‘හොඳට නරකට දෙකට කටමය’ යන කියමන වඩාත්ම සත්‍ය වනුයේ දේශපාලකයන් සම්බන්ධයෙනි. දේශපාලකයන් කට නිසා කරදරේ වැටීම පිළිබඳ නුදුරුම උදාහරණය එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ‘ශ්‍රී මුඛ’ කථාවයි.
කෙසේ වෙතත් තමාගේ ‘කට’ හඟවන්නට ‘ශ්‍රී මුඛය’ යැයි කියැවීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා ගාලු මුවදොර රැලියේදී ජාතියෙන් බැගෑපත්ව සමාව ඉල්ලා සිටියේය. තමා අතින් වරදක් වූ බව පිළිගැනීමත්, ඊට ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටීමත් මෙරට බොහෝ වත්මන් දේශපාලකයන් තුළ නැති යහපත් ගුණාංගයකි. සජිත් ප්‍රේමදාස මහතාගේ කථාව විවේචනය කළාක් මෙන්ම ඔහු තමා අතින් වූ වරදට සමාව ඉල්ලා සිටීම අගය කිරීමද කළ යුත්තේ එහෙයිනි. යම් සංයමයකින් යුතුව වචන හැසිරවීමේ වැදගත්කම මේ සිද්ධියෙන් සජිත් ප්‍රේමදාස මහතාට අවබෝධ වූවා නම්, එය ඔහුගේ ජනපතිවරණ සටනට ආශීර්වාදයක් වනු නියතය.
කට නිසා සජිත් ප්‍රේමදාස මහතාට වූ අකරතැබ්බය ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතියේදී අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට නම් සිදු නොවනු ඇත. මන්ද: ඔහු මේ දිනවල කථා කරනුයේ ටෙලිප්රොම්ප්ටරයක ආධාරයෙන් පමණක් වන බැවිනි. ඔහු මාධ්‍ය හමුවලට සහභාගි වන්නේ වත්, මාධ්‍යවේදීන් නඟන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නේ වත් නැති බව කවුරුනුත් දන්නා කරුණකි.
මෙවර ජනපතිවරණයට මුහුණ දෙන සියලු ප්‍රධාන අපේක්ෂකයන්ගේ සංවාදාත්මක හමුවක් මෙමස 5 දා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මුලින් මේ හමුවට සහභාගි වීමට පොරොන්දු වී සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා අවසන් මොහොතේ එය මඟහැරියේ ටෙලිප්‍රොම්ප්ටරයක් නැතිව කථා කිරීමට ඇති අකැමැත්ත නිසා විය හැකිය.
ජනපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේදී එලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පරිස්සම් වීම බුද්ධිගෝචරය. මන්ද යත්: කට වරදවාගැනීම සම්බන්ධයෙන් ඔහුට සජිත් ප්‍රේමදාස මහතට වඩා ඉතා දීර්ඝ, බරපතළ ඉතිහාසයක් ඇති බැවිනි.
ස්ථානීය ප්‍රකාශ සිදු කිරීම් සීමා කිරීමේ යථාර්ථය
තම බිරියට ස්විට්සර්ලන්තයෙන් බලු පැටවකු ගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් යානයක් විශේෂ ගමනක යෙදවීමට ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග දුන් බවට වාර්තා වූයේ 2012 මැද භාගයේය. එවකට ‘සන්ඩේ ලීඩර්’ පත්‍රයේ කර්තෘ ෆ්‍රෙඩ්රිකා ජෑන්ස් මහත්මිය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දුරකතනයෙන් කතා කළේ ඔහුගෙන් මේ ගැන විමසීමටය. ගෝඨාභය මහතා සහ ජෑන්ස් මහත්මිය අතර ඇති වූ කථෝපකථනය මුළුමනින්ම 2012 ජූලි 8 වැනිදා සන්ඩේ ලීඩර් පුවත්පතේ පළ විය (මේ සම්පූර්ණ දෙබස අදද අන්තර්ජාලයේ කියවිය හැකිය). ජෑන්ස් මහත්මියගේ ප්‍රශ්න කිරීමෙන් කෝපාවිෂ්ට වූ ගෝඨාභය මහතා අවස්ථා කිහිපයකදීම ඇයට අසැබි වදනින් බැණවැදුණේය. ‘අසූචි කනා ඌරා’ යන්න ඔහු භාවිත කළ වචනවලින් ඉතා සැර බාල යෙදුමයි. එපමණක් නොව, ජෑන්ස් මහත්මිය සිරගත කරන බවටද ඔහු තර්ජනය කළේය: (“But I will put you in jail”).
