Saturday, April 20, 2024

ඇතුගල්පුර අවනීතිය සහ නීතියේ පාලනය – සුනන්ද දේශප්‍රිය

මුලින් මෙහෙම හිතන්න.

පාසල් ගුරුවරයකු වන අතරම සවස් භාගයේ ත්‍රී රෝද රථයක් පදවමින් ජීවිකාව කරගෙන යන  මැදි වයස් පියෙකු  සිටියේ ය. සවස 5.00ට පමණ ත්‍රී රෝද රථය පණ ගන්වන ඔහු රාත්‍රී 11.00 පමණ වන තුරු ටැක්සි සේවාවෙ හි යෙදෙයි. ඔහුට දියණියක සිටින අතර ඇය නගරයේ පාසැලක හොදින් සිප් සතර හදාරයි. ගුරුවරයාගේ  බිරිඳ නිකරුණේ කාලය ගත කරනවා වෙනුවට ඇදුම් මසා නගරයේ කඩවලට දී මුදල් ලබා ගනී. උපයන මුදල ඉතිරි කරමින් ඔවුහු දෙදෙනා අංලකාර නිවාසයක් ගොඩ නඟා ගනිමින් සිටියහ.

අල්ලපු වත්තේ ජීවත් වන්නේ පොලිස් නිලධාරියෙකි. ඔහුද රෑ දහවල් නැතිව වැඩ කරන මුත් ඉතිරියක් නැත. ඊට හේතුව දන්නේ ඔහුම පමණි. ඔහු විවාහ වී සිටින්නේ නගරයේ නඩුකාරයාගේ සහෝදරියක සමඟය. ඔවුන්ට දරුවන් ද නැත. අවිවාහකයකු වන නඩු කාරයා ගුරුවරයාගේ බිරිඳට ජරා ඇහැ දැමීම නිසා නෝක්කාඩුවක් හදා ගෙන තිබුණි. මේ ගැන කතා කිරීමට සිය නඩු කාමරයට එන්නැයි කී නමුත් සිය ආත්ම ගරුත්වය මුල්තැන්හි සලකන ගුරුවරයා එහි ගියේ නැත. නඩුකාරයා සහ පොලිස් නිලධාරියා සමඟ සාද දැමීමට එක්වන නගරයේ රස පරීක්ෂකවරයා ද අලුතින් සැපවත් වන ගුරුවරයාගේ පවුල සමඟ අමනාපයෙන් සිටියේ මේ පසුබිම තුළය. මේ බීම සාදයන්ට එක්වී පොලීසියේ අනුහසින් අපරාධ වාර්තාකරණයෙහි යෙදෙන පත්තරකාරයකුද මේ සමාගමයේ සිටියේ ය.

දිනක් ගුරුවරයාගේ ත්‍රී රෝද රථයට නැගුණූ නාදුනන අයෙක් පොලීසිය ඉදිරියෙන් බැස යන්නට ගියේ ය. රථය පණ ගන්වා ඉදිරියට ඇදෙත්ම‍ අහවල් පොලිස් නිලධාරියා පැමිණ ත්‍රී රෝද රථය නවත්වා එය පරීක්ෂා කළ යුතු බව කීවේ අසළ නගරයක බෝම්බ පිපිරීමක් වී තිබූ නිසා ය. රථයේ පසුපසට එබී බැලූ පොලිස් නිලධරයා ආසනය පිටුපස පාර්සලයක් තිබෙනු වහාම දුටුවේ එය රැගෙන බසින ලෙස  අණ කළේ ය. අන්ද මන්ද වූ ගුරුවරයා පාර්සලය දෑතින්ම  ගෙන බැස ගත් වහාම තවත් පොලිස් කොස්තාපල්වරු රෑනක් පැමිණ ඔහු පොලීසිය තුළට ගත්හ.

