Monday, May 20, 2024

අසත්‍ය ප‍්‍රවෘත්ති ප‍්‍රචාර සහ වෛරි ප‍්‍රකාශවලට අදාළ නීති සංශෝධනය සැළැස්ම ගැන පැහැදිළිි කිරීමක් අවශ්‍යයි – නි.මා.ව්‍යා.

ආණ්ඩුවේ යෝජිත අසත්‍ය ප‍්‍රවෘත්ති ප‍්‍රචාර සහ වෛරි  ප‍්‍රකාශවලට අදාළ නීති සංශෝධනය සැළැස්ම පිළිබද කිසිදු විධිමත් පැහැදිළි කිරීමක්ද මේ වනතෙක් සිදුව නොමැති අතර, අසත්‍ය ප‍්‍රවෘත්ති හෝ වෛරී ප‍්‍රකාශ යන්න තීරණය කරන්නේ කවුරුන්ද? ඊට අදාළ නිර්ණායකයන් මොනවාද?මේ තුළ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය සහ ජනමාධ්‍ය නිදහස උල්ලංඝනය නොකිරීමට අදාළ ප‍්‍රවේශයන් මොනවාද? යන සියලූ කරුණු බරපතල ලෙස ගැටලූකාරීය බව දක්වන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය   එකී යෝජිත නීති සංශෝධනය හරහා මෙරට අදහස් ප‍්‍රකාශ කිරීමේ සහ ජනමාධ්‍ය නිදහසට බරපතල තර්ජනක් එල්ල විය හැකි බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිරීක්ෂණය බව ප්‍රකාශ කරයි..

මෙ සම්බන්ධයෙන් නි.මා.ව්‍ය. විසින් අධිකරණ කටයුතු පිළිබඳ ඇමැතිවරිය වෙත යවන ලද ලිපිය පහත දැක්වේ.

2019 ජුනි 17,
අධිකරණ සහ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය,
ගරු තලතා අතුකෝරල මහත්මිය,උපරිමාධිකරණ සංකිර්ණය,අධිකරණ මාවත, කොළඔ 01.

ගරු ඇමතිතුමියනි,
අසත්‍ය ප‍්‍රවෘත්ති ප‍්‍රචාර සහ වෛරි  ප‍්‍රකාශවලට අදාළ නීති සංශෝධනය

සහජීවනයට සහ රාජ්‍ය ආරක්ෂාවට බාධාවන ආකාරයෙන් අසත්‍ය ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය කරන්නන් සහ වෛරී ප‍්‍රකාශ සිදුකරන්නන් හට දඩ හා සිර දඩුවම් නියම කිරීමට හැකිවන පරිදි දණ්ඩ නීති සංග‍්‍රහය සහ අපරාධ නඩු විධාන සංග‍්‍රහය සංශෝධනය කිරීමට අදාළ කැබිනට් පත‍්‍රිකාවකට අනුමැතිය හිමිව ඇති බව ප‍්‍රකාශ වී තිබේ.ඔබ අමාත්‍යංශය විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ ජාතික ආරක්ෂාව පිළිබද ආංශික කමිටුවේ ඉල්ලීම අනුව බවද සඳහන් වේ.

අසත්‍ය ප‍්‍රවෘත්ති සහ වෛරී ප‍්‍රකාශ මේ වනවිට රටේ බරපතල ප‍්‍රශ්නයක් බවත්, එය වැළැක්වීමට අර්ථවත් පියවර කඩිනමින් ගත යුතු බවත්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ද ස්ථාවරයයි.එහෙත් මීට අදාළව දැනටමත් යම් නීතී පවතින බවත්, එම නිතී නිසි පරිදි ක‍්‍රියාත්මකවීම සිදු නොවන බවත්, පදනමකින් තොරව විවිධ පාර්ශවයන්ගේ අවශ්‍යතා මුදුන් පමුණුවා ගැනීමට යොදා ගන්නා බවත්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිරීක්ෂණයයි. උදාහරණ ලෙස අයි.සී.සී.පී.ආර්. පනත යටතේ චෝදනා එල්ල කර ලේඛක ශක්තික සත්කුමාර මාස දෙකහමාරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමත්,ප‍්‍රවීන ජනමාධ්‍යවේදී කුසල් පෙරේරා ලියූ පුවත්පත් ලිපියක් පදනම් කරගෙන එම පනත යටතේම පරීක්ෂණ ආරම්භ වී තිබීමත් දැක්විය හැකිය.

එමෙන්ම, යෝජිත නව නීති පිළිබද කිසිදු විධිමත් පැහැදිළි කිරීමක්ද මේ වනතෙක් සිදුව නොමැති අතර, අසත්‍ය ප‍්‍රවෘත්ති හෝ වෛරී ප‍්‍රකාශ යන්න තීරණය කරන්නේ කවුරුන්ද? ඊට අදාළ නිර්ණායකයන් මොනවාද?මේ තුළ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය සහ ජනමාධ්‍ය නිදහස උල්ලංඝනය නොකිරීමට අදාළ ප‍්‍රවේශයන් මොනවාද? යන සියලූ කරුණු බරපතල ලෙස ගැටලූකාරීය.

මෙවන් පසුබිමක යෝජිත නීති සංශෝධනය හරහා මෙරට අදහස් ප‍්‍රකාශ කිරීමේ සහ ජනමාධ්‍ය නිදහසට බරපතල තර්ජනක් එල්ල විය හැකි බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිරීක්ෂණයයි. එබැවින් මේ පිළිබද විධිමත් පැහැදිළි කිරීමක් වහාම රට හමුවේ තබන ලෙසත් , ඒ පිළිබඳව ඔබතුමිය සමඟ සාකච්ඡා කිරීමට කඩිනමින් අවස්ථාවක් ලබා දෙන ලෙසත්, කාරුනිකව ඉල්ලා සිටිමි.
ස්තුතියි.

විරංජන හේරත්
කැඳවුම්කරු
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

Archive

Latest news

Related news