Monday, May 20, 2024

අත්තනෝමතික කැබිනට් තීරණය හේතුවෙන් ජනපතිට රුපියල් මිලියන 360කට නොඅඩු වරප්‍රසාදයක් – TISL

කොළඹ මහගමසේකර මාවතේ (පෙර පැජට් පාර ), පිහිටි ජනාධිපති නිල නිවස ජනාධිපතිවරයාට පවරාදීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් මෑතකදී ගනු ලැබූ තීරණය පිලිබඳ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය දැඩි අවධානයක් යොමු කර සිටී. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විශ්වාස කරන්නේ , ජනාධිපතිවරයා තවමත් සිය ධුරයේ රැදී සිටිමින් ද , කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් ද සිටින කාල සීමාව තුලදී මෙවැනි තීරණයක් ගැනීම, බැදියාවන් අතර ඝට්ටනය පිළිබද විශාල ගැටළුවක් පැන නගින බවයි. 1986, ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත යටතේ විධායක බලය අත්තනෝමතිකව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් 2007 දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් තීන්දුව මගින් මෙය අවධාරණය කර ඇත.

1986 ජනාධිපතිවරයන්ගේ හිමිකම පනත යටතේ හිටපු ජනාධිපතිවරුන්ට/වරියන්ට සහ ඔවුන්ගේ වැන්දඹුවන්ට නිල නිවසකට හිමිකම් ඇති අතරම, 2007 වර්ෂයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් වෙතට අවධානය යොමු කිරීමට TISL ආයතනය අපේක්ෂා කරයි. මුලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් (SC FR503/2005) ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් පෙත්සම්කරුවන්ට පක්ෂව තීන්දුවක් ලබාදෙමින්, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපතිධුරයේ සිටියදීම එතුමියගේ ප්‍රදාන සහ හිමිකම් පිලිබඳ කැබිනට් තීන්දු අවලංගු කරන ලදී.

එම තීන්දුව ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර සිටියේ ,”මෙම නඩුවේ පැහැදිලිව තහවුරු වී ඇති කරුණු වලින් පෙනී යන්නේ පළමු වන වගඋත්තරකරු සහ ඇය ප්‍රධානත්වය හොබවන කැබිනට් මණ්ඩලය, 1986 අංක 04 දරණ ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත යටත විධි විධාන උල්ලංඝනය කරමින්, විධායක බලය ක්‍රියාත්මක කර ඇත්තේ පළමු වන වග උත්තරකරු වෙනුවෙන් වාසි සහ ප්‍රතිලාභ ලබාගැනීමේ අරමුණින් වන බවයි” . TISL තදින්ම අවධාරණය කර සිටින්නේ, එවැනි හිමිකම් සම්බන්ධයෙන් තීරණ ගත යුතු වන්නේ ධුරයේ සිටින ජනාධිපතිවරයෙකු තනතුරින් විශ්‍රාම යන අවස්ථාවකදී පමණක් වන බවයි.

තවදුරටත්, මෙම තීරණය ගනු ලැබුවේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති කාලසීමාවක් තුලදී මෙන්ම, ජනාධිපතිවරයා, සිය දේශපාලන පක්ෂය ජනාධිපති අපේක්ෂකයෙකුට සහය දැක්වීමට ගත් තීරණයද නොතකා අපක්ෂපාතිව සිටින බවට ප්‍රකාශයක් නිකුත් කර ඇති අවස්ථාවක වීමද, යන කරුණු හේතුවෙන් අල්ලස් පනත යටතේ මැතිවරණ සුපිලිපන්බාවය හා දුෂණ වංචාවක් සිදුවීමේ විභවතාවයක් පිලිබඳ අනතුරු හඟවයි.

TISL හි විධායකක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර මහතා පැවසුවේ, වසර 20 ක කාලයක් සඳහා සිරිසේන ජනාධිපතිවරයා විසින් මහගමසේකර මාවතේ පිහිටි නිල නිවාස පරිහරණය කිරීම මගින් ඔහුට ලැබෙන අවම ඇස්තමේන්තුගත ප්‍රතිලාභය රුපියල් මිලියන 360 කට අධික වේ. මෙම නිවාස ලබාදීම පිළිබඳව තීරණය ගෙන ඇත්තේ ජනාධිපතිවරයාම මෙහෙයවනු ලබන කැබිනට් මණ්ඩලය වන හෙයින් බැදියාවන් අතර ඝට්ටනය පිලිබඳ ගැඹුරු සැක සංකා මතුකරන අතර පොදු දේපල සුරැකීම පිළිබඳව ඇති අඩු අවධානය පිළිබඳවද ඉඟි මතු කරන බවයි.

ජනාධිපති සිරිසේනගේ හිමිකම් සම්බන්ධයෙන් වන ඕනෑම කැබිනට් තීන්දුවක් වහාම අවලංගු කරන ලෙස TISL ආයතනය කැබිනට් මණ්ඩලයට දන්වා සිටී. මැතිවරණ නිරීක්ෂකයෙකු ලෙස, මැතිවරණ සමයෙදී රාජ්‍ය සම්පත් අවභාවිතා කිරීම පිළිබඳව TISL ආයතනය නිරීක්ෂණය කර වාර්තා කරනු ලබයි.

මැතිවරණ පැමිණිලි ක්ෂණික ඇමතුම් අංක 076-322-3442 හෝ [email protected] යන ඊ මේල් ලිපිනය හරහා TISL ආයතනය වෙත ලබා දිය හැකිය.

Archive

Latest news

Related news