Saturday, May 18, 2024

අපි ජාතික ජන බලවේගයට. දෙවැනි මනාපය ගෝටා පැරදවීමට – ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න

ඡායාරූපයඑක්සත් වාමාංශික පෙරමුණේ ප්‍රධානියකු වන ලාල් විජෙනායක මහතා ජාතික ජන බලවේගයේ රැස්වීමක කතා කරමින්. ( ලංකා ට්රැත් ජායාරූපයකි)

ජාතික ජන බලවේගය සමඟ මාත් එක් වෙනවා  මම එක්සත් වාමාංශික පෙරමුණේ සාමාජිකයෙක්. අපේ පක්ෂය වාමාංශික පක්ෂයක් නිසා දීර්ඝ කාලයක් පුරා අපි වාමාංශික කඳවුර ශක්තිමත් කරන්න වැඩ කටයුතු කරලා තියෙනවා. අද අපට තියෙන ප්‍රශ්නය තමයි පැහැදිලි අධිකාරිවාදී තර්ජනය. ඒ ගෝඨාභය රාජපක්ෂ කියන හිටපු මිලිටරි නිලධාරියාගෙන්. ඔහු මෑතක් වනතුරුත් ඇමෙරිකානු පුරවැසියෙක්. ඔහුගේ අතීත වාර්තාව ඉතා ම නරකයි.

ඔහු ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරපු කාලයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් බලවත් ලෙස සීමා කළ කෙනෙක්. ඔවුන්ට ජනවරමක් ලැබුණොත් මොකද වෙන්නේ කියලා අපට හිතාගන්න පුළුවන්. ඒ නිසා වාමාංශිකයන් විදිහට අප එම අනතුර දකිනවා. අපේ පක්ෂයේ ඒකමතික මතය වුණේ ජනපති අපේක්ෂකයා ලෙස කරූ ජයසූරුය මහතා එයි කියලයි. නමුත්, ඒක වුණේ නැහැ.

එතුමා, රට ප්‍රජාතන්ත්‍රවාදීකරණය කිරීම සඳහා ලබාදීපු දායකත්වය සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ලබාදුන් දායකත්වය සුවිශේෂීයි. එසේ ම දින 52 ආණ්ඩු පෙරළිය තුළ එතුමා පෙන්නුම් කළ නායකත්වය සහ ජාතික සංහිඳියාවට ඇති නැඹුරුව වැනි කාරණා නිසා එතුමා සුදුසුයි කියන තැනට අපි ආවා. ඒ විතරක් නොවෙයි, විධායක ජනපති ධුරය අහෝසි කරන්නට එතුමාට ඇති ප්‍රශ්න කළ නොහැකි කැපවීම සහ ධනපති පක්ෂයක සාමාජිකයකු වුවත්, ඔහු අපේක්ෂකයා වුණා නම් අපේ පක්ෂයේ සහයෝගය ලබා දෙන්න කිසිදු කරදයක් වෙන්නේ නැහැ. අද වෙනකොට සජිත් ප්‍රේමදාස මහත්තයා අපේක්ෂකයා වෙලා තියෙනවා. නමුත්, ඔහුට කරූ ජයසූරිය මහත්තයා වගේ ඒ ප්‍රශ්නවලට දීර්ඝ කාලීන කැපවීමක් තිබුණා නම් අපට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක අපට ආර්ථික කාරණා ගැන ලොකු ප්‍රශ්න තියෙනවා. නමුත්, ඔහු ව්‍යවස්ථා වෙනසකට දක්වන දායකත්වය ගැන සතුටු වෙනවා. අවාසනාවකට පසුගිය කාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහාය නො ලැබුණ නිසා, නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ උත්සාහය ව්‍යර්ථ වුණා. මුලින් එවැනි වෙනසකට කැමැත්ත පළ කළ ශ්‍රීලනිපය පසුව සම්පූර්ණයෙන් විධායක ජනපති ධුරය වෙනස් කළ නොහැකි යැයි පවසමින් එම තීරණය වෙනස් කළේය.

එසේ ම බලය බෙදාහැරීම ගැන ශ්‍රීලනිප යේ දකුණේ පළාත් සභා 7 ම මහ ඇමැතිවරු ඉතාමත් ප්‍රගතිශීලී යෝජනා ඉදිරිපත් කළා. දෙමළ ජනතා සන්ධානය පවා ඒ යෝජනා පිළිගත්තා. ශ්‍රී ලංකා ඉතිහාසයේ එවැනි තත්ත්වයක් කවදාවත් උදා වෙලා තිබුණේ නැහැ. කොහොම නමුත්, අවසානයේ ශ්‍රීලනිපයේ නිල ස්ථාවරය වුණේ, ඔවුන්ගේ මහ ඇමැතිවරුන් තරමටවත් ඉදිරියට නොගිය ස්ථාවරයක්. එතැනින් එහාට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලිය අඩපණ වුණා.

