Saturday, April 20, 2024

දේශපාලනය දූෂණයෙන් මුදවා මහජන සේවයක් කරන ජවිපෙ යෝජනා – අනුර කුමාර දිසානායක

දේශපාලනය ව්‍යාපාරයක් වෙනුවට මහජන සේවයක් බවට පරිවර්තනය කරන්න ඕනා. අපි මේ දේශපාලනයේ දීර්ඝ කාලයක් මේ පාර්ලිමේන්තුවේ අවුරුදු 20ක්, පුද්ගලිකව මම හැබැයි අපි මේ දේශපාලනයෙන් සතයක් හම්බකරපු මිනිස්සු නෙවෙයි. මේ දේශපාලනයෙන් දූෂිත භාවයේ, නාස්තියේ ගොදුරු බවට පත්වී තිබෙනවා. ඒ නිසා මේ දූෂිත, නාස්තියේ ගොදුරක් බවට පත්වී තිබෙන දේශපාලනය පිරිසිදු කරන්න ඕනා. අපි ඒවා කරලා තිබෙනවා. මොකද මේ රට හන්න ඕන එතනින්. මුදුනෙන් පටන් ගන්න ඕනා.

පළමු කොටම ජනාධිපතිවරයා ගත්තොත්, සමහර වුරුදුවල ජනාධිපතිවරයාගේ වසරක වියදම කෝටි 1000 ඉක්මවනවා. කෝටි 1000කින් ජනාධිපතිවරයෙක් නඩත්තු කරන්න? ගමණක් යනකොට හෙළිකොප්ටර් දෙක තුනකින් යන්නේ. පාරේ යනකොට ඇම්බියුලන්ස් එකක් පිටිපස්සෙන් එනවා. ලෙඩෙක්ද? එහෙම ඕනද? ඒ නිසා මේ නාස්තිකාර වියදම් අඩු කරන්න ඕනා. අපි ඕගොල්ලන්ට එක සහතිකයක් දෙනවා. අපි එක සැරයක් මේ රටේ බලය අත්පත්කරගනිමු. ජනාධිපතිවරයාගේ වියදම් 10%කට වඩා වැඩි ප‍්‍රමාණයකින් කප්පාදු කරනවා. මා පාර්ලිමේන්තුවේදි ගිය ජනාධිපතිවරයාගෙන් ප‍්‍රශ්නයක් ඇහුවා. ඒ ජනාධිපතිවරයාට හිටියා තමන්ගේ කාර්යමණ්ඩලය 1200ක්. පඳුරකට ගැහුවොත් ජනාධිපති සම්බන්ධීකාරක කෙනෙක් එළියට පනිනවා. මොනතම් සම්බන්ධීකරණ ලේකම්වරුද. ජනාධිපතිවරයා හම්බවෙන්නෙත් නැහැ. රුපියල් 60,000ක වැටුපයි, රුපියල් 30,000ක තෙලුයි, කැබ්රථයකුයි දෙනවා රියදුරෙක් එක්ක. මහජනයාගේ ධනය. ඒව තමයි ග‍්‍රාමීය වශයෙන් දේශපාලන බලය පතුරවන්න යොදවගන්නේ. ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් වැලිතොටුපොළ කරනවා. හොරෙන් පතලක් කරනවා. කළේ නැද්ද? මේක තමයි වෙලා තියෙන්නේ. මේ නාස්තිකාර වියදම් නතර කරන්න ඕනා.

ඒ වගේම අපි දන්නවා මාලිගා විශාල ප‍්‍රමාණයක් නඩත්තු කරනවා. චන්ද්‍රිකා වැව ලඟ අලුතෙන් මාලිගාවක් හැදුවා ජනාධිපතිවරයාට. යාපනේ කන්කසන්තුරේ අලුතෙන් එකක් හැදුවා. නුවරඑළියේ, අනුරාධපුරේ, නුවර හැදුවා. පාසිකුඩා එකක් හදන්න ගියා. මාලිගා හැමතැනම. සාමාන්‍යයෙන් යාපනේට හෙළිකොප්ටරයේ යන්න ගතවෙන්නේ විනාඩි 45යි. එන්න 45යි පැය එකහමාරයි. මීටින්එක් පැය 3ක් තිබ්බොත් පැය හතර හමාරයි. පැය හතර හමාරට යාපනේ මාලිගාවක් ඕනද?

