Friday, April 19, 2024

දොස්තර සාෆි සිදුවීම: ‌කතාව දුන්නේ ඩී.අයි.ජී – දිවයින; මං ඒහෙම කිව්වේ නෑ – ඩී.අයි.ජි‍; ‌චෝදනා ‌බොරු – රහස් පොලීසිය

සාෆි ශිහබ්දීන් වෛද්‍යවරයාට එරෙහි චෝදනා සනාථ නොවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27) අධිකරණයට දැනුම් දුන්නේය.

මහත් ආන්දෝලනයකට තුඩු දුන් වෛද්‍ය සාෆි ශිහබ්දීන් මහතා සැත්කම් අතරතුරදී සිංහල බෞද්ධ කාන්තාවන්ගේ සිසේරියන් සැත්කමට භාජනය කරද්දී ඔවුන්ගේ පැලෝපීය නාලය මිරිකා ඇතැයි දිවයින පුවත්පත කළ වාර්තා කිරීම අසත්‍ය බව ඔහු යටතේ සහ ඔහු සමඟ සේවය කළ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු විශාල පිරිසකගෙන් ලබා ගත් ප්‍රකාශවලින් සනාථ වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

පිටු 200කටත් වැඩි වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ මෙම වෛද්‍යවරයා අයථා වත්කම් උපයාගෙන ඇතැයි කියමින් කුරුණෑගල පොලිසියෙන් අත්අඩංගුවට ගනිද්දී අක්‍රමිකතා සිදුවී ඇති බවයි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට හෝ රඳවා තබාගැනීමට තරම් සාධක නැතිව වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග ලබා ගෙන තිබෙන බව ද රහස් පොලිසිය කීවේය.

මෙම වෛද්‍යවරයා වත්කම් උපයා ගත් ආකාරය පැහැදිලි කළ හැකි බව කියමින් ඔහුගේ වත්කම් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.

සාෆි වෛද්‍යවරයා ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයෙක් හෝ එවැනි සංවිධානයකට සම්බන්ධ බවට කරන චෝදනා සත්‍යයෙන් තොරබව මෙතෙක් කළ විමර්ශනවලින් අනාවරණය වූ බව ද රහස් පොලිසිය කීවේය.

මෙම වෛද්‍යවරයා මව්වරුන් 8000ක් සිසේරියන් සැත්කම්වලට භාජනය කර ඉන් සිංහල බෞද්ධ මව්වරුන් 4000කගේ පැලෝපීය නාල මිරිකා වඳ කර ඇති බව දිවයින පුවත්පත වාර්තා කළ ද මෙම වෛද්‍යවරයා සිසේරියන් සැත්කමට භාජනය කර ඇත්තේ සිංහල මවුවරුන් 3479ක් පමණක් බව කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා ඉතිරිපත් කළ වාර්තාවකින් අනාවරණය වූ බව ද අධිකරණයේදී ප්‍රකාශ විය. වෛද්‍යවරයා කර ඇති මුලු සිසේරියන් සැත්කම් ගණන 4374ක් බව ද එම වාර්තාවේ සඳහන් වෙන බව කියැවිණි.

වෛද්‍යවරයාට එරෙහිව ලැබුණු පැමිණිලි වලින් කාන්තාවන් 13 දෙනකු විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත මණ්ඩලයට යොමු කළ බවත්, ඉන් මව්වරුන් 11කගේ ප්‍රකාශ අසත්‍ය බව තහවුරු වූ බවත්, පරීක්ෂණයකට භාජයට ලක් කළ යුතු මට්ටමේ හිටියේ මව්වරුන් දෙදෙනකු බවත් දැනුම් දුන් රහස් පොලිසිය එම මව්වරුන් දෙදෙනා ඩයිවර්ගයක් පැලෝපීය නාලයට තුලට යවා කරන පරීක්ෂණයට භාජනය කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය.එම පරීක්ෂණයෙන් ආසාත්මිකතා ඇති විය හැකි බවට කතාවක් ඇති නිසා ඊට ඉඩ නොදෙන ලෙස මව්වරුන්ගේ පාර්ශ්වය ඉල්ලා සිටියේය.ඒ අනුව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත් මව්වරුන් දෙදෙනා සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක්දැයි වෛද්‍ය මණ්ඩලය සමග සාකච්ඡා කරන ලෙස දැනුම් දුන්නේය.

ප්‍රකාශ ලබා දුන් මව්වරුන්ගෙන් වෛද්‍ය මණ්ඩලයට යොමු කළ හැකි මට්ටමේ සිටින්නේ තවත් මව්වරුන් 147 දෙනකු පමණක් බවත් රහස් පොලිසිය දැනුම් දුන්නේය.

සාෆි වෛද්‍යවරයා වඳ සැත්කම් 4000ක් කළ බවට දිවයින පුවත්පතේ ප්‍රවෘත්තියක් පළ කළ මාධ්‍යවේදී හේමන්ත රන්දුනුගේ ප්‍රකාශයේ උදෘත රහස් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළේය. මෙම තොරතුරු තමාට ලබා දුන්නේ කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා බව මාධ්‍යවේදීයා කියා තිබේ.

ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ලබා ගත් කටඋත්තරයේ උදෘතද රහස් පොලිසිය අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. සාෆි වෛද්‍යවරයා කාන්තාවක් වඳ කළ බවක් තමා ස්ථිරව නොකී බවත්, එවැනි කටකතාවක් යන නිසා සොයා බලන ලෙස පමණක් දැනුම් දුන් බවත් කිස්තිරි ජයලත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීයැයි රහස් පොලිසිය දැනුම් දුන්නේය.

සාෆි වෛද්‍යවරයා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමට ප්‍රමාණවත් සාක්කි අනාවරණය නොවන බැවින් ඔහු තවදුරටත් රඳවා තබාගත යුතුද යන්න ගැන ආරක්ෂක ලේකම්වරයා සමග සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බවද රහස් පොලිසිය කීවේය.

කුරුණෑගල රෝහලට ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂවරයාගේ වාර්තාව සති දෙකක් තුල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

medialk.com ‌වෙතිනි

Archive

Latest news

Related news