ලාංකිකයාගේ ජන ජීවිතය තුළ දිනපතාම වැඩෙන ඛේදවාචක තත්ත්වය එක් සිද්ධියකින් කෙටියෙන් සදහන් කළ හැකිය. දැන් රෝහලකට ශල්‍යකර්මයක් සඳහා යන පුද්ගලයෙකුට වෛද්‍යවරුන් නියම කරන්නේ ඔහුගේ ශල්‍යකර්මයෙන් පසු දැමෙන මැහුම් වලට උඩින් දමනු ලබන ප්ලාස්ටර් පටියත් පුද්ගලික ආයතනයකින් ගෙන එන ලෙසය. මේ සා ප‍්‍රමාණයකට රජයේ රෝහල් තුළ සේවයක් පතා එන සාමාන්‍ය ජනතාව පිටම වෛද්‍ය ප‍්‍රතිකාර වල වියදමද පැටවීම කොතෙක් දුරට ලාංකීය සමාජය තුළ අමානුෂිකත්වයක් පැතිරෙමින් පවතින්නේද යන්න පිළිබඳව ඉතා පැහැදිළි පිළිබිඹුවකි. මෙවැනි දසදහසකුත් සිද්ධීන් ජීවිතයේ සියලූම අංශයන් තුළ පැතිරෙමින් තිබීම ලාංකික ජන ජීවිතයේ මූලිකම අත්දැකීම බවට පත්වෙමින් පවතී. අතීතයේදී ජන ජීවිතය පිළිබදව නිර්මාණය වූ සාහිත්‍ය තුළින් කියැවෙන්නේ ලාංකික සමාජයන්හි පැවති ජන සම්බන්ධයන් පිළිබඳව ඇති අලංකාරාත්මක චිත‍්‍රයකි. ජනකවි හා ජනකතා මගින් ජීවිතයේ වවිධ ගැටලූ මැද වුවත් මානුෂික ජීවිතයන් ගෙවන මිනිසුන් පිළිබඳව විචිත‍්‍රාත්මක වූ වර්ණනයක් සිදු කොට ඇත. එම කවි වල සුන්දරත්වයක් ඇත. එම කතා වලද සුන්දරත්වයක් ඇත. එම කතා වලට මූලික පදනම සැලසූ සාමාන්‍ය ජන සම්බන්ධකම් තුළද අලංකාරයක් පැවතිනි.
අලංකාරයක් පැවතීම යන්නෙන් අදහස් වන්නේ ප්‍රශ්ණ නොතිබුනාය යන්නවත් ගැඹුරු දුක් කරදර වලට ජනතාවට මුහුණ දීමට සිදු වුනේ නැති බවක් හෝ නොවේ. ගැඹුරින් පවතින කරදර හා දුක ජන ජීවිතයෙන් වෙන් කර හඳුනාගත නොහැක. එසේ තිබියදීත් පැවතුණු සමස්ථ වාතාවරණය තුළ මානුෂික ආකාරයකින් එම දුක් කරදර වලට මුහුණ දී ඒවාට යම් විසඳුම් ලබා ගැනීම මෙන්ම එකිනෙකාගේ ආදරය හා අනුකම්පාවේ පැවැත්ම නිසා ජන ජීවිතය දරා ගත හැකි එකක් හැටියට පැවතියේය.
වර්තමානයේත් පෙනෙන්නට ඇති ආකාරයට ඉදිරි අනාගතයෙත් ලාංකීය ජනතාවට මුහුණ දීමට සිදු වන්නේ එවැනි තත්වයකට නොවේ. ජන ජීවිතය තුළට දරා ගත නොහැකි ප‍්‍රමාණයේ හා විසඳා ගත නොහැකි ප‍්‍රමාණයේ විශාල ගැටලූ හා අර්බුධ දැන් ඇතුළු වී ඇත. සාගින්නෙන් දරුවෙකු මියයෑම පිළිබඳව වෛද්‍යවරුන් විසින්ම පිළිගෙන නිකුත් කරන ලද වාර්තාවක් දැන් ටික කාලයකට පෙර වාර්තා වූ අතර එය ලංකාවේ සාමාන්‍ය ජනතාවගේ සියල්ලන් තුළම වර්තමාන තත්ත්වය පිළිබඳව අවබෝධයක් ඇති කළේය. අවාසනාවකට මෙන් වාර්තා වන දේට වඩා වාර්තා නොවන දේ ලංකාවේ බොහෝ සේ වැඩිය. පත්තර කලාව හා විකාර දේශපාලන පැවතීම් අතර ඇති වී ඇති සම්බන්ධය නිසා බොහෝ විට මාධ්‍යය තුළින්ද ප‍්‍රකාශයට පත්වන්නේ විකාරරූපී වාර්තාය. ඇත්තෙන්ම මාධ්‍ය ජන ජීවිතයට විහිළු කරන තත්වයක් දැන් ලංකාව පුරා පවතී.
