Thursday, April 25, 2024

රස කර පැතිරෙන අසත්‍ය තොරතුරු සමඟ සටන් කළ හැක්කේ ‌‌කෙසේ ද? – සුලෝචනා රාජපක්ෂ

අන්තර්ජාලය හේතුකොට ගෙන තොරතුරු හුවමාරු කරගැනීමේ සාර්ථකභාවය ඉතා ඉහළ ගොස් ඇත. පත්තරයකින්, ටී.වී සහ රේඩියෝ යන මාධ්‍යන්ගෙන් තොරතුරු ලබා ගැනීමට හුරු වී සිටි අපි, අන්තර්ජාලය ඔස්සේ එන තොරතුරු වලට වහල් වීමට හුරු වී වැඩි කලක් නොමැත.

 අන්තර්ජාලයෙහි හොඳ පැති ගැන කියනවා නම්, එයට පුළුවන් ජනමාධ්‍යයේ මෙවලමකට වඩා ඉක්මනින් මනුෂ්‍යයන් වැඩි පිරිසක් දැනුවත් කරන්න. එහි නරකම පැත්ත තමයි ජනමාධ්‍යයේ අන් සෑම මෙවලමකටම වඩා එය මනුෂ්‍යයන්ගේ බුද්ධිය මොට කිරීමට ඉවහල් වීම.”

-නිව් යෝක් ටයිම්ස්හි කතුවැකිය-

අන්තර්ජාලය භාවිතයට පැමිණි විට ලොව වටා ඇති තොරතුරු ලබාගැනීමට මෙය විශ්වසනීය මඟක් ලෙස සිතමින් බොහෝදෙනෙක් උද්දාමයට පත් වූහ. නමුත් නිවැරදි තොරතුරු ලබාගත හැක්කේ කුමන ජාලා ඔස්සේද යන්න ඉතාම විවාදාත්මකය. අන්තර්ජාලය වැඩිපුරම සමීප තාරුණ්‍යයට යැයි පැවසුවොත් නිවැරදිය. තරුණ තරුණියන් විශාල වශයෙන් අන්තර්ජාලය ඔස්සේ තොරතුරු ලබා ගැනීමට සහ සන්නිවේදනයට යොමුව තිබීම වර්තමානයේ දැක ගත හැක. තාරුණ්‍ය නොමඟ යැවීම රටට ඉතා අහිතකර ලෙස බලපෑ හැක. රටේ මතු පරපුර සාවද්‍ය තොරතුරු මත පෝෂණය වීම ඉතා බැරෑරුම් තත්වයකට රට ඇද දැමීමට සමත්වේ. මෙහි හොඳ සහ නරක දෙකම පවතින බව සැබෑවකි.

මෙම තත්වය රට ගැටුම් කළකෝලාහල වලට ඇද දැමීමට සෘජුවම බලපානු ඇත. පසුගිය මාසයේ 21 වන පාස්කු ඉරු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ සාවද්‍ය තොරතුරු විශාල වශයෙන් සමාජ මාධ්‍ය ජලා සහ අන්තර්ජාලය ඔස්සේ මුදා හැරීම විශාල ලෙස ජනතාව තරුණ පරපුර නොමඟ යැවීමට හේතු සාධක විය. මෙම ත්‍රස්ත ප්‍රහාරය සිදු වී වැඩි වේලාවක් යන්නට මත්තෙන් සියළු සමාජ මාධ්‍ය ජාලා තහනම් කිරීමට රජය කටයුතු නොකරන්නට තත්වය තවත් භයානක වීමට ඉඩ තිබුණි.