අහම්බයකට මෙන් නගරයේ රස පරීක්ෂකවරයා පොලීසියට පැමිණ සිටි අතර පාර්සලයේ ඇත්තේ හෙරොයින් බව සහතික කර කීවේ ය. රස පරීක්ෂකවරයා හමුවට ඒ් වේලාවේ ම පැමිණ ලක ලැහැස්තිව සිටි පත්තරකාරයාට මෙය රස බොජුනක් විය. ‘අලුත ධනවත් වූ ගුරුවරයකු හෙරොයින් සමඟ අල්ලයි’ කියා ඔහු විගස වාර්තාවක් ලීවේ ය. මේ ගුරුවරයා සිය රූමත් බිරිඳ ලවා මතුකුඩු ජාවාරම් කරවන බවත් ඉක්මනින් ධනවත් වී ඇත්තේ එ නිසා බවත් ජායාරූප සහිත කුණු රස වාර්තාවක් පසුදා පත්තර පිටුවක් පුරා පළ විය. ඉඩම් ආරවුලක් නිසා  ගුරුවරයා සමඟ අමනාපයෙන් සිටි පන්සලේ හාමුදුරුවෝ පසුදාම ගුරුවරයාගේ නිවෙස වටලා උද්ඝෝෂණයක් පවත්වන ලදී. එය වාර්තාකිරීමට පත්තර කාරයෝ රැසක්ම ආහ.

පසුදා උසාවියට ඉදිරිපත් කරන  ලද ගුරුවරයාට දරුණු ලෙස දෝෂාරෝපණය කරන ලද නඩුකාරයා, සිය බිරිඳ අනාචාරයේ යවා කුඩු වෙළදාම් කරන්නේ යැයි බැණ වැදුණේ ය. කුඩු වෙළෙන්දන්ට සමාවක් දිය නොහැකියැයි කියා ගුරුවරයා සිර ගත කළේ ය. හාමුදුරුවෝ සිය ආවතේවකාරයන් සමඟ උසාවිය ඉදිරිපට උපවාසයක නිරත වූයේ ‘කුඩු නැති කරනු’යි කියමිනි. නඩුකාරයාගෙන් අනිසි වාසි ලබා ගැනීමට පොරකන නීතිවේදීහු රැළක්ම නඩුකාරයාට ජයවේවා යැයි කෑගසමින් බාර් එක වෙත පියවර නැගූහ. පොලිස්කාරයා සිටියේ ද එතැන ය. පත්තර කාරයා සිටියේ වමනය දමමිනි..

පොලීසිය ද රස පරීක්ෂකවරයාද පත්තරකාරයාද ගමේ හාමුදුරුවෝද ගුරුවරයාට විරුද්ධව සාක්ෂි දෙන ලදී. තමාගේ ත්‍රී රෝද රථයට නැග පොලීසිය අසළින් බැස ගිය පුද්ගලයා නිල ඇදුමක් හැඳ සිටිනු ගුරුවරයා උසාවියේ දී දැක්කේ ය. නමුත් හෙරොයින් පාර්සලයේ තිබූ ඇඟිළි සළකුනු ගුරුවරයාගේ බව සනාථ වී තිබුණි. ගුරුවරයාට මරණ දඩුවම හිමිවිය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම දීමට දිව්රා බලයට ආ  ජනාධිපතිවරයා වහා ඔහු ගෙල වැළලා මරාදමන  නියෝගයට අත්සන් කළේ ය.

ඇත්ත කතාව එකී මන:කල්පිතයට වෙනස් නැත. ඊටත් වඩා භයංකාරය. කල්ලි ගැසුණු බලවතුන් විසින් සිය විරැද්ධවාදීන් විනාශ කිරීම පිනිස නීතිය අවභාවිත කිරීම තරම් භයානක අවනීතියක් නැත.

විශාල ජීවිත විනාශයක් ඇතිකරමින් අප්‍රේල් 21 වනදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයන් නිසා රට ගිනියම් වී තිබුණි. ත්‍රස්ත ප්‍රහාර එල්ල කරන ලද්දේ තව්හිද් ජමාද් නමන් කියැවෙන ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් නිසා ඒ් වන විටත් ඔඩු දුවා තිබූ මුස්ලිම් විරෝධය හිනි පෙත්තටම නැග තිබුණි. එම පසුබිම තුළ මීගමුවෙහි ද කුරුණෑගල දිස්ත්‍රක්කයෙහි ද දරුණූ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වී මහත් විපතක් ඇති කර තිබුණි.

