Friday, March 29, 2024

ජාතික ජන බලවේගය සැබෑ සමාජ ව්‍යාපාරයකට අඩිතාලමක් – රංජිත් හේනායකආරච්චි

කාලයක් තිස්සේ  සිදුවිය යුතු මෙන්ම රටේ ප්‍රශ්න විසඳා ගැනීමට අත්‍යවශ්‍ය දේශපාලන බලවේගයක් ගොඩනැගී ඇති බව පසුගිය 18 වැනි දින ගෝල්පේස් රැළියෙන් පෙන්නුම් කරනු ලැබීය. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සංවිධාන සහ පක්ෂ 28 කට එකතුවකින් පසුගියදා ගාලු මුවදොර පිටියේ පැවැත්වූ විශාල ජන රැළියෙන් යුගයට අත්‍යාවශ්‍ය අලුත් බලවේගයක් ගොඩනැගීම ආරම්භ වී ඇති බව පෙන්නුම් කළා යන්න මගේ වැටහීමයි.

ඉදිරිගාමී දේශපාලන පක්ෂ, බුද්ධිමතුන්, කලාකරුවන්, සමාජ ක්‍රියාධරයන්  ඇතුළු විවිධ කණ්ඩායම් වල එකතුව ඇත්ත වශයෙන් ම කියන්නේ නම් සමාජ බලවේගයක එකතුවක් සඳහා පදනමක ආරම්භය පෙන්නුම් කරයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම බලවේගයන් මීට ප්‍රථම එකට වැඩ කිරීමට නොහැකි කණ්ඩායම් ලෙස, ඒවාගේම බොහෝවිට පසමිතුරැ ලෙස පැවති කොටස් වීමයි. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ සෑම විටම ඉතිහාසයේ ක්‍රියාත්මක වී තිබෙන්නේ තමන්ගේම තනි ගමනක් යාම මුල්කරගෙනයි. නමුත් කාලයාගේ ඇවෑමෙන් අද ඔවුන් තමන්ගේ භාවිතාව වෙනස් කරගෙන අනෙකුත් කණ්ඩායම් සමග එකට අත්වැල් බැඳගෙන සමාජයේ වුවමනාව සඳහා ගමනක් යාමට සූදානම් සිටින බව පෙනේ. ඇත්තෙන්ම අප ඒය අගයමු.

ඇත්ත වශයෙන්ම මේ වනවිට ලංකා සමාජය පත්වී තිබෙන්නේ එක්තරා සන්ධිස්ථානයකට ය. එක්කෝ නිවැරදි දේශපාලන බලවේගයක් රටෙහි බලයට පත්වී අද වන විට රට වැටී ඇති අගාධයෙන් රටගොඩ ගත යුතුය. එසේ නැත්නම් තවදුරටත් රට විනාසෙන් විනාශයට ගමන් කරන බව පැහැදිලිය. බුද්ධිමතුන් රට හැර යන අතර රටේ දේශපාලන බලය හෝ ආර්ථික බලය හොබවන කොටස් තමන්ගේ දරු පවුල් වල සියලු දෙනා ලෝකයේ දියුණු යැයි සම්මත රටවල අධ්‍යාපනය සඳහා සහ ජීවත්වීම සඳහා අයිතිවාසිකම් සපයා ගෙන ඇත. දේශප්‍රේමය ගැන මහා ඉහළින් කතා කරන බොහෝ දේශපාලඥයින්ගේ පවුල් පිටින් ජීවත් වන්නේ එක්කෝ ඇමරිකාවෙන් හෝ කැනඩාවේ නැත්නම් ඕස්ට්‍රේලියාවේ එසේත් නැත්නම් එංගලන්තය හෝ තවත් එවැනි රටක ය. ඒ මොවුන් ඔවුන් නායකත්වය හොබවන රටේ ඇති සමාජ දේශපාලන දුර්දාන්තය ගැන ඔවුනට සැබෑ අවබෝධයක් තිබෙන හෙයිනි. ඒ නිසා ඔවුන් තමන්ගේ දූ දරුවන් ආරක්ෂාව සහ ස්ථාවරත්වයක් ඇති ‍ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල පදිංචි කරන අතර අප රට ඔවුන්ගේ සම්පත් උපයා ගැනීමේ ආකරයක් පමණක් බවට පත්කරගෙන ඇත. මහා බටහිර විරෝදයක් මවාපාන මොවුන්, ජාත්‍යාලය ගැන නැතිවරුනක් කරන මොවුන්, තම පවුල් පදනම්වලට ආරක්ෂිත අඩිතාලම් සකසා‌ගෙන ඇත්තේ සියලු නරකදේ කැටිව ඇති බව ඔවුන්ම පවසන බටහිර අදිරාජ්‍යවාදී රටවලය. ජාතික දෙය හොඳයයි කියන මෙම දේශපාලනඥයෝ සහ ඇති හැකි අය සියලුදෙනාම බෙහෙත් ටික ගන්නට පවා යොමුවන්නේ එක්කෝ සිංගප්පූරුවට, තායිලන්තයට, එංගලන්තයට, අමෙරිකාවට හෝ අඩුම තරමින් ඉන්දියාවටවත්යයි. දේශප්‍රේමය ගැන කරවටක් කයිවාරු ගහන මේ අය ලංකාවේ රෝහලකින් බෙහෙත් ගන්න නොයන්නේ ලංකාවේ රෝහල්වල ඇති තත්ත්වය පිළිබඳව ඔවුනට විශ්වාසයක් නැති හෙයිනි. සිංගප්පූරුවේ මට්ටමට රටෙහි රෝග්‍ය ශාලාවල තත්වය උසස් කරනවා වෙනුවට ඔවුන් කරන්නේ ඒවායේ තත්ත්වය එසේම තිබෙන්නට හැර තමන්ගේ ශරීර සෞඛ්‍යය සඳහා වෙනත් රටකට ගමන් කිරීමයි. මොවුන් ගේ දරුවන් අධ්‍යාපනය ලබන්නේ බටහිර රටවලය. මොවුනගේ කතාව සහ කෙරුවාව අතර ඇත්තේ අහස පොලව වෙනසකි. ඉතින් මෙවැනි දේශපාලනඥයින් පාලනයකරන රටකට ඇත්තෙන්ම දෙවියන්ගේම පිහිටය. දේශපාලනඥයින්, ඉහල නිලධාරීන්, හමුදාවන්හි ප්‍රධානීන් ආදී ඉහල කුලකයේ හැමෝගේම පාහේ චර්යාව මෙයයි. ඉතින් මෙවැනි නායකයින් බලයට පත්කිරීමෙන් රටකට ප්‍රයෝජනයක් තිබේද?