වඳුරාට දැළි පිහිය හම්බුණා වාගේ

 මෙහි වගකීම මාධ්‍ය හසුරුවන්නන් මෙනම මාධ්‍ය මත යැපෙන පුරවැසියන් වන ඔබටත් මටත් ඇත. සෑම තොරතුරක් සහ ප්‍රවෘත්තියක්ම බුද්ධිමත් ලෙස විමසීමට හුරු වීම පුරවැසියන් ලෙස ඔබගේත් මගේත් වගකීමයි. නැතහොත් ඔබ පුරවැසියෙකු ලෙස සාවද්‍ය තොරතුරු ලබාගෙන කාගේ හෝ කූඨ උපක්‍රම වල ඉත්තෙක් වී නොමඟ යාමට ඇති ඉඩකඩ බොහෝය. කෙසේවෙතත් පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ඉතා පැහැදිළිවම ජාතිවාදය පැතිරවීමට සමාජ මාධ්‍ය ජාල දැඩි ලෙස යොදා ගත අතර තවමත් එය සිදුවෙමින් පවතී.

මෙම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ සමාජ මධයජාලා ඔස්සේ පැතිරුණු අසත්‍ය ප්‍රචාරයන් කිහිපයක් විමසුවහොත් මෙය ඉතා භයානක තත්වයක් යන්න වැටහෙනු ඇත.

පුරහල සහ රතු කුරුස සංවිධානය පුපුරුවා හැරිය බවට අසත්‍ය තොරතුරක් ප්‍රචාරය විය.

  • ජලනළ පද්ධතියට වස මිශ්‍ර කර ඇති බවට අසත්‍ය ප්‍රචාරයක් සිදු වුවත් ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිතුමන් විසින් මෙය අසත්‍ය ප්‍රචාරයක් බවට සියළු මාධ්‍ය වෙත දැනුම් දෙන ලදී.
  • සෛන්තමරුදු ප්‍රදේශයේ වෙඩි ප්‍රහාරයේදී හමුදා සෙබලුන් 17 මරාගෙන මැරෙණ බෝම්බ ප්‍රහාරය මඟින් මරණයට පත්වූ බවට අසත්‍ය පුවතක් වූවත් කිසිදු හමුදා සෙබළෙකු මෙමවෙඩි ප්‍රහාරයේදී මරණයට පත් නොවිණි.
  • 2019 අප්‍රේල් 25 වන දින පෙ.ව30 කොළඹ විශාල බෝම්බ ප්‍රහාරයක් සිදුවන බවට බුද්ධි අංශ මඟින් දැනුම් දුන් බවට පණිවිඩ කිහිපයක් ජනතාව අතර පැතිරුණත්, එය අසත්‍ය ප්‍රචාරයක් විය.
  • 2019 අප්‍රේල් 21 වන දින තවත් මරාගෙන මැරෙණ බෝම්බ ප්‍රහාරයක් යාපනයේදී සිදුවූ බවට අසත්‍ය ප්‍රචාරයක් සමාජ වෙබ් අඩවි තුළ සැරිසරණ ලදී.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුවද මුස්ලිම් ජනයා ඉලක්ක කොට ගනිමින් විශාල ලෙස වෛරය සහ ජාතිවාදී තොරතුරු පැතිරෙමින් පවතී. මේ අතර කිහිපයක් නම්;

  • මුස්ලිම් අවන්හල් වලින් වඳ පෙති ආහාර වලට දමා දෙන බවට
  • මුස්ලිම් ව්‍යාපාර එල්ල කරගත් විරෝධය
  • ඉස්ලාම් දහම ප්‍රචණ්ඩකාරී බවට
  • ඉස්ලාම් අගම අදහන සියල්ලන් ත්‍රස්තවාදීන් බවට