ඉදින් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා වීම දකිනු රිසි ඔහුගේ හිතවතුන් ඔහු ටෙලිප්රොම්ප්ටරයකට සීමා කිරීම ඥානාන්විත පියවරක් නොවේද?
ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍යවේදියකුගේ ප්‍රශ්න කිරීම්වලින් කෝපාවිෂ්ටව කට වරදවාගත් තවත් ප්‍රකට අවස්ථාවක් වූයේ BBC රූපවාහිනී සේවාවේ HARD talk නම් වැඩසටහනයි. 2010 ජූනි 7 දා විකාශය වූ මේ වැඩසටහනේදී සුදු කොඩි සිද්ධිය සම්බන්ධයෙන් ජෙනරල් සරත් ෆොන්සේකා කළ ප්‍රකාශයක් පිළිබඳව මාධ්‍යවේදි ස්ටීවන් සැකර් මහතා ගෝඨාභය මහතාගෙන් ප්‍රශ්න කළේය. සුදු කොඩි සිද්ධිය පිළිබඳ සම්පූර්ණ සත්‍යය හෙළිදරවු කිරීමට තමා සූදානම් යැයි ෆොන්සේකා මහතා කියූ බව ඇසූ ගෝඨාභය මහතා දුම්මල වරම අතට ගත් කපුවා මෙන් පරල වූයේය. “ඔහු ඒක කළොත් අපි ඔහුව එල්ලනවා” (“We Will hang him if he do that”) යැයි හේ තර්ජනය කළේය.
මේ යථාර්ථය දන්නා මෙරට වසන බොහෝ දේශීය මාධ්‍යවේදීන් ඔහුගෙන් වැඩිමනත් ප්‍රශ්න ඇසීමෙන් වැළකී සිටිය හැකිය. එහෙත් විදේශීය මාධ්‍යවේදීන් එසේ නොවන නිසා ඔවුන්ට එවැනි සැක සංකා නැත. ඔවුන් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අසීරු ප්‍රශ්නයක් ඇසුවොත් හා ඔහු ඊට සුපුරුදු ලීලාවෙන් ප්‍රතිචාර දැක්වුව හොත් ඉන් ඔහුගේ ‘විනය ගරුක’ හා ‘නීති ගරුක’ ප්‍රතිරූපයට වන හානිය ඔහුගේ හිතවතුන් දන්නවා නිසැකය. ඉදින් ජනාධිපතිවරණය නිමා වන තෙක් ඔහුව ටෙලිප්රොම්ප්ටරයකට සීමා කිරීමට ඔවුන් උත්සුක වීම අරුමයක්ද?
අනාගත ජනපති නඩුකාරයා වීමේ අභාග්‍යය
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මංගල ජනපතිවරණ ප්රචාරක රැළිය පැවැත්වුණේ අනුරාධපුරයේය. එහිදීද ඔහු කථා කළේ ටෙලිප්‍රොම්ප්ටරයේ ආධාරයෙනි.
ඔහුගේ කථාව කලින් ලියූවක් නිසා එහි ආවාට ගියාට කියූ කිසිවක් අඩංගු විය නොහැකිය. එහි අන්තර්ගතය ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඔහුගේ ප්‍රචාරණ ව්‍යාපාරයේ මෙහෙයුම්කරුවනුත් කියවා අනුමත කරන්නට ඇත. එබැවින් එහි කිසිදු කොටසක් කට මැත දෙඩීමක් ලෙස සලකා බැහැර කළ නොහැකිය.
තම කථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයක් ශ්‍රී ලංකාවේ හා ලාංකිකයන්ගේ අනාගතයට ඍජුවම බලපාන්නකි. ඒ මෙසේය:
“… රණවිරුවන් විශාල ප්‍රමාණයක් හිරගෙවල්වල ඉන්නවා අභූත නඩු චෝදනා ඉදිරිපත් කරලා. මං මේ අවස්ථාවේ කියන්න කැමතියි 17 වැනිදා උදේ වෙන කොට මේ සියලු දෙනාම නිදොස් කොට නිදහස් කරනවා කියන එක.”
මුලින්ම කිව යුත්තේ රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය සත්‍යයෙන් තොර බවයි. රණවිරුවන් විශාල ප්‍රමාණයක් සිරගෙවල නැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තවමත් රිමාන්ඩ් භාරයේ සිටිනුයේ නාවික හමුදා සාමාජිකයෝ 7 දෙනෙක් පමණි.
