Friday, April 26, 2024

අන්තර් ජාතික විරෝධය නොසළකා යුද හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා පත්කිරීම ගෝඨාභයට දුන් හයියක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ඇතුළු බටහිර රටවලින් විරෝධයක් එල්ල වන බව නොසළකා ජනාධිපති සිරිසේන විසින් ලෙප්ටිනන්ට් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධුරයට පත් කිරීම ගෝඨාභය රාජපක්ෂට දෙන ලද තෑග්ගක් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ශවේන්ද්‍ර සිල්වා යනු යුද හමුදාව තුළ ගොඨාභය රාජපක්ෂගේ සමීපතම සෙනවියා විය. සුදු කොඩි රැගත් එල්ටීටීඊ ප්‍රධානීන් සහ සාමාන්‍ය ජනයාට වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් ද චෝදනා ලබා සිටින්නේ ශවේන්ද්‍ර සිල්වා ය.  ගෝඨාභයගේ විශ්‍රාමික යුද හමුදා නිලධාරීන් අතරට ශවේන්දු සිල්වා ද දිනෙක එක්වීමට බෙහෝ ඉඩ තිබේ.

යුද අවසානයෙන් පසු රාජපක්ෂ ආණ්ඩුව, ශවේන්ද්‍ර සිල්වා නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජ්‍ය තානාපතිවරයා ලෙස පත් කළේ ය. ඔහු 2010 සිට 2015 දක්වා එම තනතුර දැරුවේ ය.

ශවේන්ද්‍ර සිල්වා යුද්ධයේ අවසාන සමයෙහි 58 වන ඩිවිෂනය බාරව කටයුතු කළේ ය. එම කාලයෙහි ඔහු යටතෙහි අන්තර් ජාතික මානුශීය නීතිය සහ මානව හිමිකම් කෙළෙසූ බවට චෝදනා ඉදිරිපත් වී තිබේ.

ශවේන්ද්‍ර සිල්වා මෙම තනතුරට පත්කිරීම මගින් මානව හිමිකම්  කවුන්සිලයේ 30/1 දරණ යෝජනාවට අනුකූලව ශ්‍රී ලංකාවෙහි යුක්තිය සහ වගවීම ඇති කිරීමට දරුණු ලෙස බාධා ඇතිවනු ඇතැයි, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වන මිෂෙල් බෂලේ කියා සිටියා ය. මෙම පත් කිරීම විසින් සහජීවනය සඳහා දැරෙන ප්‍රයත්න දුර්මුඛ වනු ඇතැයි තවදුරටත් ප්‍රකාශ කළ ඇය මෙමගින් එක්සත් ජාතීන්ගේ සාම සාධක කාර්‍යයන්හි නිරතවීමේ ශ්‍රී ලංකාවේ හැකියාවටද බලපානු ඇතැයි කීවාය.

 

ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම ගැන සිය කණස්සල්ල පළ කළ ඇමෙරිකා එක්සත් ජනපදය කියා සිටියේ ඔහු සම්බන්ධයෙන් ඇති මානව හිමිකම් කෙළෙසීම් චෝදනා විශ්වසනීය බවයි.

මෙම පත්කිරීම අරභයා ප්‍රකාශයක් කළ ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කාර්යාලය කියා සිටියේ මෙමගින් මාකව හිමිකම් කවුුන්සිලයට ශ්‍රී ලංකාව දී ඇති පොරොන්දු බරපතල ලෙස ප්‍රශ්ණ කැරෙන බවය. එමෙන්ම මෙමගින් සහජීවනය සදහා දැරෙන ප්‍රයත්න අඩපන කෙරෙනු ඇති බවත් යුද වින්දිතයිනට සහ දිවරැකගත්තවුනට බියජනක පනිවිඩයක් යැවෙනු ඇති බවත් ප්‍රකාශ කළා ය.

මීට අමතරව කැනඩාව ද මෙම පත්කිරීම මගින් ශ්‍රී ලංකාවෙහි සහජීවන ක්‍රියාදායම අඩපන කෙරෙනු ඇති බව කියා සිටියා ය.

අද සවස ප්‍රකාශයක් නිකුත් කළ ශ්‍රී ලංකාණ්ඩුව එම විවේචන ප්‍රතික්ෂේප කර තිබේ.

Archive

Latest news

Related news