියක් අමතමින් කළ ප්‍රකාශය සහ

අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු සම්බන්ධවයි.

ඔබට මෙම ලිපිය ලිවීමට මා අදහස් කළේ මීට සති දෙකකට පමණ ඉහතදී ය. එහෙත් මට ඔබගේ නිවසෙහි ලිපිනය සොයාගත නොහැකි විය. “ලිපිනය සොයා දෙන්නම්” කියා පොරොන්දු වූ අයද එම පොරොන්දු පැහැර හැරියේ කිසියම් බයක් නිසාදෝයි මට සිතුණි. අවසානයේදී, මෙම ලිපිය ටිවිටර් සහ ෆේස් බුක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඔබ වෙත යොමු කිරීම සුදුසුම සහ කඩිනම්ම ක්‍රමය යැයි මට හැඟිණි.

මෙසේ ඔබට ලියන මම 2010 ජනවාරි 24 වන දින බලහත්කාරයෙන් අනීතික ලෙස හමුදා බුද්ධි අංශ නිළධාරීන් කිහිප දෙනෙක් විසින් පැහැරගෙන ගොස් ඔහුගේ භෞතික ශරීරය අතුරුදහන් කර ඇති මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ වෙමි.හරිත්, සංජය පුතුන් දෙදෙනා සහ මම; ප්‍රගීත් ට සිදු වූ දේ පිලිබඳ සත්‍ය සහ යුක්තිය ලබාගැනීමට නිම නොවන අරගලයක නිරත වෙමු.

2010- 2015 කාලය තුළ විමර්ශනය කිරීම වළක්වා තිබූ, මගේ සැමියා වන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන් වීම සම්බන්ධ පරීක්ෂණ 2015 දී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට භාර කෙරුණු අතරඔවුන්ගේ විමර්ශන වලදී රටේ නීතියට පටහැනි ආකාරයෙන් ප්‍රගීත්ව පැහැරගෙන ගොස් ගිරිතලේ හමුදා කඳවුරක පිහිටි වධකාගාරයක රඳවාගෙන ප්‍රශ්න කර ඇති බවත්, ඉන් පසුව එතැනින් අක්කරෙයිපත්තුවට ගෙන ගොස් ඇති බවත්, මෙය සිදු කර ඇත්තේ හමුදා බුද්ධි අංශ නිළධාරියෙකු වන ශම්මි කුමාරරත්න ඇතුලු කණ්ඩායමක් බවත් ඔවුන් අනාවරණය කර බී වාර්තාවක්මඟින් ගරු අධිකරණයට කරුණු දක්වා තිබේ. ඒ අනුව මෙම අපරාධ චූදිත හමුදා බුද්ධි අංශ නිළධාරීන් ගරු අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් යුධ හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, විශේෂ කාර්ය බලකාය, විශේෂ කාර්යාංශය, අපරාධ වාර්තා කොට්ඨාශය, රාජ්‍ය බුද්ධි සේවාව, පොලිස් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය, කොළඹ අපරාධ කොට්ඨාශය සහ ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය, නුගේගොඩ කොට්ඨාශය යන රටේ ආරක්ෂාවට සම්බන්ධ ආයතන 10 කින් සහ ගරු අධිකරණය මඟින් ප්‍රගීත් පිළිබඳ විමසිම් කර තිබු අතර එම ආයතන වලින් ඔවුන්ට ලබා දී තිබූ වාර්තාවක් 2016.08.23 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ගරු අධිකරණයට ඉදිරිපත් කළ අතර; එහි දැක්වූයේ “ මාධ්‍යවේදී ප්‍රගීත් රන්ජන් බණ්ඩාර එක්නැලිගොඩ යන අය කිසිදු අපරාධයකට හෝ LTTE ත්‍රස්තවාදී ක්‍රියාවකට හෝ යම් අපරාධ කණ්ඩායමකට හෝ LTTE ත්‍රස්තවාදීන්ට ආධාර අනුබල දීමකට සම්බන්ධ වී ඇති බවට වාර්තා වී නොමැති බව හා යම් අධිකරණමය ක්‍රියාවකට අවැසි නොවන බවත්ය” .

මගේ සැමියා පිළිබඳ සත්‍ය මෙය වුවත් ඔහුව ගොදුරු කරගත් අපරාධයට සම්බන්ධ දේශපාලන කණ්ඩායම් ඔහුට චෝදනා නගන්නේ ප්‍රගීත් ‘LTTE කාරයෙක්’ කියාය. කිසිදු ආයුධයක් නොඇල්ලූ ප්‍රගීත් ‘කොටියෙක්’ ලෙස හුවා දක්වන ඔවුන්අරන්තලාවේ සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේලා (සාමනේර භික්ෂූන් වහන්සේලාත් ඇතුළත්ව) සමූහයක් ඝාතනය කළ කරුණා අම්මාන් නැමති හිටපු LTTE නායකයාව දේශප්‍රේමියෙකු කරන අතර; ඔහු වීර කැප්පැටිපොළට සමාන කිරීම මහත් උත්ප්‍රාසයකී.