2015 සිට මේ දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණු මුළු හමුදා සාමාජික ප්‍රමාණය 48කි. එයින් 41ක්ම මේ වන විට ඇප ලබා රිමාන්ඩ් භාරයෙන් මිදී සිටිති.
පළමු කොටම: එලෙස අත්අඩංගුවට පත් කිසිවෙක් යුද්ධ භූමියේ හෝ යුද්ධයට සම්බන්ධ සිදුවීමක් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෝ නොවෙති. ඔවුන් චෝදනා ලබා ඇත්තේ පුද්ගල පැහැරගැනීම්, අතුරුදන් කිරීම්, පහරදීම්, වෙඩි තැබීම් වැනි රටේ සාමාන්‍ය නීතිය යටතේ වන අපරාධ සම්බන්ධයෙනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2015 සිට අත්අඩංගුවට ගැනුණු හමුදා සාමාජිකයන් 48 දෙනාගෙන් 7 දෙනකුට එල්ල වූ චෝදනාව 2008-9 කාලයේ තරුණයන් 11 දෙනකු කප්පම් සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමයි. දෙදෙනකු චෝදනා ලැබ ඇත්තේ ලලිත් හා කූගන් යන දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනා (මොවුහු කොටි සාමාජිකයෝ නොවෙති) අතුරුදන් කිරීම සම්බන්ධයෙනි. එක් හමුදා සාමාජිකයකු ලසන්ත වික්‍රමතුංග පුවත්පත් කතුවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද හමුදා සාමාජිකයන් 11 දෙනකු ප්‍රගීත් එක්නැළිගොඩ මාධ්‍යවේදියා අතුරුදන් කිරීම සම්බන්ධයෙන්ද චෝදනා ලැබ සිටිති. හමුදා භටයන් 7 දෙනකු අත්අඩංගුවට පත් වූයේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කතුවර උපාලි තෙන්නකෝන් මහතාට හා ඔහුගේ බිරියට පහර දීම සම්බන්ධයෙනි. හමුදා සාමාජිකයෝ 4 දෙනෙක් රතුපස්වල නිරායුධ උද්ඝෝෂකයන් වෙඩි තබා මරාදැමීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටිති.
ඉදින් එළැඹෙන නොවැම්බර් 17 උදෑසන ගෝඨාභය රාජපක්ෂ මහතා කරන්න සැරසෙනුයේ කුමක්ද? පිරිසුදු පානීය ජලය ඉල්ලා සාමකාමි උද්ඝෝෂණයක යෙදුණු නිරායුධ වැසියන් ඝාතනය කිරීමේ චෝදනා ලැබ සිටින හමුදා සාමාජිකයන් ‘නිදොස් කොට නිදහස් කිරීමට’ ය. උපාලි තෙන්නකෝන් වැනි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකුට හා ඔහුගේ බිරියට පහර දීමේ චෝදනා ලත් හමුදා භටයන් ‘නිදොස් කොට නිදහස් කිරීමට’ ය.
යම් වරදක් සම්බන්ධයෙන් අධිකරණයක චෝදනා ලැබූවකු නිදොස් කොට නිදහස් කළ හැක්කේ අධිකරණයටම පමණි. එවැනි බලයක් මෙරට ජනාධිපතිවරයාට නැත. අධිකරණයක චෝදනා ලැබ සිටින්නකු ‘නිදොස් කොට නිදහස් කිරීමට’ ජනපතිවරයා උත්සාහ කළ හොත් එය මුළුමනින්ම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්ද වෙයි.
එනයින් යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා එළඹෙන ජනපතිවරණය ජය ගත හොත් ඔහුගේ ධුර කාලය ආරම්භ වනු ඇත්තේ ව්‍යවස්ථා විරෝධි ක්රියාවකිනි. ඔහුගේ මංගල කථාවෙන්ම පෙනී යනුයේ ව්‍යවස්ථාව, නීතිය, යුක්තිය, සාධාරණත්වය, සම්ප්රදාය තඹයකට නොසලකන, සර්වබලධාරි ‘මහ රජාණ’ කෙනකු බවට පත් වීම ඔහුගේ අරමුණ බව නොවේද?
