Sunday, April 28, 2024

සහරාන්ගේ අන්තිම වීඩියේව දැක්කම මං හොල්මන් වුණා – කාත්තන්කුඩි නගරාධිපති

ඡායාරූපය: කාත්තන්කුඩි නගර සභාවේ නගරාධිපති ෂාහුල් හමීඩ් මොහොමඩ් අස්ෆර්.

බොහෝ කලෙක සිටම තවුහිද් ජමාඩ් කණ්ඩායම් රාශියක්ම කාත්තන්කුඩියේ ඉන්නවා. කණ්ඩායම් වශයෙන් ගත්තොත් හයක් . හැබැයි අන්තවාදයට ගියේ සහරාන්ගේ ජාතික තවුහිද් ජමාඩ් විතරයි. ඒකත් මෑතක තමයි බිහි වුණේ. අන්තිමට එයත් 2017 මාර්තුවලින් පසුව අතුරුදන් වුණා.

සහරාන්ගේ කණ්ඩායමට වැඩිම වුණොත් දෙසීයක් තුන්සීයක් ඉන්න ඇති. ඒ අයගෙනුත් බොහොමයක් දෙනා ඔහුගේ භයානක කතාවලින් පස්සෙ අයින් වුණා. ඔවුන් සහරාන් යන ගමන හොඳ නැති බව තේරුම්ගෙන ඔහුව මඟ හැරියා. පස්සෙ ඕනෙ නම් සීයකට අඩු පිරිසක් ඉන්න ඇති. දැන් නම් කිසි කෙනෙක් නැහැ. අන්තිමටම ඉතුරු වුණේ සහරාන්ගේ ඥාති පිරිස විතරයි ඔය සංවිධානෙට. ඒ සියලුම දෙනා මේ වන විට අත්අඩංගුවට පත්වෙලා අවසානයි. කාත්තන්කුඩියෙන් 63 දෙනෙක් අත්අඩංගුවට ගත්තා මේ සිදුවුණ විනාශයත් සමඟින්.

මොහොමඩ් නවුෆර් මවුලවි කියලා කෙනෙක් මෙහේ හිටියා. එයා බැඳලා ඉන්නෙ කුරුණෑගලින්. කාත්තන්කුඩියෙන් එයා මීට අවුරුදු 15කට පෙරදී යන්න ගියා. සහරාන් මුලින්ම සම්බන්ධ වෙලා හිටියේ එයත් එක්ක. ඒ නවුෆර් මවුලවිගේ දාරුල් අදර් සංවිධානය සමඟයි. පස්සෙ සහරාන් ඒ සංවිධානයෙන් ඉවත්වෙලා තමයි ජාතික තවුහිද් ජමාඩ් එක හදාගන්නෙ. සහරාන්ගෙන් දාරුල් අදර් සංවිධානයටත් ගැටලු රාශියක් පැනනැඟුණා, තර්ජනය කරලා මරනවා කියලා. ඒ අයත් පොලිසියට ලියුමක් දීලා තියෙනවා සහරාන්ට විරුද්ධව. දාරුල් අදර් සංවිධානය අදටත් සාමාන්‍ය ආගමික සංවිධානයක් ලෙස කාත්තන්කුඩියේ පවතිනවා.

 

මං නැවතත් කියන්නෙ කාත්තන්කුඩියේ සිටින තවුහිද් ජමාද් කණ්ඩායම් අතුරින් මේ සහරාන්ගේ ජාතික තවුහිද්ලා විතරයි අන්තවාදයට ගියේ. ඔවුන් පුදුමාකාර ලෙස කරදරයක් වුණා මෙහි සිටින අහිංසක මුස්ලිම්වරුන්ට. මැතිවරණයක් කාලෙට ඡන්ද දාන්න එපා කියනවා, ඇහුවම කියන්නෙ ඡන්දෙ ඉල්ලන හැමෝම ඔවුන්ගේ ආගම විනාශ කරනවා කියනවා. සෑම තැනෙකදීම කියන්නෙ ගහන්න, මරන්න ඕනෙ කතා තමයි.

2015 ඡන්දෙ කාලේ අපේ කණ්ඩායමක් සමඟ ඔහුගේ පල්ලිය අසලදී විශාල ගැටුමක් ඇති වුණා. අපේ කට්ටිය සහරාන්ට, සහරාන්ගේ මල්ලිට හොඳටම ගැහුවා. මොකද මේ අය කියන දේවල් අපිට තියා කිසිම කෙනෙකුට පිළිගන්න බෑ. පස්සෙ සහරාන්ලාට ගමෙන් යන්න කීවා. අන්තිමට සහරාන්ලා මානව හිමිකම් ගිහින්, පොලිසි ගිහින් අපේ දහදෙනෙක් රිමාන්ඩ් කරලත් හිටියා. මම බය නැතිව කියනවා, ඒ දවස්වල සහරාන්ට කාත්තන්කුඩිය පොලිසියේ ලොකු සහායක් ලැබුණා මේ හැම දේකටම.