රටට අලුත් සමාජ බලවේගයක් අවශ්‍ය වන්නේ ඇයි? 

විධායක ජනාධිපති ක්‍රමය ලංකාව තුල ඇති කිරීමෙන් ලද අනිසි විපාක හේතු කරගෙන දිගින් දිගටම එය අහෝසි කිරීම ප්‍රධාන අරමුණ කරගනිමින් බලයට ආ ජනාධිපතිවරුන් සහ දේශපාලන පක්ෂ එය නොකිරීම නිසාවෙන් ලංකා දේශපාලනය එක්තරා සන්ධිස්ථානයක හිරවී තිබේ. එයින් රට මුදවා ඉන් ඒහා දේසපාලන ගමනක් යාමට බලය ලබා සිටි කිසිවකුට උවමනාවක් නොමැතිබව ඔවුන් මෙවනවිට තම බාවිතාවෙන්ම පැහැදිලිව පෙන්වා අවසානය.  2015 නවාරි 8 වැනිදාට ප්‍රථම තිබූ රාජපක්ෂ රෙජීමයේ දුර්දාන්ත පාලනයෙන් රට මුදවාගෙන යහපාලනයක් කරා රට ගෙන යෑම සඳහා පෙළගැසුණු පක්ෂ සහ බලවේගයන් විසින් දැනට බලයේ සිටින ජනාධිපතිවරයා සහ රජය තෝරාගත් බව අප දනිමු. එදා ඒ සමාජ බලවේගයන් වල එකතුවේ තිබූ ප්‍රධාන සටන් පාඨයන් වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, නීතිය මත පාලනයක් ඇති කරන නීතියේ ආධිපත්‍ය රට තුළ නැවත ස්ථාපිත කිරීම, ජනවාර්ගික ප්‍රශ්නයට දේසපාලන විසඳුමක් දීම, දූෂණයෙන් අන්තයට ගිලී තිබූ  රාජ්‍ය එයින් මුදවා ගැනීම, කිසි වග විභාගයකින් තොරව අත්තනෝමතික ලෙස කළ ඝාතනයන් සහ දේශපාලන වෙනස් මත දැරූ අයට වින කලවුන් නීතිය ඉදිරියට ගෙන ඒම වැනි පාට යන්ය. නමුත් සිදු වූ දෙය නැවත නැවත කීමේ තේරුමක් නැත.