වට්සැප්, ෆේස්බුක් සහ ට්වීටර් මේ අතර ප්‍රධාන තැනක් ගනී. ඉතා වේගයෙන් මේ ජාල ඔස්සේ තොරතුරු ගලනය සිදු වේ. මෙම තොරතුරු කුමණ පදනමක් මත, කුමණ ආයතනයකින් නිකුත් කරන්නේද යන්න පිළිබඳ කිසිවෙකුටත් අවබෝධයක් නොමැත. මේ සියල්ල සමාජ ජාලා භාවිත කරන්නවුන්ගේ මොළ සේදීමට හේතු පාදකව ඇත. මොහොතක් නැවතී සිතී බැලුවහොත් ඔබ කාගේ හෝ දේශපාලන න්‍යායපත්‍රකය, කගේ හෝ ජාතිවාදී අරමුණු වල රූකඩ බවට පත්ව ඇති බව පසක් වනු ඇත. ඇඟිලි තුඩු මතට පැමිණෙන තොරතුරු තවකෙකු ලෙස ඇඟිලි තුඩු වලින්ම සන්නිවේදනය කිරීම ඉතා පහසුය. නමුත් මොහොතක් මෙම තොරතුරු සියල්ල මොළය ඔස්සේ ගමන් කිරීමට ඉඩක් ලබා දුනහොත් මෙම සමාජ ජාලා වහල් බවයෙන් ඔබ මිදෙනු ඇත.

වගකිවියයුතු පුරවැසියකු ලෙස අසත් තොරතුරු වලින් මිදීමට ඔබට කල හැක්කේ කුමක්ද?

  1. දේශප්‍රේමිත්වය ජාතිවාදය සඳහා කඩතුරාවක් ලෙස පාවිච්චි නොකරන්න

දේශප්‍රේමිත්වය සහ ජාතිවාදය යන දෙකම එකක් නොවන බව සිහි තබා ගන්න. ඔබ ජාති, ආගම් හෝ ජනවර්ගයට එරෙහිව පක්ෂපාතී හෝ ප්‍රචණ්ඩකාරී නම්, එම හැඟීම් සංසරණය කිරීමේදී දේශප්‍රේමී යයි පෙනී නොසිටින්නට වග බලා ගන්න. ඔබ පෞද්ගලිකව පක්ෂපාතීව සිටියත්, ජාතිවාදය හෝ දේශප්‍රේමිත්වය පසුපස සැඟවී නොසිට ඔබේ මතය සෘජුව පවත්වා ගන්න. දේශප්‍රේමී වීම යනු සිය පුරවැසිත්වය හෝ වාර්ගිකත්වය නොසලකා සෑම පුරවැසියෙකුටම එක හා සමානව ආදරය හා ගරු කිරීමයි. එය සැබෑ දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයකු සතු මුලික වගකීමයි.

  1. විස්තර සඳහා අවධානය යොමු කරන්න.

සියලුම පණිවිඩ ධාමයන් හා තොරතුරු ග්‍රැෆික් යම් අරමුණක් ඇතුව නිර්මාණය කර ඇත. සමහර විට මෙම අභිලාෂයන් පැහැදිලිය නොමැති අතර කෝපය, බිය හෝ ප්‍රචණ්ඩත්වය උත්සන්න කිරීමට මේවායින් අදහස් කෙරේ.

ඔබගේ පණිවුඩයේ උපුටා දැක්වීම හෝ පාදක කොට ඇති ඡායා රූප වල යටි අරමුණ පවතින උපන්යාසයන් ගැන සිතා බලන්න. මේවා බොහෝවිට වෛරය ජාතිවාදය පතුරවා දේශපාලන අරමුණු මුදුන්පත් කරගැනීමට සිදු කරන්නන් විය හැක.