මැයි 23වන දින සිංහල බෞද්ධ කාන්තාවන් 8000ක් වඳ කළ තව්හිද් ජමාද් වෛද්‍යවරයකු ගැන වාර්තාවක් හේමන්ත රන්දුණු දිවයින පුවත්පතෙහි පළ කළේ ය. එවැනි පැමිණිල්ලක් තමන්ට ලැබී නැතැයි පොලිස් මූලස්ථානය කියත් දී එම වෛද්‍යරවරයා කුරුණෑගල රෝහලේ සාෆි ශහබ්දීන් යැයි ‘වියත් මඟ’ ප්‍රධානියකු වන චන්න ජයසුමන ප්‍රසිද්ධ කළේ ය.

වෛද්‍ය චන්න ජයසුමන රජරට පැතිර ඇති වකුගඩු රෝගයට නොපෙනෙන නාථ දෙවියන්ගෙන් උපදෙස් ලබා ගන්නා බව කියමින් සිටි අතර වකුගඩු රෝගයට හේතුව සම්බන්ධයෙන් වෛද්‍ය සාෆිගේ බිරිඳ වන වෛද්‍ය ඉමාරා වෙනත් අදහස් ප්‍රකාශ කර තිබුණි.

වෛද්‍ය චන්න ජයසුමන සහ කුරුණෑගල රෝහලෙහි අධිකාරී දන්ත වෛද්‍ය වීර බණ්ඩාර එකම දේශපාලන ව්‍යාපාරයකට සහය දුන්හ. එය  සිංහල ජාතිකවාදී ව්‍යාපාරයකි.

සාෆිට එරෙහිව පැමිණිළි නොතිබුණ ද අයථා ලෙස මුදල් පරිහරණය කරන ලදැයි කියමින් 24 වන දින ඔහු අත් අඩංඟුවට ගන්නා ලදී. සාෆි පිළිබඳ ව්‍යාජ වාර්තාව දිවයින පුවත්පතට සපයා තිබුණේ ද මෙම අත් අඩංඟුවට ගැනීමේ නියෝගය නිකුත් කරන ලද පොලිස් අධිකාරී කිත්සිරි ජයලත් යටතේ ය.

අනතුරුව වෛද්‍ය සාෆි පිළිබඳ පැමිණිළි ඉදිරිපත් කරන සේ කුරුණෑගල පොලීසිය ඉල්ලීමක් කළේ ය. මව්වරු 700ක් පමණ පැමිණිලි කරන ලදී. 24 දාතමින් යුතුව පොලීසිය ඉදිරිපත් කළ කට උත්තර හතරක් ගෙන තිබුණේ 26 වන දින බව අධිකරණය හමුවෙහි සනාථ විය.

පොලිස් අධිකාරී කිත්සිරි ජයලත්ගේ බිරිඳ ද වෛද්‍යවරියකු වූ අතර ඇය සහ වෛද්‍ය ඉමාරා අතර මතවාදී වෙනස්කම් තිබුණි. අත්අඩංඟුවට ගත් වෛද්‍ය සාෆි ඉදිරිපත් කරන ලද්දේ කුරුණෑගල මහේස්ත්‍රාත් වූ සම්පත් හේවාවසම් ඉදිරිපිටය. හේවාවසම්ගේ බිරිඳ ද කුරුණෑගල රෝහලෙහිම සේවය කරන වෛද්‍යවරියකි. වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරු සහ වෛද්‍යවරියෝ බෙදී සිටියහ.

වෛද්‍ය සාෆි පිළිබඳ නඩු විභාගය අතරතුර මහේස්ත්‍රාත් හේවාවාසම් සිය බිරිඳගේ ප්‍රධානියා වන රෝහල් අධිකාරී වීර බණ්ඩාරට ප්‍රකාශයක් කිරීමට ඉඩ ලබා දුන්නේ පැමිණිලිකාර මව්වරුන් පැලෝපීය නාල පරීක්ෂාවට නොයා යුතු බවට කරුණු දැක්වීමට ය. ඔහුට නඩුවට කිසිදු සම්බන්ධයක් තිබුණේ නැත. වීර බණ්ඩාර දන්ත වෛද්‍යවරයකු වන අතර පැලෝපීය නාල පරීක්ෂාව ගැන විශේෂඥ මතයක් ප්‍රකාශ කළ හැකි අයකු ද නොවී ය. පසුව මහේස්ත්‍රාත් හේවාවසම් දන්ත වෛද්‍ය වීර බණ්ඩාරගේ ප්‍රකාශය නීති විරෝධී ලෙස නඩු වාර්තාවලින් ඉවත් කළේ යැයි රහස් පොලීසිය චෝදනා කළේ ය.