ආයෙත් සහරාන්ලා කරපු දේවල් මේ කාත්තන්කුඩියේ කිසිම කෙනෙකුට කරන්න ඉඩ තියන්නෙ නෑ. අපි දැන් පාඩමක් ඉගෙන ගත්තනේ. එහෙම කෙනෙක් නැවතත් නැඟිටින්න ආවොත් ඒ මොහොතේම අපි කියන්න ඕනෙ සියලුම ආරක්ෂක අංශවල අයට කියනවා විතරක් ‍නොවෙයි සියලුම මාධ්‍යයන්ටත් ඔවුන් ගැන හෙළි කරනවා. මොකද මම ඔබට කියන්නෙ, පහුගිය යුද්ධ කාලෙදි මාත් හමුදා බුද්ධි අංශයේ සේවය කළ කෙනෙක්. ඒ නිසා ඉදිරියට නම් මෙවැනි අයට කිසිම ඉඩක් තියන්නෙ නෑ. මේක අපේ රට. කවුරුහරි නැවතත් මේ රට විනාශ කරන්න ආවොත් ඉස්සෙල්ලාම ඉදිරියට එන්නෙ අපියි.

මේ කාත්තන්කුඩියේ ආයෙත් කිසිම දිනෙක මරාගෙන මැරෙන බෝම්බකරුවන් බිහි වීමට අපි ඉඩ තියන්නෙ නෑ. එහෙම අයගේ හැසිරීමෙන්, කතාබහෙන් අපිට දැනගන්න පුළුවන්. අපි මේ සහරාන් ගැනත් සියලු තොරතුරු ආරක්ෂක අංශවලට ලබාදුන්නා. ඔහුගේ භයානකත්වය අපි දැක්කා. අතුරුදන් වෙලා සිටින කාලෙත් සහරාන් සමාජ මාධ්‍ය ඔස්සේ භයානක විනාශකාරි අදහස් ඇතුළත් වීඩියෝ පටි තමයි එළියට දැම්මේ. ටී 56 අතේ තියාගෙන පුපුරවනවා, ලංකාව සම්පූර්ණයෙන් විනාශ කරනවා, සිංහල මිනිස්සුන්ට ගහනවා ආදි දේවල් තමයි එයා කීවේ. අපි ඒ ගැන සියලුම ආරක්ෂක අංශ දැනුවත් කළා.

ප්‍රහාරය එල්ල වීමට මාස තුනකට පෙරත් සහරාන් රටේ විශාල විනාශයක් කිරීමට සැරැසෙනවා කියා මං දැනුම් දුන්නා. මං එදා කීවා, මෙයා පොඩි හාදයෙක්… කුරුණෑගල, කල්මුණේ ආදි පෙදෙස්වල හැංගිලා ඉන්නෙ. වහාම අත්අඩංගුවට ගන්න කියා. මගේ ප්‍රකාශය මාධ්‍යවලත් ගියා. ඒත් වැඩක් වුණේ නෑ.

 

සහරාන් 2017 කාත්තන්කුඩියේ සිටිනකල්ම හිටියේ අන්ත දුප්පතෙක් ලෙසයි. ඔහුගේ පල්ලිය ටකරන් මඩුවකයි පවත්වාගෙන ගියේ. ඔහු ධනවත් වුණේ අතුරුදන්ව සිටි කාලයේදී. ඒ කියන්නෙ සහරාන්ට ඔය ප්‍රහාරයට සම්බන්ධ ධනවතුන් හමුවුණාට පසුවයි ඔහුට මුදල් ලැබිලා තියෙන්නෙ. හැබැයි අතුරුදන් වෙලා සිටින කාලේදි සහරාන්ගේ පල්ලිය එහෙම ලොකුවට හැදෙනකොට ආරක්ෂක අංශවලට කීවා මෙයාට මුදල් ලැබෙන හැටි සොයා බලන්න කියා. අපි කිව්වා ඩුබායි සිටින කෙනෙක් මෙයාට මුදල් එවනවා කියා ආරංචියක් තියෙනවා හොයා බලන්න කියා.