. වර්ණ: වර්ණ හිතාමතාම භාවිතා කළ හැකිය (දේශපාලන පක්ෂ නියෝජනය කිරීමට, ශ්‍රී ලාංකීය ධජයේ වර්ණ ඉවත් කිරීම මඟින් සුළුතරයන් අවතක්සේරු කොට සැළකීම, රතු සහ කළු ප්‍රචණ්ඩත්වය මතු කිරීමට භාවිත කළ හැකිය)

. සංකේත (දේශපාලනික පක්ෂ නියෝජනය කිරීම,වාර්ගික මුලික බව (කහ සිංහයා), සියලුම ආගමික සංකේත ඇතුළත් කර ඇත්දැයි බලන්න)

. භාෂාව (විශේෂිත ජනවාර්ගික කණ්ඩායම් සඳහා යොදාගත් නින්දාසහගත වචන, ඔබේ පණිවිඩය ප්‍රචණ්ඩත්වය ඉල්ලා සිටීද)

  1. අරමුණ

. ඔබේ පණිවුඩය යැවීමෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? එය ඔබ යවන පුදගලයාට ප්‍රයෝජනවත්ද? මෙම පවතින තත්ත්වය සඳහා උපකාර මෙය යැවීම තුළ යම් උපකාරයක් ඇත්ද? ඔබට අවශ්‍ය වන්නේ කුමක්ද යන්න ගැන සිතා බලන්න, මෙම පණිවිඩය ලැබීමට ඇති බලපෑම සහ එහි බලපෑම ඊට වඩා වෙනස් එකක් වේවිද?

. ඔබ යවන තොරතුරු සහතික කර ගන්න. සැමවිටම මුලාශ්‍රය තහවුරු කර ගන්න. සාමාන්යෙන් සංසරණය වන්නේ කුමන ආකාරයේ අන්තර්ගතයන්ද, ඒවායේ පක්ෂපාතීත්වය කුමක්ද, මෙම පණිවුඩය ප්‍රවර්ධනය කිරීමෙන් ඔවුන් ලබන ප්‍රයෝජනය කුමක් ද?

  1. සංවේදී වන්න

. ඔබගේ පණිවිඩයට සෘජුව සම්බන්ධ වන අය ගැන සලකා බලන්න (එම පණිවිඩයට අදාළ පවුල් සහ වින්දිතයන් යනඅය). මෙම පුවත ඔබ හෝ ඔබගේ පවුලේ කෙනෙකු පාදක කොට ඇත්නම් මෙය මෙසේ සමාජ ජාලා ඔස්සේ සංසරණය වීම පිළිබඳ ඔබට කුමණ හැඟීමක් ඇති වේද?

උදා: මරණයට පත්වූ අයගේ සිරුරු සහිත ඡායාරූප

ඕනෑම කෙනෙකුට අන්තර්ජාලයට, සඟරාවකට හෝ පොතකට ඕනෑම දෙයක් ඇතුළත් කළ හැකියි. එමනිසා, අප විචාර බුද්ධියෙන් කටයුතු කරමින් ඒ පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගැනීමට උත්සුක විය යුතුයි. එවිට අප කියවන ඕනෑම දෙයක් ඉක්මනින්ම විශ්වාස කිරීමට අප පෙලඹෙන්නේ නැත. අපට නිවැරදි තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම් එය ලබාගන්නා මූලාශ්‍රය විශ්වාසදායකද කියා සහතික කරගත යුතුයි. මේ සඳහා කාලය ගත වෙයි. නමුත්, අප එසේ කර නිවැරදි තොරතුරු ලබාගන්නා විට නැණවත් ලෙස සිතීමට, හරි විනිශ්චයන් කිරීමට සහ ආත්ම විශ්වාසයකින් යුතු වැදගත් තීරණ ගැනීමට අපට හැකි වෙයි.

රස කර කර සමාජ මාධ්‍යජාල ඔස්සේ ජාතිවාදය සහ වෛරය වැපිරීමට තිත තැබීම වගකිවියයුතු සෑම පුරවැසියකුගේම වගකීමයි. විශේෂයෙන්ම හෙටදින රට බාරගන්නට සිටින තරුණ පරපුර මේ පිළිබඳව ඉතාම වගකීම් සහගත විය යුතුය. ඔබේ ඇඟිලි තුඩින් රටක් අළු නොකරන්න.

Archive

Latest news

Related news