එක් කණ්ඩායමක් ‘ප්‍රගීත් ප්‍රංශයේ සිටිනවා’ දුටුවා යැයි පවසද්දී තවත් කණ්ඩායමක් පවසන්නේ ‘ඔහු ඩුබායි වල ඉන්නවා’ යැයි කියාය. ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රංශයේ නොමැති බවට ප්‍රංශ රජය තහවුරු කරද්දීත් ඔවුන් දිගින් දිගටම කියන්නේ ඔහු ප්‍රංශයේ සිටින බවය. මෙම පදනම් විරහිත ප්‍රකාශ වල ඇති විශේෂත්වය නම් මෙම ප්‍රබන්ධ සියල්ලම ගොතන්නේ එකම දේශපාලන කණ්ඩායමක් වීමය. මේවා අසා කම්පා වන අපේ දරුවන් විමසන්නේ “අම්මේ තාත්තට රට යන්න පාස්පෝට් එකක් තිබුණේ නැහැනේ” කියාය.

මෙම කණ්ඩායම් එසේ කීවත් එදිනෙදා මඟතොටේදී හමුවන මිනිසුන් නම් කියන්නේ ‘සුරතලයට මෝරුන් ඇති කරන නායකයෙක් ප්‍රගීත්ගේ සිරුර මෝරුන්ට කන්න දී’ ඇතැයි කියාය. තවත් අය කියන්නේ ‘ශම්මි කුමාරරත්නලා ප්‍රගීත්ගේ සිරුරේ අභ්‍යන්තර කොටස් ඉවත් කර මුහුදට දමා ඇතැයි’ කියාය. තවත් සමහරු කියන්නේ ප්‍රගීත්ගේ සිරුර ‘ඇසිඩ් තටාකයක ගිල්වා’ ඇති බවකි. මේ පිළිබඳ සත්‍ය දන්නේ ශම්මි කුමාරරත්න ඇතුලු කණ්ඩායම පමණි.

කෙසේවෙතත් එවකට වයස අවුරුදු 12 ක් සහ 15 ක් වූ දරුවන් දෙදෙනෙකුගෙන් “තාත්තා” උදුරාගෙන දරුවන්ගේ ජීවිත විනාශ කරන්නටත් , බිරිඳක් ලෙස මා කෘතීම කණවැන්දුම් ගැහැනියක බවට පත් කරන්නටත් , පවුලක සතුට විනාශ කරන්නටත් ඔවුනට හැකි වුවත්, ප්‍රගීත් එක්නැලිගොඩගේ මතකය විනාශ කිරීමට ඔවුන්ට කිසිසේත් නොහැකි වී ඇත.

2019. 10.09 වන දින පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස, අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී

ඔබ විසින් අමතන ලද පළමු ජනරැලියේදී “නොවැම්බර් 16 මා පත් වූවාට පසුදිනම එනම් 17 වන දාම සිරගෙවල් සිටින රණවිරුවන් නිදොස් කොට නිදහස් කරනවා.” යනුවෙන් ඔබ කළ ප්‍රකාශය ඇසූ මොහොතේ මට ඇති වූයේ බිය මුසු අවිනිශ්චිත භාවයකි . ඒ අවුරුද් 9ක් පුරා නින්දා, අපහාස, අඩන්තේට්ටම් මැද සත්‍ය හා යුත්කිය පතමින් දින 150 කට වඩා වැඩි කාලයක් උසාවි ගානේ රස්තියාදු වී කරන ලද කැප කිරීම; ප්‍රගීත්ගේ ව්මර්ශනය, ප්‍රගීත් ට කළා සේම විනාශ කිරීමට ඔබට ඉඩ දෙනවාද නැද්ද යන සිතිවිල්ල නිසාවෙනි. සත්‍ය සහ යුක්තිය වෙනුවෙන් ඇති මගේ අධිෂ්ඨානය විනාශ කිරීමට මම කිසිසේත් ඔබට ඉඩ නොතබමි.