මෙහෙ සෞදි අරාබිය වගේ හදලා නැහැ. 2008 දී පමණ තමයි ඔය රටඉඳි ගස් හිටෙව්වෙ. මුලින් හිටවන්න හැදුවේ ෆාම් ගස්. පස්සෙ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඇවිත් කීවා ෆාම් ගස් හිටවන්න එපා රස්නෙ වැඩි නිසා මැරෙනවා කියා. පස්සෙ අපි ලංකාවේ විවිධ පළාත්වලින් ගෙනැවිත් රටඉඳි ගස් හිටෙව්වා. ඊට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් අනුමැතිය දුන්නා මේ පළාතේ දේශගුණයට හරියන ගහක් කියා. ඒ වගේම අපි කාත්තන්කුඩියේ සෑම තැනෙකම නොයෙක් ගස් වර්ග සිටවලා තියෙනවා. මිනිස්සු දකින්නෙ රටඉඳි ගස් පමණයි. අපේ ආගමේ අකුරු අරාබි අකුරු. ඒ නිසයි ඔය නාම පුවරුවලට අරාබි අකුරු ‍යොදාගෙන තියෙන්නෙ.

ඔය අරාබි අකුරුවලින් රටේ ආරක්ෂාවට තර්ජනයක් වන කිසිම දෙයක් ලියවිලා නැහැ. එහෙම දේවල් ලියලා තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ අයින් කරලා දානවා. අපිට කිසිම විදිහකින් ලංකාව අරාබියක් කරන්න අවශ්‍ය නෑ.

මම හමුදාවත් සමඟ බුද්ධි අංශයේ සේවය කළ කෙනෙක්නෙ. සහරාන්ගේ මල්ලි රිල්වාන් 2017 නොවැම්බර් බෝම්බ පුපුරවලා තුවාල වුණ කතාවක් අපට ආරංචි වුණා. මං ඒ සියලු විස්තර 2018 ජනවාරි මාසෙ කාත්තන්කුඩියට පැමිණි බුද්ධි අංශ නිලධාරින්ට පැවැසුවා. ඒ වගේම සහරාන්ගේ අයිඑස් හිතැති ප්‍රකාශ ගැන සියලු දේවල් කීවා. මං කීවා මෙයාගේ එක්කෙනෙක් හරි අත්අඩංගුවට අරන් මේ තොරතුරු සොයාගන්න කියලා. මේ ගැන දිගින් දිගටම කීවා.

සහරාන්ගේ කණ්ඩායමේ හිටියා අපිත් එක්ක කතාබහ කරන අයත්. 2018 දෙසැම්බර් මාසේ දවසක් මට උන්නච්චිය කියන ප්‍රදේශයේදී එහෙම කෙනෙක් හම්බ වුණා. මං සහරාන්ගේ තත්ත්වේ කොහොමද කියලා ඇහුවා. එයා කීවා අපි අරක කරනවා, මේක කරනවා කියා. මං ඇහැව්වා සහරාන්ගේ වීඩියෝ දැක්කද කියා. මට එයත් එක්ක කතා කරනකොට තේරුණා මෙයාලා රටේ ලොකු විනාශයක් කරන්න හදන්නෙ කියලා.

එහෙම ඉන්න අතරේ ආයෙත් සහරාන් ප්‍රහාරයට දින කීපයකදී වීඩියෝ එකක් දැම්මා. ඒක දැක්කම හොල්මන්. මං දැනගත්තා මෙයා ලොකුම විනාශයක් අද හෙටම කරන්න සැරැසෙනවා කියලා. ඒක දැක්ක ගමන් බුද්ධි අංශ නිලධාරින්ට දුරකථනයෙන් අමතා කීවා, කවුරුත් මේවා බලන්නෙ නැද්ද? කිසි කෙනෙක් අත්අඩංගුවට ගන්නෙත් නෑ, මට නම් දැන් බලාගෙන ඉන්න බෑ කියලා. මොකද එයා එහෙම දෙයක් කරපු ගමන් අපිට තමයි ලොකුම ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙන බව මට තේරුණා.

අන්තිමට මං කීවා, මගේ ළඟ ලයිසන් තුවක්කුවක් තියෙනවා, මට අවසර දෙන්න මං හොයාගෙන ගිහින් අනිවාර්යයෙන්ම ඕකාට වෙඩි තියලා දානවා කියලා. පස්සෙ මං එසේ පැවැසූ බුද්ධි නිලධාරියා කීවා ඒ ගැන ඉහළ නිලධාරින්ට පවසා මට කියන්නම් කියලා. මං මෙහෙම කීවේ ප්‍රහාරය එල්ල වීමට හරියටම සතියකට පෙරයි. පසුගිය අප්‍රේල් 14 වැනිදා. එහෙම කියලා ඇවිත්, මං මගේ යාළුවන්ට කීවා මේකාගේ එකෙක් හරි ඉන්නවා නම් හොයලා මට කියන්න. අනිවාර්යයෙන්ම මං වෙඩි තියලා දානවා. කමක් නෑ මං හිරේ යන්නම් කියා.

සිළුමිණ පුව්තපතෙහි පලවූ ලිපියක් ඇසුරිණි.

Archive

Latest news

Related news