පත්තර වල වාර්තා නොවූවත් රටේ සිදුවන සිදුවීම් හා ජනජීවිතය මුහුණදෙන ගැටලූ පිළිබඳව ජනතාව තුළ මහා පරිමාණ අවබෝධයක් ඇත. දේශපාලනඥයන් විසින් කරන කවට කතා මගින් හෝ මාධ්‍ය මගින් කරන කුහක වාර්තාකරණය තුළින් හෝ ජන සිත තුළ ඇති ගැඹුරු කම්පනය මකා දැමීමට බැරිය. එම කම්පනය දිනෙන් දිනම වැඩි වෙමින් පවතී. ප්‍රශ්න මැද වුවත් ජන ජීවිතයේ අලංකාරයක් පැවතුනු කාලයක් තුළ මිනිසුන් හා ගැහැණුන් ඔවුන්ගේ සිත් සතන් සනසා ගන්නේ සමාජය තුළින්ම පැනනැගෙන අනුකම්පාව හා මානව දයාවේ ප්‍රකාශනයන් තුළිනි.
මොනයම් අමාරුකම් තිබුනා වූවත් අපගේ සමාජය තවමත් මානුෂික වශයෙන් පවතින්නේය යන හැඟීම ජනතාව තුළ තිබේ නම් ඔවුන්ට තමුන්ගේ ප‍්‍රශ්න විසඳා ගැනීම සඳහා ධෛර්යසම්පන්නභාවයක් එම හැඟීම් වලින් පහළ කරයි. එහෙත් එවැනි අනුකම්පාවක් හෝ දයාවක් නැතිවන තරමටම ප‍්‍රශ්න ගැඹුරු වීමට පටන් ගත් කළ බොහෝ දුරට ඇතිවන්නේ සමාජය තුළ සෑම කෙනෙක්ම මානුෂිකව හා ආධ්‍යාත්මිකව තුවාල වුනු තත්ත්වයකට පත්වීමය. තුවාල වූ මානසික හා ආධ්‍යාත්මික තත්වයක් රටතුළ පැතිරෙන විට ඒ සමඟම සිදු වන්නේ එම තුවාල සුවපත් කිරීමට කිසියම් ආකාරයක මගක්ද නැති හෙයින් මෙම තුවාල තව තවත් කුණු වී දුර්ගන්ධයට පත් වී වැඩිවැඩියෙන් කරදර වලට මුහුණ දෙන්නට වනවාය යන හැඟීම ජන මනස තුළ පැළපදියම් වීමය. මෙසේ අසරණභාවයට පත් කරන ලද මිනිසුන් තුළ සමාජය ගැනම කළකිරීමක් හා බොහෝ විට වෛරයක් පවා වර්ධනය වේ. සුහදභාවය තුළින් මතුවන සහයෝගය තුළින් හා එකිනෙකාට එකිනෙකාගෙන් ආධාරයක් හෝ වචනයෙන් හෝ දිරිගැන්වීමක් තවදුරටත් නොපවතින බව දැනෙන තරමට එක් එක් පුද්ගලයා තුළ පමනක් නොව සමස්ථ සමාජය තුළම ඇති වන්නේ අමානුෂික වාතාවරණයක ගඳ ඔවුනට දැනෙන්නට පටන් ගෙන තිබෙනවාය යන්න පමනි.
වර්තමානයේ පවතින මෙම දුර්ගන්ධයත් සමඟ බීජයක් ඇති වීම සිදුවන්නේ දැන් පවතින තත්ත්වයට වඩාත් නරක තත්ත්වයක් අනාගතයේදී ඇති වන බව පිළිබඳව ජන මනසේ ඇති වන අවබෝධය තුළිනි. සාගතය, වසංගතය හා විවිධාකාර මර්දන තුළින් තමන්ගේ උන්හිටි තැන් පවා නැතිවීම මෙන්ම තමන්ගේ දරුවනට අනාගතයක් සකස් කර දීම සඳහා ඔවුන් වෙත කළ යුතු යුතුකම් ඉටු කර ගැනීමට බැරි තත්ත්වයක් වැටහෙන ජනතාව තුළ ඇති වන කම්පනයේ පරිමානය පහසුවෙන් කියා විස්තර කළ නොහැක. එවැනි තත්ත්වයක් දැන් වර්ධනය වෙමින් පවතී.
මානව හිමිකම් පිළිබඳව විහිළු කරන තත්ත්වයකට ලංකාවේ දේශපාලනඥයන් මෙන්ම සමහර දක්ෂිණාංශික බලවේගයන් ද පෙළඹී තිබෙන ආකාරය දකින ජනතාව තුළ ඇති වන්නේ අනාගතය පිළිබඳව ඔවුන් තුළ ඇති භීතිය සනාථ කිරීමක් පමනි. මානව හිමිකම් පිළිබඳව වෛරයක් ඇති කිරීම සඳහා ප‍්‍රබල දේශපාලන කතිකයන් මතුවීම ලාංකික සමාජය තුළ සිදු වී ඇත්තේ කෙසේද යන ප‍්‍රශ්නය සොයා බැලීමේදී ඉතා පැහැදිළිව ප‍්‍රකාශයට පත් වන්නේ අමානුෂිකත්වය වැළඳගත් දේශපාලන විඥානයක් රටතුළ පැළපදියම් කිරීම මගින් ජන මනස තවත් අවුල් කර දමමින් හා ජනතාව තුළ එකිනෙකා පිළිබඳව ඇති අනුකම්පාව මරා දමමින් අමානුෂිකත්වය දේවත්වයට නගමින් තමන්ගේ වුවමනාකම් ඉටු කර ගැනීමට දඟලන අසික්කිත දේශපාලනයක් රටතුළ පවතිනවාය යන්න ජනතාව ග‍්‍රහණය කර ගැනීමක් පමනි.