සමහර අවුරුද්දට රාත‍්‍රි දෙකක් ඉඳලා නැහැ ජනාධිපතිවරයා මේ මාලිගාවල. හැබැයි කාර්යමණ්ඩලය 150ක් විතර හැමදාම නඩත්තු කරනවා ගාඞ්න් එක සුද්ද කරන්න ඕනා. මුර කරන්න ඕනා. හුනු පිරියම් කරන්න ඕනා. මහජනයාගේ ධනය. හැබැයි? දෙකක් නිදාගන්නේ නැහැ මේ මාලිගාවල. මේ ඔක්කොම මාලිගා රටේ සංවර්ධන වැඩකටයුතුවලට යොදවන මධ්‍යස්ථාන බවට පත් කරනවා. ඔබට අපි ඒක සහතික කරනවා. පටන් ගන්න ඕන එතනින්. එහෙම ඕන නැද්ද? ඒ නිසා ජනාධිපතිවරයාගේ වියදම් විතරක් නෙවෙයි, හිටපු ජනාධිපතිවරු කොච්චර වියදම් දරණවද? ප්‍රේමදාස මහත්මයාගේ බිරිඳ හේමා ප්‍රේමදාස තාම ඉන්නේ ආණ්ඩුවේ ගෙදරක, වාහන, ආරක්ෂාව ආණ්ඩුවෙන්. කලින් ඩී.බී විජේතුංගගේ දියණියට ගෙවල්, ආරක්ෂාව ආණ්ඩුවෙන් දීල තිබුන. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණය ඊලඟ හිටපු ජනාධිපතිණිය. ඇයට ටොරින්ටන්වල ගෙයක් දීල තිබෙනවා. ආරක්ෂාව දීල තිබෙනවා, වාහන දීල තිබෙනවා. ආණ්ඩුවෙන් විශාල මුදලක් වැය කරනවා ඇය නඩත්තු කරන්න. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා. එතුමට විජේරාම පාරේ විශාල නිවසක් ලබාදී තිබෙනවා. ආරක්ෂාව ලබා දී තිබෙනවා. වාහන ලබා දෙනවා. මේ හිටපු ජනාධිපතිවරු නඩත්තුවට කොච්චර යනවද? එහෙම නඩත්තු කරන්න ඕනද? අපේ රටේ සංස්කෘතියක් තියෙනවා. තමන්ගේ දරුවෝ තමන්ගේ දෙමව්පියෝ බලාගන්න. මේ කිසිවෙකුටත් ආදායම්මාර්ග නැති අයද? චන්ද්‍රිකා මැතිණියට තමන්ගේ ගෙයක් නැද්ද? මහින්ද මහත්තයට තමන්ගේ ගෙයක් නැද්ද? තමන්ගේ දරුවෝ සලකන්නේ නැද්ද? මොක්ද්ද මේ වෙලා තියෙන්නේ. ආණ්ඩුවෙන් පුරාවස්තු නඩත්තු කරනවා වගේ මේ අය නඩත්තු කරන්න වෙලා තියෙන්නේ. අපි එකක් කියනවා විශ‍්‍රාමික කිසිඳු ජනාධිපතිවරයෙක් ජනතාවගේ වැය ශීර්ෂයන් හරහා නඩත්තු කරන්නේ නැහැ. හැබැයි කවුරුහරි ජනාධිපතිවරයෙකුට දරුවෝ සලකන්නේ නැත්නම්, දේපලක් නැත්නම් සමාජ ආරක්ෂක අරමුදලෙන් ආධාරයක් කරනවා ජීවත්වෙන්න. එහෙම රටක් අපිට ඕනා. ඒ නිසා මේ නාස්තිය, වංචාව, දූෂණය නතර කිරීම එතනින් පටන් ගන්න ඕනා. අපි එතනින් පටන් ගන්නවා.

ඒ විතරක් නෙවෙයි. මේ මන්ත‍්‍රීවරුන්ට දෙන පර්මිට් නතර කරනවා. අද අපේ රටේ විශාල විදෙස් විනිමයක් ඇදිල යන්නේ මේ වාහන නිසා. අද ඒක අපේ රටේ ආර්ථිකයට බරක් වෙලා තිබෙනවා. මේ මන්ත‍්‍රීවරුන්ගේ පර්මිට් එක කියලා කියන්නේ වාහනයක් ගන්න නෙවෙයි විකුණන්න දෙන්නේ මේක. දැන් මම දැක්ක රනිල් වික‍්‍රමසිංහලා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් කරලා තිබෙනවා, හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරුන්ටත් පර්මිට් දෙන්න. කැබිනට් එකෙන් ඒක ටිකක් ප‍්‍රතික්ෂේප වුනහම මහින්ද මහත්තයා කියල තිබුන මම ආපුවහම දෙනවා කියලා. මේ හිටපු අයට පර්මිට් දෙන්නේ මොකටද? විකුණන්න. සාමාන්‍යයෙන් මන්ත‍්‍රීවරුන්ගේ පර්මිට් එකක් විකුණන්න පුළුවන් ලක්ෂ 150කට 180කට විතර. මේ බර ජනතාව දරන්න ඕනද? අපි සහතිකයක් දෙනවා ඔබට ඒව සියල්ල කැන්සල් කරනවා. ඇයි ? දේශපාලනය බිස්නස්එකක් නෙවෙයි. දේශපාලනය මහජන සේවයක් බවට පරිවර්තනය කරන යුගය අපි ආරම්භ කරනවා. මේ රට හදන පළමු පියවර එතන.