එජාපයටත් මේ සම්බන්ධයෙන් මීට වඩා කැපවීමක් තියෙන්න තිබුණා. ඒ ගැන පාර්ලිමේන්තුවේදීත් කිව්වා. අන්තිමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලිය කරගහගෙන යන්න වුණේ සුමන්තිරන් මන්ත්‍රීතුමාටත්, මටත් විතරයි. ඒ හින්දා සමහරුන්ට අපි වීරයෝ වෙලා තවත් සමහරුන්ට අපි ද්‍රෝහියෝ වුණා. ඒ නිසා මාධ්‍යයෙන් අපට පහර දුන්නා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලිය ඉදිරියට යනවා නම්, විධායක ජනපතිධුරය අහෝසි කරනවා නම්, කවුරු වුණත් අපට කමක් නැහැ. අපි සහය දෙනවා. ‍‍මේ සියල්ල සලකලා තමයි අපි ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට සහය පළ කරන්නේ. සහය පළ කරනවා හා සමාන උනන්දුවකින්, රටේ ජනතාවට අපි කියනවා ගෝඨාභය රාජපක්ෂට විරුද්ධ ශක්තිමත් ම අපේක්ෂකයාට දෙවැනි මනාපය දීලා තමන්ගේ ඡන්දය අපතේ නොයන ආකාරයට කටයුතු කරන්න කියලා.

මම දැක්කා වියත් මඟ වැඩසටහනකදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉස්සරහා තියාගෙන හිටපු හමුදා නිලධාරියෙක් කියනවා, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට දායකවන අයට 88/89 වගේ, මිනී පෙට්ටිය දණහිසෙන් ඉහළට ඔසවාගෙන යන්න නොදුන්නා වගේ කරන්න ඕනෑ ලු. ඔය කියන කාරණයේ අමාරුව මම දන්නවා. මොකද මගේ ඥාතීන් දෙදෙනෙක් මරලා දැම්මා.

ඔවුන්ගේ මිනී පැදුරේ දාගෙන දණහිසෙන් ඉහළට ඔසවන්නෙ නැතිව මාරස්සන නගරය හරහා සුසාන භූමියට අරන් ගියා. එහෙම දේවල් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ප්‍රධාන සහායකයින් කියන්නේ. සරත් වීරසේකර කියලා තිබුණා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දායක වන හැමෝටම නඩු අහලා ද්‍රෝහීන් ලෙස මරණ දඬුවම දෙන්න ඕනෑ කියලා. ඒ නිසා ආණ්ඩුවක් ගත්තොත් අධිකරණයට මොනවා වේවිද කියලා අපට හිතා ගන්න පුළුවන්. තේනුවර සහ වියන්ගොඩ යන දෙදෙනාට දැන් තියෙන තර්ජනය අලුත් දේවල් නෙවෙයි. මටත් අමෙරිකානු දුරකථනයකින් තර්ජන එල්ල වුණා.

ඒවා මම පාර්ලිමේන්තුවේදී කිව්වා. මේ රඟදැක්වෙන්නේ පරණ කතන්දරයක් ම තමයි. මේ දෙන්නාට දෙන බෙහෙත සුදු වෑන් කියලා කෙළින්ම කියනවා. මේ එන්නේ ෆැසිස්ට් මාදිලියේ තර්ජනයක්. ඒ නිසා මේ තර්ජනය පරාජය කිරීමට වාමාංශික කඳවුරට තද බල වුවමනාවක් තියෙනවා. වත්මන් රජයට බරපතළ චෝදනා තිබුණත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් තිබෙනවා. ඒ නිසා අපි කුමන ආකාරයට ඡන්දය භාවිතා කළත්, ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කරන්න ජනතාවට කියන්නේ. පුද්ගලයා වශයෙන් නොවෙයි, ඔහු පිටුපස තිබෙන අධිකාරිවාදී පාලන ක්‍රමය පරාජය කරන එකයි.

(දිනමිණ  පුවත්පතෙහි  21වන සඳුදා  පළ වූ සාකච්ජාවක් ඇසුරෙන් සංස්කරණය කරන ලද ලිපියකි)

 

Archive

Latest news

Related news