මානව හිමිකම් ආරක්ෂා කිරීමට කරන උත්සාහය වෙනුවට දැන් සිදුවන්නේ මානව හිමිකම් නැති කිරීම පමනක් නොව මානව හිමිකම් පිළිබඳව පිළිකුළක් ඇති කිරීම සඳහා දියත්ව ඇති ප්‍රබල උද්ඝෝෂණ ව්‍යාපාරයකි. මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය වඩාමත් එල්ල වන්නේ මධ්‍යම පන්තිය වෙතය. රටේ මධ්‍යම පන්තිය තුළ ජන ජීවිතය පිළිබඳව යම් අවබෝධයක් හා ජනතාව මුහුණ දෙන ගැටලූ පිළිබඳව යම් වටහා ගැනීමක් ඇති කණ්ඩායම් තුළින් එම අවබෝධය තුරන් කර දැමීමටත් ඔවුන් නිරායුධ කර දැමීමටත් මෙවැනි දරුණු ප්‍රචාරයක් අවශ්‍ය වේ.
දරුණු ප්‍රශ්න ඇති සමාජ වාතාවරණයකට අවශ්‍ය වන්නේ සහයෝගීතාව හා අනුකම්පාව වර්ධනය කරමින් එකිනෙකා පිළිබඳ විශ්වාසය වැඩිදියුණු කරමින් පොදුවේ ප‍්‍රශ්න විසඳා ගැනීමට ඇති වුවමනාව හා අධෛර්ය එම සමාජය තුළ පැළපදියම් කිරීමය. දිරිමත් සමාජයකට ඕනෑම ගැටලූවකට ක්‍රමයෙන් මුහුණ දිය හැකි බවත් ඒ මගින් අඳුරු තත්ත්වයක් තුළ වුවත් යන්තම් හෝ එළියක් නිර්මාණය කර ගැනීමටත් ටිකෙන් ටික එම එළිය වැඩිකර ගැනීමෙන් ජන ජීවිතයේ ඇති සම්බන්ධතා තුළින්ම නැවතත් ජන මනස තුළ යම් අලංකාරයක් ඇති කිරීමට උත්සාහ කිරීමෙනි. එහෙත් ඒ වෙනුවට සිදුවන්නේ ජන මනස තව තවත් අධෛර්ය කරමින් කිසියම් හෝ සහයෝගීතාවයක් ඇති කර ගැනීමට නොහැකි තත්ත්වයකට එකිනෙකා බෙදමින් හා එකිනෙකාගේ දුක ඔවුන් මතම පටවමින් ජන ජීවිතය අවලස්සන කර දැමීමේ ප්‍රයත්නයකි.
මානව හිමිකම් රැකිය හැක්කේ සහයෝගීතාවයේ ධර්මතාවය සමාජය තුළ පවතිනතාක් පමනි. සහයෝගීතාවය ඇති කිරීමට උපයෝගී වන වාතාවරණය මරා දැමීම තුළින් ඇති වන එකම ප්‍රතිඵලය වන්නේ රට තව තවත් අඳුරට ගෙන යාමට පසුබිමක් සකස් කර ගැනීම පමනි. මේ පිළිබඳව අවබෝධයක් ජනතාව තුළ ඇති කළ යුතු වන්නේ එය මිනිස් පැවැත්ම රැක ගැනීමේ ඇති එකම උපක‍්‍රමය වන නිසාය. පැවැත්ම පවා රැක ගැනීමට බැරි තරමට අධෛර්යයක් හා උදාසීනත්වයක් සමාජය තුළ පැතිරවීමට උත්සාහ කරන ප්‍රචාරකවාදීන් තුළ ඇත්තේ කුමන ප්‍රමාණයක අමානුෂිකත්වයක් දැයි වටහා ගත යුතු කාලයක් පැමිණ ඇත.
එවැනි වටහා ගැනීමක් ඒ තුළින් නැවත වරක් සහයෝගීතාවයේ ධර්මතාවය ජන මනස තුළ වර්ධනය කර ගැනීමටත් ඒ මගින් කෙරෙන උපක‍්‍රමශීලී කටයුතු මගින් ජන ජීවිතය නැවත ගොඩනගා ගැනීමට දරන ප‍්‍රයත්නයත් මගින් ජන ජීවිතයේ නැතිව ගිය අලංකාරය ඇති කළ යුතු කාලයක් දැන් පහළව ඇත.