අන්තර්ජාතික සංවර්ධනය පිළිබඳ විශේෂඥයකු වන මහාචාර්ය එස්. ඩබ්ලිව්. ආර්. ද ඒ. සමරසිංහ එළැඹෙන ජනාධිපතිවරණයේ වරණයන් පිළිබඳ සියුම් දේශපාලන විග්රහයක යෙදෙමින් සම්පාදනය කරන ලද ලිපියක් ඇසුරෙනි.
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන එක්සත් ජාතික පෙරමුණේ සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ යන දෙදෙනාගේ ජාතික මට්ටමේ අරමුණු සහ අවශ්‍යතාවල ලොකු වෙනසක් නැත. ඒ දෙදෙනාම ජාතික සමඟිය, ආරක්ෂාව, පරමාධිපත්‍යය, ආර්ථික සමෘද්ධිය සහ සමාජ සමානාත්මතාව ගැන කතා කරති. මේ කාරණා කිසිවකු විසින් වත් අභියෝගයට ලක් නොකරන ඒවා වන අතර, කලක පටන් දේශපාලන වේදිකාවල කියවෙන සාම්ප්‍රදායික දේවල්ය.
එහෙත් මේ දෙදෙනාම වෙනස් ආකාරයෙන් දකින ප්‍රධාන කාරණාවක් ඇත. ගෝඨාභය සහ ඔහුගේ ආධාරකරුවෝ ‘ශක්තිමත් ආණ්ඩුවක’ අවශ්‍යතාව මතු කරති. එහෙත් ඒ ‘ශක්තිමත්’ යන්නේ අර්ථය කුමක්දැයි ඔවුහු පැහැදිලිව නිර්වචනය නොකරති. කෙසේ වෙතත් 2006 සිට 2014 දක්වා පැවැති රාජපක්ෂ පාලන සමයේදී නීතියේ ආධිපත්‍යය ගැන සැලකිල්ලක් තැබුවේ නැත; නිසි පරිදි දඬුවම් දීම් සිදු කළේද නැත. විරුද්ධ මතධාරීන්ට එරෙහිව සුදු වෑන් භාවිතා කළ ඒ යුගයේ ‘ශක්තිමත්’ යන්නට නිරපේක්ෂ තේරුමක් තිබුණේ නැත. ප්රජාතන්ත්රවාදි නිදහස ආර්ථික සාර්ථකත්වයට හිලවු කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරන බවක් පෙනේ. රටක ආර්ථික ප්‍රතිපත්ති ඉදිරියට ගෙන එමින් වර්ධනය අත්පත් කරගැනීමට මේ හිලවු කිරීම කෙරෙහි රජයේ ප්‍රබල දායකත්වය හිමි විය යුතු බව චීනය සහ දකුණු කොරියාව වැනි ඇතැම් ගිනිකොනදිග ආසියානු සහ පෙරදිග ආසියානු රටවල විශ්වාසයක් පවතියි.
ජනතාවට ඕනෑ නිදහසක් නැති ‘ශක්තිමත් ආණ්ඩුවක්ද? නිදහසක් ඇති ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක්ද?
යහපාලනයේ මොන අඩු-පාඩු තිබුණත් පසුගිය කාලයේ ප්රජාතන්ත්රවාදි අයිතිවාසිකම් ආරක්ෂා විය. තොරතුරු දැනගැනීමේ පනත ඉදිරියට ගෙන ඒම මඟින් භාෂණයේ නිදහස සහ නිදහස් අයිතිවාසිකම් තවදුරටත් සුරක්ෂිත කිරීම ඊට නිදසුනකි. මේ බව සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පෙරමුණේ ආධාරකරුවන් පෙන්වා දෙන කරුණකි. මේ නිදහස නිසාම ඇතැම් විට ආර්ථිකයේ කාර්යක්ෂමතාවට පැනනැඟෙන බාධාද නැත්තේ නොවේ. උදාහරණයක් ලෙස: වෘත්තීය සමිතිවලට ඉහළ වැටුප් ඉල්ලා වැඩවර්ජන පැවැත්වීමට නිදහස ලැබෙන අතර, එය ආර්ථිකයට බාධා ඇති කරන බව අමුතුවෙන් කිව යුතු නැත.