රහස් පොලීසිය කරන ලද විධිමත් පරීක්ෂණයකට අනුව වෛද්‍ය සාෆි කිසිදු ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ නැති බව තහවුරු විය. වෛද්‍ය සාෆී විසින් වන්ද්‍යානුකරණයට ලක් කරනලදැයි රූපවාහිනි නාලිකාවන්හි කඳුලු පෙරූ කිසිදු මවක් කොළඹ කාසල් රෝහලෙහි සූදානම් කරන ලද පරීක්ෂණයට නොපැමිණියේ ය. ‍වන්දානුකරණ චෝදනාව සනාථ කිරීමට එකද සාක්ෂියක් හෝ නොලැබුණි.

මැයි 25වන දා වන තුරු වෛද්‍ය සා‌ෆිට එරෙහිව කිසිදු පොලිස් පරීක්ෂණයක් නොතිබූ බවට නියෝජ්‍ය පොලිස්පති කතානායකතුමාට පවා දන්වා තිබුණි. පොලිස් මූලස්ථානයේ ස්ථාවරය වූයේ ද එයයි. නමුත් හදිසියේම මැයි 22වන දින කළැයි කියන පැමිණිල්ලක් සහ පරීක්ෂණයක් ගැන බී වාර්තාවක් කුරුණෑගල මහේස්ත්‍රාත් උසාවියෙන් මතුවිය. ඒ්වා ඉතා පටලැවිලි සහගත ය. මේ වනාහී පසුව සකස් කොට අධිකරණයේ තැන්පත් කළ කූඨ ලේඛන බව කියනු ලැබේ.

මේ අතර පොලීසිය ස්වාධීන කිරීමට යැයි පිහිට වූ පොලිස් කොමිසම වෛද්‍ය සාෆී පිළිබද පරීක්ෂණය රහස් පොලීසියෙන් ඉවත් කළ යුතු බවට කියා සිටියේ හාමුදුරුකෙනෙකෙුගේ ඉල්ලීමට ය. කිසිදු වරදක් කර ඇති බවට ඔප්පු නොවූ නමුත් වෛද්‍ය සාෆි තවම හිරගෙදරය. රතන හිමි කියන්නේ සාෆි නිදහස් කිරීමට ඉඩ නොදෙන්නේ තමන් බවයි. (මෙම ලිපිය ලියූවේ 24වනදාය. 25වනදා වෛද්‍ය සාෆීට ඇප පිට නිදහස ලැබුණි)

පොලීසිය, අධිකරණය, වෛද්‍ය ප්‍රධානින් සමඟ හවුල් වූ දුරාචාර ජනමාධ්‍ය විසින් නිර්දෝෂකරුවකු උල තැබීම පිළිබඳ මෙම කතාව අහිංසකයින් වරදකරුවන් කිරීමට මෙරට බලවතුන් සතු අසීමිත බලය පිළිබද භයානක නිදර්ශනයකි.

වෛද්‍ය සාෆී ශිහබ්දීන්ට වන්ද්‍යනුකරණ චෝදනා ඉදිරිපත් කරමින් දිවයින පුවත්පත විසින් සමාජ ගත කරන ලද කතාව සහ පසුව ඇතිවූ සිද්ධි දාමය විසින් මෙරට නීතියේ පාලනය අපේක්ෂා කරන සියලු පුරවැසියන් බිය ගැන්විය යුතු වන්නේ  වෛද්‍ය සාෆී ශිහබ්දීන් පිළිබඳ කාරණය නිසාම නොවේ. නීතියට පිටින් කල්ලි ගැසුණූ බලවතුන් කිහිප දෙනෙකුට මෙරට සමාජයේ ජීවත්වන ඕනෑම පුරවැසියකු විනාශ කළ හැකි අන්දම ඒ විසින් අප දෑස් අභිමුව මුණ ගස්වන නිසා ය.

මෙවැනි ඉරණමට මෙරට ඕනෑම සාමන්‍ය පුරවැසියකුට අත්විය හැකිය. රටක සියල්ලටම ඉහළින් නීතියේ පාලනය පැවැතිය යුත්තේ මේ නිසා ය.

 

 

 

 

 

 

 

Archive

Latest news

Related news