ජනාධිපති සිරිසේනට ඡන්දය දුන් ඔහුව බලයට ගෙන ඒමට කැපවීමෙන් ක්‍රියාත්මක වූ සියලු දෙනාගේ  හිස් මත අසූචි වත්කරමින් ඔහු හැසිරෙන්නේ මනුෂ්‍යත්වයට පවා නිගා දෙන අන්දමිනි. රනිල් වික්‍රමසිංහ ඇතුළු යහපාලන රජය, එහි ඇමතිවරු, පැරණි පුරුදු ආකාරයෙන් රාජ්‍ය දේපල තම සිතැඟි පරිදි කඩා වඩා ගැනීමේ මාර්ගයට යොමුවී ඇති අතර, පැරණි අපරාධයන්ට වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙන ඒම වෙනුවට ඔවුන් සමග ඩීල් දමා ගැනීමේ සහයෝගීතා දේශපාලනයකට යොමුව සිටි. නමුත් මෙම යහපාලනය සහ ජනාධිපති සිරිසේන බලයට ගෙන ඒමට පෙළගැසුණු විශාල බලවේගයක උවමනාව වූයේ එදා මැතිවරණයේදී පොරොන්දු වූ ආකාර යහපාලනයක් රටතුළ ඇති කර ගැනීමයි. නමුත් එය ඉටු වී නැති හෙයින් තවදුරටත් මෙම දේශපාලන කුලකයට බලය පවරා ජනතාවගේ අවශ්‍යතාවයන් සඳහා වන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් ඔවුන්ලවා ඇතිකර ගැනීම සිහිනයකි. එසේනම් අද කළ යුතුව ඇත්තේ සැබෑ ජනතා බලවේගයක් සඳහා පෙළ ගැසීමයි.

සැබෑ ජනතා බලවේගයක් යන්නෙන් මා අදහස් කරන්නේ ප්‍රගතිශීලී දේශපාලන පක්ෂ, විවිධ සමාජ වුවමනාවන් සඳහා පෙළ ගැසුණු සමාජ බලවේග, පරිසර සංවිධාන, ස්ත්‍රී සංවිධාන, ශිෂ්‍ය සංවිධාන වෘත්තීය සමිති, බුද්ධිමතුන් කලාකරුවන් ආදී රටෙහි සමාජ ප්‍රශ්න පිළිබඳ අවදිමත් සියලු බලවේගයන්ගේ එකතුවක් තුළින් ඇතිවන ජන බලවේගයක් ගැනයි. මෙම දේශපාලන බලවේගය දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ බලවේගවල එකතුවක් විය යුතු අතර එය එක හෝ තවත් පක්ෂයක හෝ කණ්ඩායමක ආධිපත්‍ය නැති එකතුවක් තුලින් ඇතිකරන එකඟතාවයන්හි  බලවේගයක් ලෙස පැවතීමයි. මෙහිදී නැවත නැවතත් අප මතක තබා ගත යුතු වන්නේ එය විවිධ සමාජ වුවමනාවන් සඳහා පෙළගැසුණු, ඒවාගේම විවිධ අදහස් දරන සමාජ කණ්ඩායම් එක තැනක එකට ගොනු වීමක් වියයුතු බවයි. මෙසේ විය හැක්කේ එම බලවේගය තුළ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයක් ඇතිවෙනවා නම් පමණි.

යම් ආකාරයකින් එතුල ලංකා දේශපාලනයට, ලංකා දේශපාලන පක්ෂවලට, ලංකා සමාජයට හුරුවී ඇති ආකාරයට අනෙකා ගිල ගැනීමට උත්සාහ කිරීමක් සිදු වුව හොත් එය ලත් තැන ලොප් වී යනු ඇත. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ වැනි විශාල කණ්ඩායමක්, සංවිධාන බලයක් ඇති කණ්ඩායමක් මෙවැනි එකතුවකට එක් වන විට ඔවුනට ඉතිහාසයේ හුරුවී ඇති ආකාරයෙනුත්, දේශපාලන වශයෙන් තමන් පමණක්ම නිවැරදි යන මතය දැරීම තුළ ඇතිවන පරන සිතුවිල්ල නිසාත්, තමන්ගේ ගොඩට අනෙක් අය ඈඳා ගත යුතුයි, නැත්නම් කුඩා කන්ඩායම් තමන්ගේ කොටස්කරුවන් කරගත යුතු යැයි සිතීමත් ඇතිවුවොත් ආරම්භයේම මෙම එකතුව අසාර්ථක වී යනු ඇත. ඇත්තවසයෙන්ම සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් මේ ආරම්භක එකතුවේ ක්‍රියාත්මක වේ නම් එයම අනෙකුත් කණ්ඩායම් සහ පක්ෂවලටත්, ප්‍රගතිශීලී ජනතාවටත්, විවිධ මත දරන නමුත් මේ පවතින ක්‍රමයට එරෙහි සියලුම කණ්ඩායම් වලටත් මෙම බලවේගයට එකතු වීමට එයම කාරණයක් සපයනවා නියතය.

