Friday, April 19, 2024

‘අම්මේ මම ඉන්න තැනට අවුරුදු 18 ත්, 20 ත් අතර ගැහැණු ළමයිවයි, පිරිමි ළමයිවයි ගෙනල්ලා වෙඩි තියනවා’ – නාවික කඳවුරේ තරුණ ඝාතනය

ඡායාරූපය: එකළ නාවික හමුදාපතිවූයේ වසන්ත කරන්නාගොඩ ය‍.

කිත්සිරි විජේසිංහ විසිනි,

ත්‍රිකුණාමලය කුප්‍රකට ගන්සයිට් භූගත සිර කඳවුරේ සිරකර සිටි තරුණ තරුණියන්, එහි පාලනය භාරව සිටි නාවික හමුදා සාමාජිකයන් විසින් විටින් විට වෙඩි තබා ඝාතනය කර ඇතැයි හිටපු නාවික හමුදා ප්‍රධානියාද සැකකරුවකු වන සාපරාධී ක්‍රියා මාලාවක් විභාග කරන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව (CID) එම හෙළිදරව්ව කර ඇත්තේ සාපරාධී කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලබන හමුදා නිලධාරීන් නඩු නැතිව නිදහස් කරන බවට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පොරොන්දුවක් දුන් ඔක්තෝබර් 9 දාය.

නාවික හමුදා ‘විශේෂ බුද්ධි අංශය’ නම් ඒකකයේ පිරිස් විසින් පැහැර ගෙන ගොස් ගන්සයිට් කඳවුරේ සිරකර ගෙන සිට පසුව අතුරුදහන් කරන ලද රජීව් නාගනාදන්ගේ මව වන සරෝජනි නාගනාදන්ගේ ප්‍රකාශයක් මෙන්ම ඒ ඇසුරින් සිදුකරන ලද විමර්ශන අනුව රැඳවියන් ඝාතනය කර ඇතැයි සැකයෙන් තොරව ඔප්පුවන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. නීති විරෝධී ලෙස සිරගත කර සිටින්නන් වෙඩි තබා මරා දමනු දැකීමෙන් බියට පත්වූ රජීව් නාගනාදන් ඒ පිළිබඳව සිය මවට දැනුම් දී ඇති වගද අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු වාර්තාවෙහි සඳහන් වේ.

“මගේ පුතා මට කතා කරන කොට කිවුවා අම්මේ මම ඉන්න තැනට අවුරුදු 18 ත්, 20 ත් අතර ගැහැණු ළමයිවයි, පිරිමි ළමයිවයි ගෙනල්ලා වෙඩි තියනවා, ඒ කට්ටිය මාවත් ඒ විදිහට මරයිද දන්නේ නෑ කියලා. මම කිවුවා ඒ වගේ දෙයක් ඔයාට කරන්නෙ නෑ, ඔයා අයියප්පන් දෙවියන්ට යාඥා කරන්න කියලා,” යි සරෝජනි නාගනාදන් මාතාව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කියා තිබේ.

නාවික සෙබළුන් රැඳවියන්ට වෙඩි තබා මරා දමන බවට රාජීව් නාගනාදන් දැන ගත්තේ කෙසේදැයි පැහැදිලි කරන ඇය පවසන්නේ සිය පුත්‍රයා සිර මැදිරියෙන් බැහැරට රැගෙන යන අවස්ථාවල එවැනි සිදුවීම් දැක ඇති බවයි.

සරෝජනී නාගනාදන්
සරෝජනී නාගනාදන්

“මම ඇහුවා ඔයා කොහොමද ඕවා දන්නේ කියලා. වොෂ් රූම් යනකොට දැක්කා කියලයි පුතා කිවුවේ,” සරෝජනි නාගනාදන් CIDයට ලබා දී ඇති ප්‍රකාශයෙහි සඳහන්ය.

තම පුතු ගන්සයිට් කඳවුරේ සිට අවස්ථා කිහිපයකදීම තමන් හා දුරකතනයෙන් කතා කළ බවත්, අවසාන වශයෙන් කතා කළේ 2009 මැයි මස 21 දින බවත් නාගනාදන් මහත්මිය පවසන්නීය.

දුරකථන දුන් නාවික සෙබලා

නාගනාදන් මවට සහ පියාට සිරගතකොට සිටි තම පුත්‍රයා රජීව් සමග දුරකතනයෙන් කිහිපවර කතා බහ කළ බව ලුතිනන් කොමදෝරු රණසිංහ යටතේ සිටි විශේෂ බුද්ධි අංශ නිලධාරීන්ද තහවුරු කර ඇත.

