Thursday, May 2, 2024

ඇල්පිටිය ඡන්දයේ දිනුම පැරදුම කාටද? : අනුමාන කිහිපයක්

හෙට එනම් 11වන සිකුරදා ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරිමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව 53,384 කි. මැතිවරණ කොට්ඨාස 17 , ඡන්ද මධ්‍යස්ථාන 47 දී ඡන්දය ප්‍රකාශ කැරෙනු ඇත. පිළිගත් දේශපාලන පක්ෂ 5 කින් අපේක්ෂකයින් සංඛ්‍යාව 155 ක් තරඟ වඳිති. පත්වනු ඇත්තේ සභිකයින් 28කි.

2018 පෙබරවාරි මාසයේ පැවැති පලාත් පාලන මැතිවරණයේ දී ඇල්පිටිය මැතිවරණය පැවැත්වීම අධීකරණ නියෝගයකින් නතර කරන ලදී. එසේ නොවූයේ නම් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව ලෙහෙසියෙන්ම රාජපක්ෂවාදී පොදුජන පෙරමුණ විසින් දිනා ගන්නට ඉඩ තිබුණි.

එසේ වී නම් එහි ප්‍රතිඵලය අනුමාන කිරීම පිනිස ඒම ප්‍රාදේශීය සභාව අවට ඇති අනෙක් ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රතිඵල නියැදියක් ලෙස යොදා ගත හැක.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව අවට ඇති ප්‍රා.. හතරක ප්‍රතිඵල මෙසේ ය. ප්‍රථමයෙන් ලබා ගත් ජන්ද සඛ්‍යාවද එය දෙවනුව ප්‍රකාශිත ජන්ද ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙසද දක්වා ඇත. ජවිපෙ මෙම ප්‍රා..වන්හි දී 5% පමණ ඡන්ද ලබා ගත්තේය . ඒම සංඛ්‍යා පහත දක්වා නැත.

ශ්‍රීලනිප යනුවෙන් දක්වා ඇත්තේ එක්සත් නිදහස් ජනතා සංධානය ලබා ගත් ඡන්ද ප්‍රමාණය යි.

අම්බලන්ගොඩ ප්‍රා..

පොදු ජන පෙරමුණ 18749; 48.41%

එජාප 8957; 23.13%

ශ්‍රිලනිප 5900; 15.29%

කරන්දෙණිය ප්‍රා.. 40011

පොදු ජන පෙරමුණ 25115; 63.50%

එජාප 8197; 20.73%

ශ්‍රීලනිප 3547; 8.97%

බෙන්තොට ප්‍රා..

පොදුජන පෙරමුණ 14659; 46.31%

එජාප 8273; 26.14%

ශ්‍රීලනිප 3548; 11.21%

නියාගම ප්‍රා..

පොදුජන පෙරමුණ 11708; 47.75%

එජාප 7601; 31.00%

ශ්‍රීලනිප 3266; 13.32%

මේ අනුව බලන විට අපට පෙනෙන්නේ මෙම කලාපයෙහි රාජපක්ෂවාදී ඡන්ද පදනම සියයට පණහක් පමණ බවයි. ඇල්පිටියට ආසන්තම කරන්දෙණිය ප්‍රා..වෙහි පමණක් එම ප්‍රතිශතය 63.50%කි.

මෙම 11දා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙහි දී ශ්‍රීලනිප ජන්ද ද පොදු ජන පෙරමුණ වෙත ඇදී යාමේ ප්‍රවණතාවය වැඩි විය හැක.

මේ අනුව බලන විට ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රකාශිත ජන්දවලින් සියයට 50කට වඩා ලබා ගැනීමට, 2018 පෙබරවාරි දේශපාලන නැම්ම තවමත් පවති නම් පොදු ජන පෙරමුණ සමත් විය යුතු ය. සියයට 80ක් පමණ එනම් 42,000ක් ජන්දය පාවිච්චි කරනු ඇතැයි උපකල්පනය කළ හොත් ඉන් සියයට 50ක් 21,000 කි. එයට ශ්‍රීලනිප ඡන්ද ප්‍රමාණයක් සහ ගෝඨාභය රැල්ලක් ඇතොත් එයද එක් වූ විට 25,000 ඉක්මවවිය යුතු යැයි අනුමාන කළ හැක.

එසේ නොවී එජාපය සිය ජන්ද පදනම සෑහෙන දුරට වර්ධනය කරගෙන ඇත්නම් එය අඩුම වශයෙන් සියයට 35 -40 අතර ඡන්ද ප්‍රමාණයක් ලබා ගත යුතු ය. එනම් 14,700 – 16,800 අතර ප්‍රමාණයකි.

ජවිපෙ ඡන්ද පදනමෙහි වර්ධනයක් ඇතොත් එය අඩුම වශයෙන් සියයට 7ක් සීමාවට පැමි‍ණිය යුතුය. එනම් ඡන්ද 3,000ක් තරම් ය.

ශ්‍රීලනිප ඡන්ද සියයට ප්‍රතිශතය සෑහෙන දුරට අඩුවී එහි වාසිය ගෝඨාභය රාජපක්ෂට හිමිවනු ඇත්දැයි ද මෙම පළාත් පාලන මැතිවරණය විසින් පෙන්නුම් කිරීමට ඉඩ තිබේ.

ඉහත සඳහන් සියල්ල අනුමානයන් පමණකි. ජාතික වශයෙන් එහි බලපෑමක් ඇතිවනු ඇත්තේ කවර හෝ පක්ෂයක් 2018 පෙබරවාරියෙහි තිබූ සිය ජන්ද පදනම තීරණාත්ක මට්ටමකට වර්ධනය කරගෙන ඇත්නම් පමණකි.

(c) සුනන්ද දේශප්‍රිය 10 ඔක්තෝබර් 2019

Archive

Latest news

Related news