Monday, May 20, 2024

හානිපූර්ණය සහ අපටත් පාඩම් ගත හැකි වින්දිත කේන්ද්‍රීය ‌‌කොළෙම්බියානු අත් දැකීම – සුලොචනා රාජපක්ෂ

හානිපූර්ණයන් යනු හුදෙක් ප්‍රතිපත්තිමය බැඳීමක් නොව සැබෑ ගැටළුවලට මුහුණ දෙන සැබෑ මිනිසුන්‍ගේ අවශ්‍යතා පිළිබඳ කටයුතු කිරීමයි. හානිපූර්ණයේ කේන්ද්‍රීය ස්ථානය විය යුත්තේ වින්දිතයන්ය.

කොළොම්බියාව යනු “වින්දිතයන් පිළිබඳ ගැටළුවෙහි කේන්ද්‍රීයත්වය” යන මූලධර්මය සාර්ථකව අදාළ කරගත් රටකි. කොළොම්බියාවෙහි හානිපූර්ණයන් පිළිබඳ යාන්ත්‍රණය මගින් පහත දැක්වෙන මාර්ගෝපදේශයන් දෙක අනුගමනය කිරීම තුළින් අතීතයේ සිදු වූ අපරාධ හා උල්ලංඝණයන්ගෙන් පීඩාවට පත් සිය සමාජය සුවපත් කිරීමට හැකියාව ලැබී ඇත.

වින්දිතයකු යන්න පිළිබඳ පුළුල් හා සියල්ල ඇතුළත් වූ නිර්වචනයක්

මෙය හේතු දෙකක් නිසා වැදගත් වේ. පළමුව “වින්දිතයා” යන වදන නිර්වචනය කිරීම යනු අපරාධකරුවකු විසින් සිදු කරන ලද අසාධරණය පිළි ගැනීමයි. එනම් පුද්ගලයකු/ කණ්ඩායමක පීඩාව නීත්‍යානුකූල බවට පත් කරන අතර “ඔබ වින්දිතයකු බවත් ඔබට වරදක් සිදු වූ බවත් අපි පිළිගනිමු” යනුවෙන් ඔවුන්‍ට පැවසීමයි. ඔවුන් ප්‍රසිද්ධියේ නොසලකා හැරීමෙන් ඔවු‍න්ගේ වේදනාව තීව්‍ර වන අතර රජය මගින් එය පිළිගැනීම ම ඔවුන්ට සහනයකි.

දෙවනුව, වින්දිතභාවයේ විවිධ ප්‍රභේදයන්ට වඩා පුළුල් ලෙස ඇතුළත් කර ගැනීමට පුළුල් හා සියල්ල ඇතුළත් වූ නිර්වචන මගින් මග පාදනු ලැබේ. එමගින් රජය විසින් සිදු කරනු ලබන හානිපූර්ණයන් වෙත ළඟා වීමට වින්දිතයන් වැඩි දෙනෙකුහට හැකියාව ලැබෙන අතර වින්දිත කණ්ඩායම් ආන්තීකරණයට ලක් වීම අවම වීම හා ක්‍රමානුකූලව ඇතුළත් කර ගැනීම සිදු කෙරේ. මෙමගින් සමාජයක් තුළ දොම්නස හා අනාරක්ෂිතභාවයන් ඇති වීම වළක්වනු ලැබේ.

කොළොම්බියාවෙහි දේශීය නීති පද්ධතිය තුළ මෙම කරුණ අපැහැදිලි බැවින් කොළොම්බියාව විසින් වින්දිතයන් නිර්වචනය කිරීමට එක්සත් ජාතීන්ගේ මූලික මූලධර්ම හා මාර්ගෝපදේශයන් මගින් දක්වා ඇති නිර්වචනය යොදා ගනු ලැබීය. වින්දිතයන් ඔවුන්ගේ අනන්‍යතාව මත නොව ඔවුන්ට මුහුණ දීමට සිදු වූ උල්ලංඝණයේ ස්වභාවය මත තීරණය කරන ලදී. මෙය ශ්‍රී ලංකාවට වැදගත් පාඩමකි. විශේෂයෙන් අප වැනි බහු සංස්කෘතික ජාතියක වින්දිතභාවය බෙදීම සඳහා යොදා ගත යුතු කරුණක් නොවේ. ඒ වෙනුවට හානිපූර්ණයේ දී එක සමානව සියළු ප්‍රජාවන්ට අයත් වින්දිතයන් පිළිබඳ සලකා බැලිය යුතුය.

