Monday, May 20, 2024

මුස්ලිම් පාඩම් පොතේ එන මරණ දඩුවම ගැන විපරමක්.

සෑම නීති පද්ධතියක්ම එක් එක් රටවල සමාජයීය හා සංස්කෘතික හර පද්ධතියේ ක්‍රමික විකාශනයේ දිගුවක් වන අතර ජාත්‍යන්තර ප්‍රඥප්ති හරහා ඒවාට යම් සුසාධිත තත්වයක් ලබා දී ඇත.

ලංකාවේ හරයාත්මක අපරාධ නීතියේ විකාශනය පංච ශීලයේ ක්‍රමික දිගුවකි.එහි කාර්යපටිපාටික නීතිය, රෝම ලන්දේසි නීතියේ හා ඉංග්‍රීසි නීතියේ ආභාෂය අනුව වර්ධනය වී ඇත.

සමාජය වඩාත් ශිෂ්ට සම්පන්න වන විට කෲර සහ අමානුශික දන්ඩනයන් කාලීනව ඉවත් වන අතර සිංහල රජකාලේ දුන් බොහෝ දඬුවම් මේ වන විට නිෂේධ වී ඇත.

එසේම ශිෂ්ට සම්පන්න ලෝකයේ බොහෝ රටවල් මරනීය දන්ඩනය සිය නීති පොත්වලින් ඉවත් කර ඇත.

ලංකාවේ නීතිය තුල මරන දඬුවම තාමත්ම සඳහන්ව ඇතත් එය තාම ක්‍රියාත්මක කිරීම සිදු නොවේ.ඒ හේතුවෙන් තව දුරටත් ලංකාව වඩාත් ශිෂ්ටසම්පන්න නීති පද්ධතියක් ඇති රටක් ලෙස පිලි ගනී.

ලංකාවේ පාලනය වර්ධනය වන්නේ ලෞකික පුද්ගලයා හා භූමිය පදනම් කරගෙන වූ අතර එය පූර්න වශයෙන් ආගමික රාජ්‍යයක් වූයේ නැත.ලංකාවේ පුරවැසියා අයිති රජුටය.ඔහු රජුගේ අධිකාරය පිලි ගත යුතුය.ඔහුට රජු ප්‍රතික්ෂේප කල නොහැක.

ඒ අනුව ලංකාවේ රජුට හා රාජ්‍යයට එරෙහිව කැරලි ගැසීම, කුමන්ත්‍රනය කිරීම මරන දඬුවම ලද හැකි වැරදිය.

මුසල්මානු අධිරාජ්‍යයන් වර්ධනය වන්නේම ආගමික රාජ්‍යයන් ලෙසය.ඒ තල වසන පුරවැසියා අයත් වූයේ රජුට වඩා ආගමටය.ඒ අනුව මුසල්මානුවාට මුස්ලිම් ආගමේ ආධිපත්‍යය පිලි ගැනීමට සිදු විය.ඔහුට ආගමට එරෙහි විය නොහැක.ආගම අතහැරිය නොහැක.දඩුවම මරනයයි.

ලංකාවේ බෞද්ධ පෙලපොත්වල පැරනි රජවරුන්ට සිටි අන්තඃපුර ගැන සඳහන් රස කතා රස විඳීමට හැකියාව ඇතත් දැනට සිටින රාජ්‍ය නායකයාට නීත්‍යානුකූව අන්තඃපුර තබා ගත නොහැක.

පෙල පොත්වල සඳහන් වූ පමනින් දැන් රජ කාලේ දුන් දඬුවම් ලබා දිය නොහැක.

ආගම මාරු කිරීමනම් වරදට මුස්ලිම් ආගම තුල මරන දඬුවම ලබා දුන් බව මුස්ලිම් පෙලපොතක තිබුන පමනින් , එහෙම නීතියක් ලංකාව තුල ක්‍රියාත්මක කල නොහැක.එසේ දඬුවම් ලැබූ අයෙක්ද නැත.

එහෙත් තමන්ගේ ආගමික ඉතිහාසය තුල එවැනි දන්ඩනයක් ක්‍රියාත්මක වූ බව ඉගෙන ගැනීමට මුස්ලිම් සිසුවෙකුට ඇති අයිතිය යටපත් කිරීමට තවත් කිසිවෙක් බලහත්කාරයෙන් මැදිහත් විය යුතුද නැත.

තමන්ගේ ආගම අතහැරීම හා එයට එරෙහි වන මුසල්මානුවාට මරන දඬුවම දෙන යල් පැන ගිය හා අතහැර දමන ලද නීතියක් උස්සං පොලවේ පස් කන එක අතැර, තමන් පිහිටුවාගත් නමුත් පෙරලා තමන්ව පීඩාවට පත් කරන රජයට එරෙහිව කැරලි ගැසීමේ වරදට නියමිත දඬුවම වන සහ තවමත් සක්‍රීයව පවත්නා මරන දඬුවමට එරෙහි නොවන්නේ කවර පදනමක් මත සිටදැයි තමන්ගෙන්ම ඇසිය හැක්කේ හෘද සාක්ෂියක් ඇති ජාතියකට පමනි.

Wasantha Siri Watagoda මූහුණු ‌‌පොතෙනි.

Archive

Latest news

Related news