ඉදිරි දශක කිහිපයේ රටට අවශ්‍ය කරන්නේ වඩාත් නිදහස අගයන පාලනයක්ද, නැතිනම් නිදහස සීමා කරන පාලනයක්ද යන්න නොවැම්බරයේ පැවැත්වෙන මැතිවරණයේදී තෝරාගැනීමට ඡන්දදායකයාට අවස්ථාව හිමි වේ. මේ සම්බන්ධයෙන් පුළුල් සංවාදයක් ඇති විය යුතුය.
විශ්වීය වූ ඡන්ද බලය යටතේ පාලකයන් තේරීම සඳහා ප්රජාතන්ත්රවාදි ආකාරයට කලින් කලට නිදහස් සහ සාධාරණ මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍ය කාරණයකි. එහෙත් එය පමණක් මෙයට ප්‍රමාණවත් නැත. එනම් නීතියේ ආධිපත්‍යය, භාෂණයේ නිදහස සුරැකීම වැනි සපුරාලිය තවත් අවශ්‍යතා ගණනාවක් තිබේ. අර්ථවත් ප්රජාතන්ත්රවාදි පාලනයක් උදෙසා මේවා වැදගත්ය. 1931 සිට ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදි රාමුව තුළ විවිධ අඩු-පාඩු තිබිණි. ඒ තුළ සැලකිය යුතු අඩුපාඩු රැසක් දිගටම පැවතිණි. ගෙවුණු අවුරුදු 88ක ඉතිහාසයේ අපට මහමැතිවරණ 17ක් තිබිණි. එයින් 10කදීම බලයේ සිටි පාර්ශ්වය මැතිවරණයෙන් පරාජය විය. 1948න් පසු පැවැති පාලන යුගවලදී බලයේ සිටින පාර්ශ්ව සාමාන්‍ය වශයෙන් බලයේ සිටියේ වසර 5ත්-10ත් අතර කාලසීමාවක් පමණි.
1978දී අප රටේ විධායක ජනාධිපති ක්‍රමය ස්ථාපිත කෙරිණි. එදා සිට 2015 දක්වා කාලය ඇතුළත අපට ජනාධිපතිවරණ හතකට මුහුණ දීමට සිදු විය. දෙවැනි විධායක ජනාධිපතිවරයා ඔහුගේ ප්‍රථම ධුරකාලය අවසන් කිරීමටද පෙරම ඝාතනයට ලක් වූ අතර, 1995දී ඔහු නියෝජනය කළ, එතෙක් වසර 17ක් පුරා බලයේ සිටි පක්ෂයේ අපේක්ෂකයා පරාජයට පත් විය. 2015දී, අනූපහේ බලයට පත් පාර්ශ්වය නියෝජනය කරමින් එවකට බලයේ සිටි ජනාධිපතිවරයා පරාජයට පත් වූ අතර, ඒ වන විට ඔවුන් වසර 20ක් ජනාධිපති ධුරය හොබවා තිබිණි.
ශ්‍රී ලංකාවේ මැතිවරණ
ශ්‍රී ලංකාවේ මැතිවරණ අසම්පූර්ණතාවලින් යුක්ත වේ. මැතිවරණවලට එකතු වන අරමුදල් ගැන විනිවිදභාවයක් ඇත්තේ නැත. රැස් වූ මුදල් ගැන කිසිවකුත් වගවීමක් දක්වන්නේද නැත.
ශ්‍රී ලංකාවේ ඡන්ද විමසීම් කිසිදු දිනක සියයට සියයක් පිරිසුදු වූයේ නැත. සැබැවින්ම ලෝකයේම වුව මැතිවරණවලදී මේ පාරිශුද්ධභාවය සියයට සියයක් දැකිය නොහැකිය. කෙසේ වෙතත් 2005 නොවැම්බර් ජනාධිපතිවරණය හැර අනෙක් ඒවා ජනතාවගේ සැබෑ අදහස පිළිඹිබු කර ඇත. එල්ටීටීඊය එවකට තම පාලනය යටතේ පැවති යාපනය සහ වන්නි ප්‍රදේශවල ඡන්ද වර්ජනයක් සිදු කළ අතර, එහි වාසිය ලැබුවේ මහින්ද රාජපක්ෂ බව පැහැදිලිය. යාපනයේ ලක්ෂ 7ක් වූ ලියාපදිංචි ඡන්දවලින් වැටුණේ 1.1%ක් තරම් සුළු ප්‍රමාණයක් වන අතර, වන්නියේ ලියාපදිංචි ඡන්ද ලක්ෂ 2.5න් වැටුණේ 34%ක් පමණි. සංඛ්‍යා දත්ත විශ්ලේෂණය කරන විට ඡන්ද වර්ජනය නොතිබුණා නම් රනිල් වික්‍රමසිංහට ඒ ඡන්දවලින් 80%ක් හිමි වන බවත්, එසේ වූයේ නම් ඔහු වැඩි ඡන්ද 40,000ත්-50,000ත් අතර සංඛ්‍යාවකින් ජනාධිපතිවරණය ජය ගන්නා බවත් පෙන්නුම් කෙරේ.