ජනතා විමුක්ති පෙරමුණ  හමුවෙහි ඇති අභියෝගය

ජනතා විමුක්ති පෙරමුණ වැනි කණ්ඩායම් වලට තමන් අතීතයේ කළ දේශපාලන වැරදි පිළිබඳව ප්‍ර‍රසිද්ධියේ කතා කරන්න අවස්ථාව මෙම බලවේගය තුළ සදා ගන්නේ නම් එය මෙම කණ්ඩායම් ශක්තිමත් වීමට තවත් හේතුවක් වනු නොඅනුමානය. මෙම එකතුව තුල ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන බලවේගයක් හෙයින් එය මෙම බලවේගයේ වැඩීමට ඉතා වැදගත්ය. විශේෂයෙන්ම සුළු ජන කණ්ඩායම් වල අයිතිය සඳහා බලය බෙදා හැරීම වැනි තේමාවන් අරභයා ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ වැරදි මතයක් දැරූ බව වේදිකාවේ පැවසීමට ඔවුන් නිහතමානී වියයුතුය. තම විරුද්ධවාදීන් ඝාතනය කිරීමේ ඉතිහාසයක්ද දේශපාලනව වසයෙන් ජනතා විමුක්ති පෙරමුණ දැරූ බව නොරහසකි. නමුත් ලංකා දේශපාලනයේ යෙදී සිටින ප්‍රධාන පක්ෂ සහ කණ්ඩායම් වලින් මිනීනොමැරූ කණ්ඩායමක් සොයා ගැනීමට නැති තරම්ය. එක්සත් ජාතික පක්ෂය ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද, අනිකුත් වාමාංශික පක්ෂ ද, දෙමළ පක්ෂ ද මිනීමැරුම් වල කොටස්කරුවන් වී ඇති බව නොරහසකි. ඒ හැරුනුවිට ජවිපෙ හැර අන් සෑම පක්ෂයකම පාහේ දූෂන සහ හොරකම් පිලිබඳ චෝදනා ලද අයගෙන් පිරීතිබේ. නමුත් ඔවුනට ඡන්දය දීමට මිනිසුන් සූදානම්ය. එසේනම් ජනතා විමුක්ති පෙරමුණ තමන් විසින් කළ වැරදි තමන් විසින්ම විවේචනාත්මකව කතා කරමින් තමන්ගේ වැරදි හදාගෙන ඉදිරියට ගමන් කිරීමට සූදානම් වේ නම් ඒයම ඔවුන්‌ගේ අවංකබව තහවුරු කිරීමට හේතුවනු ඇත. ඒ නිසාවෙන්ම විශාල ජන කණ්ඩායමක් ඔවුන් සමග මෙම බලවේග සමග ඒකරාශී වීමට හේතුවන බව නියතය. නමුත් දේශපාලනයේදී අත්‍යවශ්‍ය සාධකයක්වන අවංකභාවය ඒ සඳහා අවශ්‍ය බව මගේ වැටහීමයි. පවතින පක්ෂ අතර දේශපාලන අවංකභාවය එක්තරා ප්‍රමාණයකට හෝ ඇති ජනතා විමුක්ති පෙරමුණ වැනි කණ්ඩායම් වලට තවත් නිවැරදි පැත්ත කරා ගමන් කිරීමට මෙම බලවේගය මාර්ගයක් කර ගත යුතු බව මගේ වැටහීමයි. ලංකා ඉතිහාසය සහ ලංකා දේශපාලනය දෙස බලන විට විශාල වැරදි නොකළ දේශපාලන කණ්ඩායම් නොමැති හෙයින් මොවුන් අතරින් ඉදිරියේ දී වැරදි නොකරනවා යයි අවංකව පෙනී සිටින අනෙකුත් අය සමඟ එකට අත්වැල් බැඳගන්න කණ්ඩායමකට බලය ලැබීම රටට වැදගත් වෙයි. 

මෙවැනි පොදු ඒකතුවකට අත්‍යාවශ්‍ය සාධකයක් වන්නේ,පොදු බව යනු අප හැමගේ අදහස් සමග අප එකට එකතුව, අවම මත එකඟතාවයකට ඒම මිස මගේ මතයට ඔවුන් අවනත කරගැනීම යයි මා සිතන තුරු මට කිසි දිනක පොදු බවෙහි කොටස්කරුවකු විය නොහැක.

 

 

 

 

 

.

 

 

 

 

 

Archive

Latest news

Related news