Wednesday, May 1, 2024

ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂකයා 18දා ගාලුමුවදොර ජනරැලියෙහි දී – ටිල්වින් සිල්වා

මේ වෙනකොට අපේ රටේ ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් දේශපාලන කතාබහක් ඇතිවී තිබෙනවා. සමාජ, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික හැමපැත්තෙන්ම විශාල අර්බුදයක තිබෙන අවස්ථාවක තමයි අපි දැන් ඉන්නේ. වසර 71ක ධනේශ්වර පාලනයේ ශේෂ පත්‍රය තමයි ඉතා බරපතල ලෙස පැනනැගුන මේ සියලුම අර්බුද. ආර්ථිකය ගොඩනගන්න මේ පාලකයන් අසමත් වුණා වගේම සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව තුළ ජාතික සමගිය ගොඩනගන්නත් අසමත් වී තිබෙනවා. ආර්ථික වශයෙන් විතරක් නොවෙයි, සංස්කෘතික වශයෙන්, ජාති, ආගම්, ලිංගිකත්වය නිසා පීඩාවට පත්වුණු ජන කණ්ඩායම් ඉන්නවා. රටක් ලෙස සියලු ජන කොටස්වල අයිතිවාසිකම් පිළිගන්න අසමත්වෙලා. රට රකින්න හෝ රට ගොඩනගන්න මේ දක්වා සිටි සියලුම පාලකයන් අසමත්වීමේ ප්‍රතිඵල පහුගිය අවුරුදු 40ක කාලය තිස්සේ විශේෂයෙන් අත්දකිනවා.

මේ නිසා අපේ රටේ ආර්ථිකය ගොඩනගන්න, සමාජ සාධාරණත්වය ඇති කරන්න, ජාතික සමගිය ගොඩනගන්න හැමදෙනාගේම අයිතිය පිළිගනිමින් සියලුම සමාජ කොටස්වලට සාධාරණත්වය අත්කර දෙන කිසිවෙකු ප්‍රතික්ෂේප නොකර නව සමාජයක් ගොඩනගන්න අවශ්‍යයි. මේ වෙනුවෙන් විකල්ප දේශපාලන බලවේගයක් හැටියට ගොඩනැගෙන ව්‍යාපාරයකින් මහජනතාවගේ පාලනයක් ගොඩනැගීමේ කාර්යභාරය මේ සංවිධානයෙන් ඉටුකරමින් ඉන්නවා. තර්කානුකූලව හිතලා නිවැරදි තීන්දු තීරණ ගන්නා ජනතාවක් වෙනුවට දේශපාලන නායකයන්ගේ පිටුපස ගමන් කරන බැතිමතුන්ගේ තත්ත්වයට පත්වුණු ඡන්දදායකයෝ පිරිසක් නිර්මාණය කරලා තියෙන්නේ. මේ වගේ තැනක වෙනසක් ඇති කිරීම ඉතාම දුෂ්කර කාර්යයක්.

මේ දක්වා රට පාලනය කළ පිරිස ප්‍රතික්ෂේප කරන ජනතාවගේ ප්‍රමාණය ඉහළ යමින් තිබෙනවා. මෙතෙක් රට පාලනය කළ දෙපිළටම රට ගොඩනැගීමේ ඕනෑකමක් හෝ ඒ වෙනුවෙන් සමාජ ආර්ථික ප්‍රතිපත්ති හෝ ඇත්තේ නැහැ. ඔවුන් පවතින තත්වය පාවිච්චි කරලා තම තමන්ට පුද්ගලිකව බලය ගන්න ව්‍යාපෘතිවල ඉන්නේ. බොරදියේ මාලුබෑමේ ප්‍රතිපත්තිය මිසක්, රටට අලුත් මගක් හඳුන්වාදෙන දේශපාලන ක්‍රියාමාර්ගයක් ඔවුන්ට නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කණ්ඩායමත් එක්සත් ජාතික පක්ෂයත් තමන්ගේ අපේක්ෂකයා තෝරා ගැනීමේ සංවාදයක මිස රට ගොඩනැගීම ගැන කිසිම සාකච්ඡාවක් ඔවුන්ට නැහැ. ජනතාව කල්පනා කරන්නේත් කිසියම් නායකයෙකුට ඡන්දය දීලා ඔවුන්ගේ පසුපස යාමෙන් තමන්ගේ ප්‍රශ්න විසඳාගත හැකි බවයි.