ගෝඨාභය රාජපක්ෂ මහතා අනෙක් දේශපාලකයන් මෙන් ටෙලිප්‍රොම්ප්ටරයක් නැතිව ඉහත ප්‍රකාශය කළා නම් එය නොදන්නාකමට කළ කට මැත දෙඩවීමක් ලෙස බැහැර කිරීමට හැකියාව තිබිණි. එහෙත් ඔහු මේ බරපතළ මෙන්ම භයානක ප්‍රකාශය කළේ කලින් ලියා, කලින් කියවා බලා අනුමත කළ කථාවක කොටසක් වශයෙනි. එයින් ගම්‍යමාන වනුයේ ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ රටේ නීතියට, ව්‍යවස්ථාවට, අධිකරණයට අත් වන නිසැක ඉරණමයි.
රජකු ලැබුණෝතින්...?
1978 විධායක ජනාධිපති ව්‍යවස්ථාවෙන් හෝ විධායක ජනපති ධුරයේ බලතල තවත් වැඩි කළ 2010, 18 වන සංශෝධනයෙන් හෝ අධිකරණ බලය ජනාධිපතිවරයාට පවරා දුන්නේ නැත. ඉදින් ගෝඨාභය රාජපක්ෂ මහතා සැරසෙනුයේ ව්‍යවස්ථාවත් නීතියත් බේරේ වැවට දමා, අධිකරණ බලය බලහත්කාරයෙන් සියතට ගැනීමට නොවේද?
තම අණ ඉටු කළ හමුදා නිලධාරීන් ‘නිදොස් කොට නිදහස් කරන’ ජනපතිවරයකුගේ ඊළඟ පියවර වනු ඇත්තේ තම අණට අවනත නොවන්නවුන් සදොස් කොට සිරගත කිරීමය. මෙය ගෝඨාභය රාජපක්ෂ මහතාට අලුත් දෙයක් නොවේ. තම සොහොයුරාගේ පාලන සමයේ තම සතුරන්ට තැළීමටත් මිතුරන්ට සැලකීමටත් ඔහු නීතිය යොදාගත්තේය.
දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී තනතුරට පත් කෙරුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය දරන සමයේය. ආරක්ෂක අමාත්‍යාංශය අධීක්ෂණය කිරීමට කිසිදු සුදුසුකමක් ඒ මන්ත්‍රීවරයාට තිබුණේ නැත. ඔහුට තිබූ එකම සුදුසුකම වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිතවත්කමයි.
2011 පළාත් පාලන මැතිවරණය දා දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා හා ඔහුගේ අනුචරයෙන් කොළොන්නාව ආසනයේ දියත් කළ මැර යාත්‍රාව නිමා වූයේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාට හා තවත් දෙදෙනකුට මරු කැඳවමිනි. රාජපක්ෂවරුන්ගේ විනයත් නීතියත් දෙකම බලපානුයේ අනුන්ට විනා තමන්ට හා තම හිතවතුන්ට නොවන බව මේ සිද්ධියෙන් මනාව පැහැදිලි වේ. 2015 රාජපක්ෂවරුන්ට පාලන බලය අහිමි වන තෙක්ම දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා නීතියට ඉහළින් වැජඹුණේ රාජපක්ෂවරුන්ගේ බල පරාක්‍රමයේ මහිමයෙනි.
2011 දෙසැම්බර් 24 රාත්‍රියේ තංගල්ලේ සංචාරක හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයකු වූ කුරාමි ශයික් මහතා කපා–කොටා මරාදැමුවේ තවත් රාජපක්ෂ හිතවාදියකු මෙන්ම එවකට තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වූ සම්පත් විදානපතිරණ හා ඔහුගේ මැර කණ්ඩායමයි. මේ අධම රැල එතනින් නතර වූයේ නැත. ඔවුහු කුරාම් ශයික් මහතාගේ රුසියානු පෙම්වතිය සමූහ දූෂණයට ලක් කළහ.
ශයික් මහතා බ්‍රිතාන්‍ය ජාතිකයකු වීම නිසා සිද්ධිය යට ගසා තම අනුචර මැරයන් ‘නිදොස් කොට නිදහස් කිරීමට’ රාජපක්ෂ සොහොයුරාට නොහැකි වූයේ, එසේ කළ හොත් 2012 කොළඹදී පැවැත්වීමට නියම වූ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව අවලංගු වීමේ අවදානමක් තිබීම මීට හේතුවෙනි.
මිනීමැරුම යට ගැසීමට නොහැකි තැන සමූහ දූෂණ චෝදනාව යට ගැසීමට රාජපක්ෂවරු උත්සාහ කළහ. කුරාම් ශයික්ගේ පෙම්වතිය සමූහ දූෂණයට ලක්ව නැතැයි දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඒ සම්බන්ධයෙන් එවකට විපක්ෂය විරෝධය පළ කළ විට ඔහුගේ ප්‍රතිචාරය වූයේ තමාට මේ ප්‍රකාශය ලබා දුන්නේ ආරක්ෂක අමාත්‍යාංශය බවයි. තමාගේ අනුචරයකු සමූහ දූෂණ චෝදනාවෙන් නිදොස් කරගැනීමට රාජපක්ෂවරුන් එදා උත්සාහ කළේ ඒ ආකාරයටය.