ශ්‍රී ලංකාවේ දේශපාලකයෝ බලය අයුතු ලෙස භාවිත කිරීමට කොතරම් ප්‍රසිද්ධ වුවත් ඡන්දයෙන් තමන් පරාජයට පත් වූ විට බලය අත්හැර ඉවත්ව යෑමට කටයුතු කිරීම දක්නට ලැබෙන පොදු තත්ත්වයකි. 1994 පාර්ලිමේන්තු මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහටත්, 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂටත් මෙය සත්‍යයක් විය. එසේම දේශපාලනඥයන්ට මහජන මතය සමඟ සෙල්ලම් කිරීමට සිතුණත් මේ රටේ සන්නද්ධ හමුදා ඒ සඳහා අවස්ථාව උදා කර දෙන්නේ නැත. එය වෙනස් වූයේ 1962දී සිදු වූ හමුදා කුමන්ත්රණයේදී පමණි. කොටින්ම කියතොත් ශ්‍රී ලංකාවේ පවතින්නේ ගැඹුරට කාවැදුණු ප්රජාතන්ත්රවාදි සංස්කෘතියකි.
දේශපාලන සංස්කෘතියේ වටිනාකම
පසුගිය වසර කිහිපයේ සිට ඇතැම් අය දේශපාලන සංස්කෘතියේ වැදගත්කම සහ වටිනාකම ගැන ප්‍රශ්න කිරීමට පටන් ගෙන ඇත. මෙහිදී ප්රජාතන්ත්රවාදය අවුල් සහගතය, අවිධිමත්ය, එයින් අස්ථාවර දේශපාලන පරිසරයක් ඇති වේ, ආර්ථික වර්ධනයට එය අහිතකරය, යහපත් ශ්‍රී ලංකාවක් ඇති කිරීමට ශක්තිමත් ආණ්ඩුවක් තිබීම වැදගත්ය, මේ දේශපාලන පද්ධතිය අවුල් සහගතයැයි කියන අය අර්ධ වශයෙන් සත්‍යයක් පවසති. අමෙරිකාව, එංගලන්තය වැනි ඉතා දියුණු බටහිර ප්රජාතන්ත්රවාදි රටවල් සම්බන්ධයෙන් අද වන විට මෙය සත්‍යයක් වී තිබේ. ශක්තිමත් ප්රජාතන්ත්රවාදි ආණ්ඩුවක් බිහි කරගත හැකි නම් එය රටකට ඉතා හිතකර තත්ත්වයකි. එහෙත් ශක්තිමත් ආණ්ඩුවක් යන්න ඇතැම් අය නිර්වචනය කොට ක්‍රියාත්මක කරන්නට යන්නේ ප්රජාතන්ත්ර විරෝධි අත්තනෝමතික පාලනයක් ගෙන යෑමෙනි. එය අපේ රටේද රාජපක්ෂ යුගයේදී සිදු විය. මේ අත්තනෝමතික පාලන සහ තීරණ නිසා රටේ සම්පත් රැසක් විනාශ වූ අවස්ථාද එකල පැවතිණි. වඩාත් බලතල සහිත ආණ්ඩුවක් වන විට වැඩි අධිකාරියක් සහිත ආණ්ඩුවක ස්වරූපය ගනියි. මෙය ශ්‍රී ලංකාවට පමණක් සීමා වන්නක් නොවේ. මිනිසුන් පවතින ක්‍රමයට ඇති කැමැත්ත හීන වෙමින් යන බව යුරෝපයේ, ආසියාවේ සහ උතුරු සහ දකුණු අමෙරිකාවේ ප්රජාතන්ත්රවාදය පවතින රටවල විශාල නියැදියක් ගෙන සිදු කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇති කරුණකි.
