Saturday, May 4, 2024

උදා කර ගත් නිදිහස රැක ගැනීමට සජිත් දිනවමු! – සුනිල් ජයසේකර

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අංශු මාත්‍රයක හෝ හැගීමක් නොමැති ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි අයකු බලයට පත්වුවහොත් හිට්ලර් පන්නයේ පාලනයක් රට තුළ නිර්මාණය වීම කිසිසේත් වැළැක්විය නොහැකි බව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මාධ්‍යවේදීන්ගේ සංවිධානය පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන මාධ්‍යවේදින්ගේ සංවිධානය පසුගියදා කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව අනාවරණය කෙළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදින්ගේ සංවිධානයේ සම කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් ජයසේකර මහතා මෙසේද පැවසීය.

මෙවර ජනාධිපතිවරය තීරණාත්මක වන බවත් දිනු නිදහස , ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පත්කර ගත යුතුයි. ඒ වෙනුවෙන් සියලු දෙනා සිය දායකත්වය ලබාදිය යුතුයි.

පසුගිය ආණ්ඩුව පළවා හරිමින් 2015 වසරේ ජනවාරි අට වැනිදා අපි වත්මන් ආණ්ඩුව බලයට පත්කළා. වසර ගණනාවක් අහිමි වී තිබූ ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස වත්මන් ආණ්ඩුව බලයට පත්කර ගනිමින් රටතුළ ස්ථාපිත කරන්නට හැකිවූවා. ඇති කර ගැනීමට හැකි වූ ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස , ලිවිමේ කතාකිරිමේ නිදහස අපි තවදුරටත් ආරක්ෂා කරගත යුතු වෙනවා. උදාකර ගත් නිදහස තවදුරටත් ආරක්ෂා කර ගැනිමේ අපේක්ෂාවෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වන මාධ්‍යවේදීන්ගේ සංවිධානය නමින් සංවිධානයක් අපි පිහිටුවනු ලැබුවා. ඒ සංවිධානය සඳහා සෑම මාධ්‍ය ආයතනයක්ම නියෝජනය කරන මාධ්‍යවේදීන් අපි සමඟ අත්වැල් බැඳගෙන සිටිනවා. අපි සියළු දෙනාගේම කැපවිමෙන් දිනාගත් නිදහස අපි ආරක්ෂා කර ගත යුතුයි.

මේ මොහොතේදී අපි සියලු දෙනාම ගත කරන්නේ රට තීරණාත්මක මොහොතකට පත්ව ඇති අවස්ථාවකයි. ඉදිරි වසර පහක කාලය සඳහා ජනාධිපතිවරයෙක් තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ජනාධිපතිවරණය ලබන මාසයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ වගේම මෙවර ජනාධිපතිවරණය තීරණාත්මකයි. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මාධ්‍යවේදීන් ලෙස අපිත් ජයග්‍රහණ රැසක් ලබා තිබෙනවා. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත , මාධ්‍ය නිදහස ලබා ගැනීමට හැකිවීම, සුදු වෑන් සංස්කෘතිය අවසන් කිරීමට හැකිවීම , ආදිය ඉන් කිහිපයක්. ඒ වගේම පසුගිය පාලනය සමයේදී වගේ නොවෙයි , අදවන විට මාධ්‍යවේදීන් ඝාතනය වන්නේ නැහැ. පහර දෙන්නේ නැහැ.අතපය කඩන්නේ නැහැ. අද වනවිට සමස්ථ රටවැසියාට ප්‍රජාතන්ත්‍රවාදය වගේම , මාධ්‍යවේදීන්ට මාධ්‍ය නිදහස තිබෙනවා. අප ලබාගත් නිදහස අපි ආරක්ෂා කරගත යුතුයි. මෙවර ජනාධිපතිවරණයේදී මාධ්‍යවේදින් වන අප පමණක් නොව සමස්ථ රට වැසියාම නිවැරදී තින්දුවක් ගත යුතුයි. එසේ නොවුනොත් සිදුවන්නේ අප ලබාගත් නිදහස , ප්‍රජාතන්ත්‍රවාදය නැවත අහමි විමයි. ඒ නිසා නිවැරදි තීන්දුවක් වෙනුවෙන් රට යොමු කිරීම සඳහා මාධ්‍යවේදීන් වන අපි සියළු දෙනා එක්විය යුතුයි. ඒ වෙනුවෙන් ජනතාව පෙළගැස්විය යුතුයි. පසුගිය දශක කිහිපය තුළ පුරවැසියන් ලෙස අපි අත්දුටු බොහෝ දේවල් තිබෙනවා.අපි සියලු දෙනාම පාහේ අත්දුටු ඒ දේවල් මතක් කරන විට මේ තීරණාත්මක මොහොතේ දී අපගේ මැදිහත්වීම ඉතා වැදගත්. පසුගිය පාලන සමයේදී මාධ්‍යවේදීන් ට සිදු වූ හිරිහැර කාටවත් අමතක නැහැ. මාධ්‍ය ආයතන දැවැන්ත තර්ජනයකට ලක් වුණා. අතුරුදන් වුණා. සමහර මාධ්‍යවේදින් අදටත් අතුරුදන්.මේ දේවල් වෙනුවෙන් අපි සටන් කළා. ඒ නිසාම අපගේ බොහෝ මාධ්‍යව්දීන්ට විවිධ හිරිහැරවලට ලක් වෙන්නට සිදු වුණා. ඇතැම් මාධ්‍යවේදීන්ට රට අතහැර විදෙස් ගතව ජිවත් වන්නට සිදු වුණා. මමත් එවැනි බිහිසුණු අත්දැකීම්වලට ලක්වූවා. ඒ නිසා මෙවර ජනාධිපතිවරණය තීරණාත්මකයි. බොහෝ කැපවීම් කරමින් දිනාගත් නිදහස , ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමේ වගකිම වෙනුවෙන් කොන්දේසී විරහිතව කැපවීමේ වගකීම අපි සියලු දෙනාම වෙත පැවරෙනවා.