මොන තරම් සැලසුම් තිබුනත්, මොනතරම් කණ්ඩායම් හිටියත්, අපිට රටක් හදන්න බැහැ මේ දේශපාලන පොරපිටිය පිරිසිදු කරන්නේ නැතුව. ඒ විතරක් නෙවෙයි අපි කල්පනාකරමින් යනවා. මේ දේශපාලනකයින් ආණ්ඩුවේ ලයිසන් ගන්න බිස්නස්වල යෙදෙන්න ඉඩදෙනවද කියලා. ගල් කොරියක් කරන්න ලයිසන් එකක් ඕනා. පතලක් කරන්න ලයිසන් එකක් ඕනා. අරක්කු විකුණන්න ලයිසන් එකක් ඕනා. ලයිසන් එකක් කියන්නේ ආණ්ඩුවෙන් දෙන බලපත‍්‍රයක්. ආණ්ඩුව කවුද? මන්ත‍්‍රී සහ ඇමති. දැන් මන්ත‍්‍රී සහ ඇමතිට එයාම ගන්නවා බලපත‍්‍ර. බාර් ලයිසන්, පතල් ලයිසන්, ගල් කොරි ලයිසන්. අපි කල්පනා කරමින් යනවා ආණ්ඩුවේ බලපත‍්‍ර සහිත බිස්නස් කරන අයට මන්ත‍්‍රී ධුර ලබා ගැනීමේ තත්වය නතර කරන්න. ඒකෙන් තමයි ව්‍යාපාරය සිද්ධ වෙන්නේ. එයාට බලපත‍්‍රයක් තිබුනනම් එයා බලපත‍්‍රය බිඳලා වැඩ කරනවා. එයාට වැලි තොටුපොළක් පිළිබඳ බලපත‍්‍රයක් තිබුනොත් එයා නීති විරෝධී ලෙස ඕනෑවටත් වඩා වැඩියෙන් වැලි කපනවා.

අද අපේ ගම්වල බලන්න. සියලු අපරාධයන් පිටිපස්සේ ඉන්නේ දේශපාලකයා. හොරෙන් පතලක් කපනවානම් ඒ පිටිපස්සේ දේශපාලකයෙක්. ගමේ පරිසරයට හානි කරමින් කුඹුරක් ගොඩකරනවානම් ඒක පිටිපස්සේ ඉන්නේ දේශපාලකයින්. කොහෙ හෝ තැනක නීති විරෝධී ලෙස වැලිගොඩදානවානම් පිටිපස්සේ ඉන්නේ දේශපාලකයින්. කොහේහරි ගමක නීති විරෝධීව පස් කපනවානම් පිටිපස්සේ ඉන්නේ දේශපාලකයින්. නීති විරෝධී ගල් කොරියක් තිබෙනවානම් ඒක පිටිපස්සේ ඉන්නේ දේශපාගකයින්. නීති විරෝධී එතනෝල් බිස්නස් එකක් කරනවානම් ඒක පිටිපස්සේ ඉන්නේ දේශපාගකයින්. ඒ නිසා අපේ රටේ සියළු නීති විරෝධී සහ අපරාධ පිටිපස්සේ ඉන්නේ දේශපාලකයින්. ඉතින් ඒ දේශපාලකයෝ අපේ රට පාලනය කරනවා. ඒ නිසා එවැනි කිසිදු දේකට හවුල් වෙන. කිසිදු දේකට සම්බන්ධ වී තිබෙන කිසිදු කෙනෙකුට යළි අපේ රටේ මන්ත‍්‍රී ධුරයක් ලබා ගන්න තිබෙන ඉඩ අහුරමින් නීති සම්පාදනය කරනවා. අපරාධකරුවන්ට මේ රට පාලනය කරන්න දෙන්න බැහැ. වංචා කාරයන්ට මේ රට පාලනය කරන්න දීපු යුගය අපි අවසන් කරන්න ඕන. ඒ සඳහා නීති සම්පාදනය කරන්න වුනත් අපි ලෑස්තියි.

අපි විතරක් නෙවෙයි අපේ නායක හාමුදුරුවන් වහන්සේලා ඒ වගේම සියලුම ආගමික නායක උතුමන්ලා විසින් ඉදිරිපත් කළා අපේක්ෂකයෙක් කවර ආකාරයෙන් වියයුතුද කියලා. ඒකෙදි කියනවා දේශපාලකයෙකුගේ මෙන්න මේ ගුණාංග තියෙන්න ඕන කියලා. නඩු තියෙන්න බැහැ. අපරාධවලට හවුල් වෙලා තියෙන්න බැහැ. මේ සියල්ල කියලා තියෙනවා. මතක තබා ගන්න, ඒ සියල්ලම සපුරණ අපේක්ෂකයෝ ඉදිරිපත් කරනවානම් ඉදිරිපත් කළ හැකි වන්නේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයන්ට විතරයි. ඒ නිසා මේ රට ගොඩනැගීමේ පළමු පියවර මේ දේශපාලන පොරපිටිය පිරිසිදු කිරීම.

උපුටා ගැනිම ලංකා ටිරුත් අඩවියෙනි.

Archive

Latest news

Related news