මේ තනි තනි නායකයන් ඉතිහාසය පුරාම ඔප්පුකර තිබෙන්නේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ඔවුන්ට බැරි බවයි. ඒ ප්‍රශ්න විසඳන්න නම් දැවැන්ත මහජන ව්‍යාපාරයක්, ඒ ව්‍යාපාරයකින් ක්‍රියාවට නගන ප්‍රතිපත්ති, ඒ වෙනුවෙන් දැවැන්ත කැපකිරීම්, අවංකකම අවශ්‍යයයි. බලය වෙනුවෙන් හා වරප්‍රසාද වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන්ට සමාජයක් වෙනස් කරන්න බැරිබව ඉතිහාසය පුරාම ඔප්පුකර තිබෙනවා. නමුත් අපේ රටේ එවැනි දේශපාලනයක් ගැන ජනතාවගේ සංවාදය කිසිසේතම ප්‍රමාණවත් නැහැ. සමහර නායකයෝ ජනාධිපති අපේක්ෂකකම ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්න අතර, ඒ අයගේ බිරින්දෑවරු ජනාධිපති ආර්යාවන් වීමේ සිහින දකිනවා. මේ අයට රටක් හදන්න පුළුවන් කියල අපි විශ්වාස කරන්නේ නැහැ. මේ රට වෙනස් කරන්න ඕනෑ කරන ප්‍රතිපත්ති ඒ අනුව ක්‍රියාමාර්ගත් ගොඩනගා ගනිමින් ඒ දේශපාලනය වටා දැවැන්ත මහජන බලවේගයක් ගොඩනගා ගැනීමට ජාතික ජන බලවේගය පිහිටුවාගෙන තිබෙනවා.

වසන්ත දිසානායක අදහස් දක්වමින්

වසර 71ක තට්ටුමාරු දේශපාලනය ප්‍රතික්ෂේප කරලා අපේ රට අලුත් මාවතක ගෙනියන්න එකතුවුණු සංවිධාන සහ කණ්ඩායම් රැසකින් ජාතික ජන බලවේගය වටා අපේ රටේ ජනතාව ඒකරාශීකර ගැනීමේ දැවැන්ත රැළියක් අගෝස්තු 18 වෙනිදා ගෝල්ෆේස් පිටියේදී අපි පවත්වනවා. මේ බලවේගයේ මූලික අරමුණ මැතිවරණය වෙනුවෙන් ක්‍රියාකිරීම නොවෙයි. ඊට වඩා දිගුකාලීන සැලසුම් අපිට තිබෙනවා. නමුත් ඒ අතර අප ඉදිරියට එන මැතිවරණවලටත් මුහුණ දෙනවා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා අපි මේ දැවැන්ත මහජන රැළියේදී රටට හෙළිදරව් කරනවා. ජාතික ජන බලවේගය වටා එකතුවන ලෙස නැවතත් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

 

ජාතික ජන බලවේගය නම් ප්‍රගතිශීලී  ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ සහ සංවිධාන ගණනාවක් එකතු වී ගොඩනඟාගෙන තිබෙන සංවිධානය විසින් පවත්වන ලද ප්‍රථම මාධ්‍ය හමුවෙහි දී ජවිපෙ ප්‍රධාන ‌ලේකම් ටිල්වින් සිල්වා විසින් පවත්වන ලද කතාව ලංකා ට්රුත් ඇසුරෙනි. මෙම මාධ්‍ය හමුවේ දී විප්ලවීය සමාජවාදී කේන්ද්‍රෙය් වසන්ත දිසානායක, වමේ කේන්ද්‍රයේ මහින්ද රත්නායක, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජන නියමු කලාකාරැවෝ සංවිධානයේ කමල් පෙරේරා ජාතික විද්වත් සංවිධානයේ ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරු අදහස් දැක්වූහ.

Archive

Latest news

Related news