2008 සිට 2009 මැයි දක්වා ත්‍රිකුණාමලයේ නාවික කඳවුරේ සේවය කළ හේෂාන් හෙවත් නාවික සෙබල ජෝන් කොතලාවලගේ බන්දු කුමාර 2015 දී රහස් පොලිසියට දුන් සාක්ෂියක දැක්වෙන පරිදි ගන් සයිට් බිම්ගෙයි සිරකොට සිටි රජීව් නාගනාදන් සහ අලි අන්වර් යන දෙදෙනාට ඥාතීන් සමග සම්බන්ධ වීමට ඔහු විසින් ජංගම දුරකතන පහසුකම් ලබාදී තිබේ.

රහස් පොලිසිය විසින් අධිකරණයට දන්වා ඇති පරිදි ඒ සඳහා යොදාගෙන ඇත්තේ 071 3108688 සහ 077 8925790 යන සිම් කාඩ් පත් ය.

රැඳවියන් ඝාතන කරන ආකාරය රජීව් නාගනාදන් ඇසින් දුටු බැවිනුත්, දුරකතන සංවාද හෙළිදරවු වූ බැවිනුත් 2009 මැයි මස 21 දින පසුව රජීව් නාගනාදන් ඇතුළු සෙසු රැඳවියන්ද ඝාතනය කර දමන්නට ඇති බවට සාධාරණ ලෙස සැකකළ හැකි කරුණු අනාවරණය වී ඇතැයි ජේඩීඑස් විසින් දැකගන්නට ලැබුණු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු වාර්තාවේ සඳහන් වේ.

සුමිත් රණසිංහ
“තවද ශ්‍රි ලංකා නාවික හා සාගරික විද්‍යා පීඨ පරිශ්‍රය තුළ පිහිටි සැකකරු රණසිංහ පේඩිගේ සුමිත් රණසිංහගේ අධික්ෂණය යටතේ තිබු නීති විරෝධී ගන්සයිට් නමැති සිරමැදිරි සංකීර්ණය තුළ අවුරුදු 18 සහ 20 ගැහැණු ළමයින් සහ පිරිමි ළමයින් වෙඩි තබා ඝාතනය කර ඇති බවට කරුණු අනාවරණය වී ඇත. එම නීති විරෝධි සිර මැදිරි සංකීර්ණය තුළ ඝාතකයන්ගේ ඝාතන ක්‍රියාවලියට රජීව් නාගනාදන් අසුවේ යැයි මහත් බියකින් පසුවී ඇති බවද සඳහන් කර ඇති අතර රාජීව් නාගනාදන් ද 2009.5.21 පසු දිනෙක එකී ඝාතකයන්ගෙන් ඝාතනයට ලක්ව ඇති බවට සාධාරණ ලෙස සැකකළ හැකි කරුණු අනාවරණය වී ඇත.”

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරින්, පසුගිය 9 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද වැඩිදුර වාර්තාව මගින් මහේස්ත්‍රාත්වරයාගේ අවධානයට යොමු කොට තිබෙන්නේ ලුතිනන් කොමදෝරු කේ.සී වෙළගෙදර සහ පාලක ප්‍රධාන සුළු නිලධාරි සෙනවිරත්න අයද මෙයට පෙර අවස්ථාවලදී සී අයි ඩී ය ට දෙන ලද ප්‍රකාශවලද එම ඝාතන පිළිබඳව සඳහන්ව ඇති බවයි.

පොලිතින් කවරවල මළ සිරුරු

“වෙළගෙදර සහ සෙනවිරත්න විසින් රජීව්, ජෝන්, අලි යන පුද්ගලයන් සැකකාර රණසිංහගේ අධිකෂණය යටතේ තිබුණු ගන්සයිට් නැමති නීති විරෝධි සිර මැදිරි තුළ සිටිනවා දැක ඇති අතර, පසුව එම සංකීර්ණය තුළදි ඔවුන්ව ඝාතනය කර ඇති බවට ඔවුන්ට දැන ගැනීමට ලැබුණු බවත්, එය පරීක්ෂා කිරීමට පැමිණිමේදි එම සංකීර්ණය තුළ සිට අවරණය කරන ලද පොලිතීන් උරවල මළ සිරුරු කැබ් රථයකට පටවනු තමන් දුටු බව ප්‍රකාශ කර ඇති බවත් කාරුණිකව සිහිපත් කරමි.”