නන්දසේන ගෝඨාභය රාජපක්ෂ වන ඔබ විසින් කර ඇති ප්‍රකාශයට අනුව මේ රටේ වින්දිත භාවයට පත් මා ඇතුලු වින්දිතයින්ගේ “නීතීය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීමද, නීතියේ රැකවරණද සර්ව සාධාරණ විය යුත්තේය” යන ව්‍යවස්ථාපිත අයිතිවාසිකම උල්ලංසනය වනවා සේම ආරක්ෂක හමුදා වල නිළධාරීන් විසින් කරන ඕනෑම

අපරාධයක් යුක්ති යුක්ත කිරීම සඳහා නිල අවසරයක් ලබා දීමක් වේ. එසේම යුක්තිය පසිඳලන ආයතන සහ නීතීය ක්‍රියාත්මක කිරීමට ඇති ආයතන වල දක්ෂ අවංක නිළධාරීන්ගේ ධෛර්යය දුර්වල කිරීමක්ද වන්නේය.

එහෙයින්, පහත සඳහන් ප්‍රශ්න ඔබ වෙත ඉදිරිපත් කරන අතර, දින තුනක් ඇතුලත පිළිතුරු ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි.

1. ඔබ මෙසේ මෙම බන්ධනාගාරගත හමුදා නිළධාරීන්ට දණ්ඩ මුක්තිය ලබා දෙන්නේ කරන ලද අපරාධ වරද අධිකරණයේදී ඔප්පු වී දඬුවම් විඳින සියලුම හමුදා නිළධාරීන්ටද ? (රටේ මීනීමැරුම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දුෂණ, සොරකම් ආදී සියලු අපරාධ වලට සම්බන්ධ අය ද ඇතුලුව) නැතහොත් ඔබ විසින් තෝරා ගත් පිරිසකට පමණද? එසේ තෝරා ගැනීමක් සිදු කරන්නේ නම් එය කරන්නේ කුමන පදනමකින්ද?

2. මගේ සැමියාගේ නඩුව පවතින්නේ නීතිපති තුමා විසින් චෝදනා ගොනු කොට, අගවිනිසුරු තුමා විසින් ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කොට එම නඩු ආරම්භ කිරීමේ අදියරේ ය. ප්‍රගීත්ගේ සේම තවත් ප්‍රසිද්ධ අපරාධ ගණනාවක (හමුදාව සමබන්ධ) නඩු පවතින්නේ මූලික අදියර වලය. ඔබ ලබා ගන්නවා යයි කියන ජයග්‍රහණයෙන් පසු දිනම (නොවැම්බර් 17) ඔවුන්ට දණ්ඩ මුක්තිය ලබාදෙන්නේ එම නඩු වල අධිකරණමය ක්‍රියාදාමය නවතා, විනාශ කර දමාද?

3. දණ්ඩමුක්තිය ලබාදීමට ඔබ විසින් තෝරාගන්නා කණ්ඩායම් අතර භාරත ලක්ෂ්මන් ඝාතනයේ වරදකරු දුමින්ද සිල්වා, කුරාම් ශේක් ඝාතනයේ වරදකරු වූ ප්‍රසිද්ධ ස්ත්‍රී දුෂක හිටපු තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති චන්ද්‍ර සම්පත් යන අයත් ඇතුලත් ද ?

කෙසේ වෙතත් ඔබ මෙසේ මෙම අපරාධ වරද වලට සම්බන්ධ හමුදා නිළධාරීන්ට දණ්ඩ මුක්තිය ලබාදෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍ය, ව්‍යවස්ථාවේ ගෞරවය සහ වින්දිතයන්ගේ මානව හිමිකම් නොසලකා හරිමින්ය. එබැවින් අද දින සිට දින තුනක් ඇතුළත ඉහත කරුණු වලට පැහැදිලි පිළිතුරක් ලබා දෙන ලෙස මම නැවතත් ඉල්ලා සිටිමි.

එසේම ඔබ කියන පරිදි අපරාධ කර ඒවාට අධිකරණ තීන්දු මත දඬුවම් විදින හෝ චුදිත හමුදා නිළධාරීන්ට දණ්ඩ මුක්තිය ලබා දුනහොත් එය මගේ සහ මාගේ දරුවන්ගේ ජීවිත ආරක්ෂාවටද, තවත් බොහෝ වින්දිතයන්ගේ ජීවිත ආරක්ෂාවට ද තර්ජනයක් වන්නේය. මම මෙම ලිපිය එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ සියලුම තනාපති කාර්යාල වලට, පොදු මහජනතාවටද යොමු කොට බෙදා හරිමින් මගේ සහ දරුවන්ගේද, අනෙක් සියලු වින්දිතයන්ගේද ජීවිත ආරක්ෂාවට වෙනුවෙන් මැදිහත්වන ලෙස ඉල්ලා සිටින්නේ ඒ නිසාවෙනි.

ස්තූතියි !

මෙයට වින්දිත භාවයට පත්,

සන්ධ්‍යා එක්නැලිගොඩ

 

Archive

Latest news

Related news