අපි සියලු දෙනා විවිධ කැප කිරිම් සිදුකරමින් බලයට පත්කළ වත්මන් ආණ්ඩුව විසින්ද අපි අපේක්ෂා කළ බොහෝ දේවල් සිදු වූයේ නැහැ. විශේෂයෙන්ම මාධ්‍ය වේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු විවිධ මාධ්‍යවේදින්ට සිදු කළ පහරදිම් සම්බන්ධයෙන් සිදුවන පරික්ෂණ පිළිබඳව අපට සතුටු වන්නට බැහැ. මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් විහාල පිරිසක් ඉදිරිපත් වෙනවා. ගෝඨාභය රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස , අනුර දිසානායක, මහේෂ් සේනනායක වැන්නවුන් ඒ අතරින් ප්‍රධානයි. අනුර දිසානායක වැනි අපේක්ෂකයන් පෙනි සිටින්නේ වාමාංශික කඳවුර වෙනුවෙන්. ගෝඨාභය රාජපක්ෂ පසුගිය පාලන සමය තුළ සිදු කළ දේවල් අපි කාටවත් අමතක නැහැ.ගෝඨාභය රාජපක්ෂ වැනි චරිතයක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරිමම ගැටලු සහගතයි. අතිවිශාල චෝදනා සමුදායක් එල්ල වී ඇති ගෝඨාභය රාජපක්ෂ වැන්නෙක් ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරිම ඒ පක්ෂය පිළිබඳව ජනතාවට තේරුම් ගන්නට ප්‍රමාණවත්. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අබමල් රේණුවක තරම්වත් හැගීමක් තිබෙන උදවිය ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මේ රටට , මාධ්‍යවේදීන්ට සිදු කළ දේවල් අපට අමතක නැහැ. ඒ නිසා මේ ජනාධිපතිවරණයේ දී අපි තෝරාපත් කර ගත යුත්තේ රටට සුදුසුම අපේක්ෂකයායි. ඒ සඳහා සුදුසුම අපේක්ෂකයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතායි. අපි කවුරුත් සජිත් ප්‍රේමදාස මහතාගේ අනුගාමිකයින් නොවෙයි. නමුත් අපි දිනාගත් නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සුදුසුම නායකයා වන්නේ එතුමා බවයි අපගේ මතය.

දිනමිණ පුවත් පතින් උපුටා ගැනුණී

Archive

Latest news

Related news