රාජීව් නාගනාදන් මෙන්ම මොහොමඩ් අලි අන්වර් නොහොත් හජියාර් විසින්ද, ගන්සයිඩ් කඳවුරේ සිදුවන ඝාතන පිළිබඳව ඩයලොග් ජීසීඑම් ආයතනයේ සේවය කරන මොහොමඩ් ජසිලියාට, විශ්‍රාමික නියෝජ්‍ය නියෝජ්‍ය පොලිස්පති කමල්ඩීන්ට සහ අලි අන්වර්ගේ සොහොයුරු සිහිරාජ් අලි යන අයටද පවසා ඇතැයි අධිකරණයට දැනුම් දෙන විමර්ශන නිලධාරින් අවධාරණය කරන්නේ එවැනි ප්‍රකාශ සාක්ෂි ආඥා පනතේ දෙවන අධිකාරියේ පළමු පරිච්ඡේදයේ 32 (1) ට අනුව මරණාසන්න ප්‍රකාශයක් ලෙස සැළකිය හැකි බවයි.

චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි
චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි

තවද නාවික හමුදා බුද්ධි අංශ සමාජිකයන් විසින් සිංහල, දෙමළ හා මුස්ලිම් පුද්ගලයන් පැහැරගෙන විත් ගන්සයිට් සිර මැදිරි තුළ නීති විරෝධිව රඳවා තබා ගනිමින් එම රැඳවියන් ශාරිරික හා මානසික කෘර වධහිංසාවන්ට ලක් කර ඇතැයිද , එසේ වධහිංසාවන්ට ලක් කිරීමෙන් පසුව කප්පම් මුදල් ලබා ගෙන ඝාතනය කර ඇතැයිද විමර්ශන නිලධාරිහු පවසති.

නාවික හමුදාපති යටතේ රහසිගත කඳවුරු

අධිකරණය හමුවට ඉදිරිපත් කොට ඇති වාර්තාවන්ට අනුව ත්‍රිකුණාමලයේ ගන්සයිට් භූගත සිර මැදිරි සංකීර්ණය මෙන්ම, කොළඹ චෛත්‍ය පාරේ පිහිටි ‘පිට්ටු බම්බුව’ නම් රැඳවුම් කඳවුරද නාවික හමුදා විශේෂ බුද්ධි ඒකකය විසින් පවත්වාගෙන ගොස් තිබෙන්නේ එවක නාවික හමුදාපතිවරයාව සිටි අද්මිරාල් වසන්ත කරන්නාගොඩ දැනුවත්වය.

“නාවික හමුදා මුලස්ථානයේ නීති විරෝධි සිර මැදිරි පවත්වාගෙන යාමට ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි ඇතුළු කණ්ඩායමට පමණක් අවසරයක් හා බලයක් නොමැති බවද, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ දැනුවත්ව හා ඔහුගේ අවසරය මත සිදුකරන ලද්දක් බවටද සාධාරණ සැකයක් මතුවේ,” අධිකරණයට ඉදිරිපත් කෙරුණු වාර්තාවන්වල දැක්වේ.

මෙම අපරාධ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් සිදු කෙරි ඇති විමර්ශනවලට අනුව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ,වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි (CDS) රවින්ද්‍ර විජේගුණරත්න මෙන්ම නාවික හමුදා බුද්ධි අංශයේ එවකට සිටි අධ්‍යක්ෂකවරයා වු කපිතාන් ආනන්ද ගුරුගේ ඇතුළු නාවික හමුදාවේ ඉහළ නිලධාරින් දැන සිට ඇත.

පුද්ගලයන් පැහැරගෙන ගොස් සිරකොටගෙන තබා, වධදී මරා දැමීමේ චෝදනාවට තමන් අත් අඩංගුවට ගැනීම අත් හිටුවීමට හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ කළ ඉල්ලීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අනුමැතිය ලැබී තිබේ.

ඔහු රණවිරුවකු සේ සලකා ජනාධිපතිවරයා විසින් නාවික හමුදාපතිවරයෙකුට ලැබිය හැකි උසස්ම නිලය වන අද්මිරාල් ඔෆ් ද ෆිල්ට් (Admiral of the Fleet) සම්මානයෙන් පුදන ලදී.

ඒ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු පුද්ගල ඝාතන සහ කප්පම් සඳහා මිනිසුන් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු අයකු ලෙස සලකා පරික්ෂණ පවත්වමින් සිටින අතරවාරයේය.

හිටපු නාවික හමුදා ප්‍රධානියා මෙම නඩුවේ සැකකරුවකු ලෙස නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට මහේස්ත්‍රාත් අධිකරණය විසින් සැප්තැම්බර් 15 දා අවසර දෙන ලදී.

ස්තුතිය: © JDS / ගැටවර තරුණ තරුණියන් නාවික වධකාගාරයකදී මරා දැමූ බවට සාක්කි.

 

 

Archive

Latest news

Related news