ඉන්දියාව බහුවාර්ගික ප්රජාතන්ත්රවාදයක් පවතින රටක් වශයෙන් දීර්ඝ කාලයක් නමක් දිනාගෙන සිටියේය. දැන් එරට වර්ගවාදි බලවේග වෙත නැඹුරුවක් ඇති වෙමින් පවතින බවට බියක් පැතිර යයි. තුර්කිය සහ හංගේරියාව මෑතකදී ගෙන ආ ව්‍යවස්ථා සංශෝධන මඟින් එක් පුද්ගලයකුගේ හෝ එක් පක්ෂයක පාලනයක් ගොඩනඟාගෙන ඇති රටවල්ය. පිලිපීනයේ ජනාධිපතිවරයා නීතියට බාහිර ඝාතන සිදු කිරීම සඳහා ප්‍රසිද්ධියේම කටයුතු කරන අයෙකි.
ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය
දශක තුනක් තිස්සේ පැවති සිවිල් යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය බරපතළ පීඩනයකට හසුව තිබිණි. එහෙත් එය විනාශ වී ගියේ නැත. යුද්ධය පැවතියදී වුවද ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් සාධාරණ සහ නිදහස් මැතිවරණ පැවැත්විණි.
දෙවනුව සුළුතරයේ ප්‍රශ්න විසඳීමට දේශපාලන විසඳුමක් දීම කෙරෙහි ප්රජාතන්ත්රවාදි ක්‍රමය ඇතුළත උත්සාහයන් දැරිණි. උදාහරණයක් වශයෙන්: සිංහල පමණක් යන භාෂා ප්‍රතිපත්තිය අධ්‍යාපන සහ පරිපාලන කටයුතුවලට බහු-භාෂා ප්‍රතිපත්තිය හඳුන්වා දීමෙන් සමනය කෙරිණි. 1981දී දිස්ත්‍රික් සංවර්ධන සභා ඇති කිරීමත්, 1988දී ඒ වෙනුවට පළාත් සභා ඇති කිරීමත් බලය බෙදීමේ ප්‍රතිපත්තියට අනුකූලව සිදු කළ වැදගත් ක්‍රියාමාර්ග වේ.
තෙවනුව ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදයට එරෙහිව බලය ඩැහැගැනීමේ කුමන්ත්‍රණ දෙකක් සිදු විය. එකක් 1962දී සිදු වූ හමුදා කුමන්ත්රණයයි. අනෙක 2018දී සිදු වූ ව්‍යවස්ථා කුමන්ත්රණයයි. මේ කුමන්ත්‍රණ ද්විත්වයම පරාජය විය.
ආර්ථික වර්ධනය
ගෙවුණු දශක කිහිපයක කාලය ඇතුළත මේ රටේ කිසිම ආර්ථික හෝ සමාජ සංවර්ධනයක් හෝ සිදු වී නැතැයි, ශ්‍රී ලංකාවේ ප්‍රචාරණ ව්‍යාපාරයේ නිරත ඇතැම් දේශපාලකයන් කියන දේට ඇහුම්කන් දෙන විදේශිකයකුට හැඟී-යන්නට පිළිවන. එහෙත් එය සත්‍යයක් නොවේ. 1948 සිට 2018 දක්වා කාලය ඇතුළත ශ්‍රී ලංකාවේ ඍණ ආර්ථික වෘද්ධි ශීඝ්‍රතාවක් ඇති වූයේ එක් අවුරුද්දකදී -එනම්: 2001දී- පමණි. කෘෂිකාර්මික සහ මූලික කෘෂි නිෂ්පාදන අපනයන මත රැඳෙන දුප්පත් රටක් වශයෙන් එය එතරම් නරක වාර්තාවක් නොවේ. 1950දී ඩොලර් 118ක් වූ ඒකපුද්ගල ආදායම 2018දී තිස් ගුණයකින් පමණ වර්ධනය වී, ඩොලර් 4,000ක් දක්වා ඉහළ ගියේය.
සමාජ සංවර්ධනය
ගෙවුණු දශක සතක කාලය ඇතුළත ප්‍රධාන සමාජ දර්ශක සියල්ල පාහේ වර්ධනය විය. 1948දී ළදරු මරණ අනුපාතය 1000කට 92ක්ව පැවති අතර, 2015දී එය 8.5ක් දක්වා අඩු වී ඇත. උපතේදී ආයු අපේක්ෂාව 1952දී අවුරුදු 56.6ක් වූ අතර 2017දී එය අවුරුදු 75.5ක් දක්වා ඉහළ ගියේය. වැඩිහිටි සාක්ෂරතා අනුපාතය 1946 දී 62.9%ක් වූ අතර, 2017 91.7%ක් දක්වා වර්ධනය විය. මේ සමාජ දර්ශක ඉතා යහපත්ය.