සද්භාවය පිළිබඳ මූලධර්මය

මේ හරහා පළමුව කොළොම්බියාවේ සෑම වින්දිතයකු ම විශ්වාස කෙරේ; කොමිෂන් සභාව මගින් ඔවුන්ගේ සාක්ෂි සන්දර්භීය හා නෛතික විශ්ලේෂණයක් හරහා සනාථ කළ යුතුය. සද්භාවය පිළිබඳ මූලධර්මය මගින් වින්දිතයන් ප්‍රතික්ෂේප කිරීම හෝ ගර්හාවට ලක් කිරීමට ඉඩ නොදේ. ඔවුන්‍ගේ දුක්ගැනවිලිවලට සද්භාවයෙන් ඇහුම්කන් දෙනු ලබන අතර කොමිෂන් සභාව මගින් සහාය ලබා දෙනු ලැබේ. මෙහි දී වින්දිතයන්ගේ සාක්ෂි මානව හිමිකම් උල්ලංඝණය වීම් පිළිබඳ සාක්ෂි ලබා ගැනීමේ මූලික මූලාශ්‍ර වූ අතර ලිංගික හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අදාළ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ වින්දිතයන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ සමාජ දැක්මකින් යුතු වීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීම පවා සිදු කෙරිණි. සාක්ෂි ලබා ගැනීමේ දී නැවත විපතට පත් වීම වැළැක්වීම සඳහා කාර්යාල මගින් ම‍නෝ සමාජීය සහාය ලබා දීම සිදු කෙරිණි.

හානිපූර්ණයන් සිදු කිරීමේ දී වින්දිතයන් විය හැකි පුද්ගලයන් වෙත ළඟා වන්නේ කෙසේද යන්න පිළිබඳ මෙම නිදසුන් ශ්‍රී ලංකාවට වැදගත් පාඩම් වේ. බොහෝ අවස්ථාවලදී ආබාධිත පුද්ගලයන්, වැන්දඹුවන්, ළමුන් ආදී වින්දිතයන් සමාජය විසින් තවදුරටත් ආන්තීකරණයට ලක් කෙරේ. ස්වදේශිකයන් හෝ වතු සේවකයන් වැනි අනෙකුත් වින්දිතයන් කිසිඳු අයුරකින් වින්දිතයන් ලෙස හඳුනා ගන්නේ ද නැත. වින්දිතයන්ගේ තත්වය අවබෝධ කර ගැනීම හා තමන් වෙනුනෙන් හඬ නැගීමට ඔවුන්ට අවකාශය හා අවස්ථාව ලබා දීම සහ ඔවුන්ට දැඩි ලෙස අවශ්‍ය වන සහාය ලබා දීම වැදගත් වේ.

වින්දිතයා යන්නෙහි නිවැරදි නිර්වචනය අදාළ කර ගැනීම මගින් වින්දිත කණ්ඩායම් අසාධරණ අයුරින් ඉවත් කිරීම හා ආන්තීරකණයට ලක් කිරීම වළක්වයි. එමගින් වින්දිතයන්හට හානිපූර්ණය කිරීමේ වැඩසටහන් වෙත නීත්‍යානුකූල ප්‍රවේශය ලබා දෙනු ලබන අතර සද්භාවය පිළිබඳ මූලධර්මය සංක්‍රාන්ති යුක්තිය සහ රජය විසින් ක්‍රියාත්මක කෙරෙන සංහිඳියා යාන්ත්‍රණයන් පිළිබඳ වින්දිතයන් තුළ විශ්වාසය ගොඩනැගීමට ඉවහල් විය හැකිය.

Archive

Latest news

Related news