නොවැම්බර් 17 දා ‘රණ විරුවන්’ නිදොස් කොට නිදහස් කරනවා යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා දුන් ප්‍රතිඥාවෙන් ගම්‍යමාන වනුයේ මේ අතීතය යළි ප්‍රතිනිර්මාණය කිරීමට ඔහු අරමුණු කරන බව නොවේද?
තමන් විනයානුකූල පාලනයක් ගෙනගිය බවත්, 2015 ආණ්ඩු මාරුවෙන් පසු විනය පිරිහුණු බවත් රාජපක්ෂවරුන් නිතර කියන කථාවකි.
2015ට පසු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මහ පාරේ මිනී මැරුවේ නැත. 2015ට පසු ප්‍රාදේශීය සභා සභාපතිවරුන් විදෙස් සංචාරකයන් මරාදැමුවේ, සමූහ දූෂණ සිදු කළේ නැත. 2015ට පසු ඇමැතිවරුන් රජයේ සේවකයන් ගස් බැන්දේ නැත. 2015ට පසු ඇමැති පුතුන් හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ට පහර දුන්නේ නැත. 2015ට පසු විනිසුරන්ට මහ පාරේදී මැර ප්‍රහාර එල්ල වූයේ නැත. 2015ට පසු හිටපු හමුදාපතිවරයකු සතකු මෙන් ඇදගෙන ගොස් සිරගත කෙරුණේ නැත.
ජනාධිපති ධුර අපේක්ෂකයකු කරන වැරදිකරුවන් හා නිවැරදිකරුවන් තීරණය කිරීමේ අධිකරණ බලය සියතට ගන්නා බවට වන මේ ප්‍රකාශය මේ රටේ නීතිවේදීන්ගේ හා විනිසුරන්ගේ මතු නොව, පුරවැසියන් වන අපගේද අවධානයට ලක් විය යුතුය.
තම හිතුමතයට චුදිතයන් ‘නිදොස් කොට නිදහස් කිරීමේ’ බලය වත්මන් ලෝකයේ ජනපතිවරුන්ට තබා රජුන්ට හෝ රැජනන්ට වත් නැති බලයකි. 21 වන සියවසේ එවැනි බලයක් සහිත රාජ්‍ය නායකයකු සිටිනවා නම් සිටිනුයේ ලොව ඉතා පසුගාමි රාජ්‍යයක් වන සවුදි අරාබියේ විය යුතුය. තම හිතුමතයට රට වැසියන් සදොස් හෝ නිදොස් කිරීමේ බලය සහිත රාජ්‍ය නායකයන් සිටියේ අතීතයේය. ඇහැළේපොළ නිලමේ කළ වරදට ඔහුගේ පුතුන්ගේ හා සිඟිති දියණියගේ හිස් ගසා–දැමෙවුවේත් ඔහුගේ බිරිය හා සොහොයුරිය දියෙහි ගිල්වා මැරෙවුවේත් එවැනි සර්ව බලධාරි රාජ්‍ය නායකයකු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුය.
2009-15 සමයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ‘මහ රජාණෙනි’ යැයි ආමන්ත්‍රණය කළ වන්දිභට්ටයෝ බොහෝ වූහ. නොවැම්බර් 17 උදෑසන විවිධ අපරාධ චෝදනා ලැබ සිටින හමුදා සාමාජිකයන් 48 දෙනා ‘නිදොස් කොට නිදහස් කරනවා’ යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා දුන් ප්‍රතිඥාවෙන් පෙනී යනුයේ රාජ උන්මාදය ඔහුටත් වැලඳී ඇති බව නොවේද?
ජනපතිවරණය ජය ගත හොත් තමාටත් රජ විය හැකි යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා සිතා සිටීද? ඒ සිතිවිල්ල ක්‍රියාවට නැඟීමට ඔහු උත්සාහ කළ හොත් නිර්මාණය වනු ඇත්තේ සාමකාමි, විනයගරුක රටක් නොව; ප්රචණ්ඩත්වය හා අවනීතිය රජයන ශ්‍රී ලංකාවක් බව අමුතුවෙන් පැවසිය යුතුද?
(සිළුමින)