ඒවා අපට වඩා ආර්ථික වෘද්ධියක් අත්පත් කරගත් ඇතැම් රටවලට සාපෙක්ෂව ඉහළය. මේ සමාජ ශුභසාධනය අතින් ඉහළ යෑමට අදාළ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සිදු කෙරුණද ආර්ථික වශයෙන් අපට වෘද්ධියක් අත් කරගැනීමට ප්‍රමාණවත් ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වූයේ නැත. මේ යහපත් දර්ශක පෙන්නුම් කිරීමට ශ්‍රී ලංකාවට හැකි වූයේ නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය වැනි සුබසාධන වැඩසටහන්වල සිට සහල් සලාකයේ පටන් ඉන් පසු හඳුන්වා දුන් ජනසවිය සහ සමෘද්ධිය වැනි යම් මට්ටමකින් සම්පත් බෙදී යෑමට සැලැස්වූ වැඩසටහන් නිසාය.
මෙවැනි බොහෝ සමාජ ශුභසාධන වැඩසටහන් සාර්ථක වී සමාජ සංවර්ධනයක් ඇති වීමට ප්රජාතන්ත්රවාදි පාලන ක්‍රමය හේතු වී තිබෙන බව ඇතැම් විද්වත්හු විශ්වාස කරති. මේ ක්‍රමය තුළ මහජනතාවගේ කැමැත්ත -එනම්: ඡන්දය- දිනාගැනීමට කැමැති පාලකයෝ ජනතාවට ප්‍රයෝජනවත් යමක් කිරීමට නිතර කල්පනා කළ යුතුය.
පිළියම්
ශ්‍රී ලංකාව දැනට පවතින තත්ත්වයට වඩා ඉදිරියේදී හොඳින් ක්‍රියා කළ යුතු බව සත්‍යයකි. විශේෂයෙන්ම ආර්ථිකයේදී එය අනිවාර්යය. වඩාත් විශ්වසනීය කළමනාකරණයක් මඟින් සහ දූෂණවලින් අවම කරගැනීමෙන් අපේ සමාජීය වෘද්ධිය සාක්ෂාත් කරගත හැකි වන අතර, පරිසරය රැකගැනීමටද හැකි වේ.
එවිට පොදු දේපළ වඩාත් කාර්යක්ෂම ආකාරයට පරිහරණය කිරීම සිදු වන බැවින් එය ආර්ථික වර්ධනයටද හේතු වේ. එවිට පොදු මුදල් වඩාත් ඵලදායි ආකාරයට අධ්‍යාපනයට සහ භෞතික යටිතල පහසුකම් සංවර්ධනයට – විශේෂයෙන් රටේ අඩුවෙන් සංවර්ධනය වී ඇති ප්‍රදේශවලට – යෙදවිය හැකිය. බදු අයකිරීම් වඩාත් සාධාරණ බවට පත් කළ හැකිය. උදාහරණයක් වශයෙන්: 2018 වසරේ ආණ්ඩුවේ සමස්ත බදු අනුපාතය රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් 11.9%ක් වූ අතර, එය ලෝකයේ අඩුම බදු මට්ටමක් වේ. ආදායම් බදු ගෙවීම් පැහැර-හැරීම් අප රටේ ඉහළය. එය සමස්ත බදු ආදායමෙන් පහෙන් එකකට සීමා විය.
මහජනතාවගේ තේරීම
මේ කාරණා සාර්ථක කරගැනීමට තමන්ට අවශ්‍ය වන්නේ අත්තනෝමතික ප්‍රවණතාවක් ඇති ඊනියා ‘ශක්තිමත් ආණ්ඩුවක්’ ද, නැති නම් අඩු-පාඩු සහිතව වුවද ප්‍රජාතන්තවාදි අයිතිය ලැබෙන ආණ්ඩුවක් ද යන්න ජනතාව විසින් තෝරාගත යුතුව ඇත.
සේයාරුව – රුවන් ද සිල්වා/ පරිවර්තනය – බුද්ධි කරුණාරත්න/ Silumina