Monday, May 20, 2024

ආගමීක ප්‍රතිසංස්කරණ, ත්‍රස්තවාදය හා ගෝලීය යුධ පද්ධතිය -ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන

ඡායාරූපය: ආයුධ ජාවාරම සහ ගෝලීය ත්‍රස්තවාදය එකනෙකා මත යැපේ,

අප්‍රේල් 21 වෙනි දින සිදුවුනු භයානක, ම්ලේච්ඡ සිද්ධීන් පසුබිමේ ඉඳලා අපිට මේ රටේ ආගමික ප්‍රජාවට ප්‍රබලතම, දැවැන්තම අභියෝගයක් එල්ල වෙලා තියෙනවා. කෙනෙකුට කියන්න පුළුවන් මුස්ලිම් ප්‍රජාවට ඒ අභියෝගය බරපතලයි, නැත්නම් වඩාත් බැරෑරුම් සහ කෙනෙක් අවධාරණය කළ යුතුයි කියලා. අපි තේරුම් ගැනීමට අවශ්‍යයි මේ සන්දර්භයේ විවිධ පැති සහ විශේෂයෙන් මුස්ලිම් සමාජය ඒ අභියෝගය ඉදිරියේ ඔවුන්ට තිබෙන ශඛ්‍යතා සහ දුබලතා, ගැටළු, ප්‍රශ්න

පොදුවේ අපි ආගම්, අධ්‍යාත්මික උල්පත් හරහා ගොඩනැගිලා ඉතිහාසය හරහා එන අධ්‍යාත්මික ලෝකය සහ ධාරාවන් දෙස බැලීමේදී අපි තේරුම් ගත යුතු චිත්‍රයක් තියෙනවා. මේ ආගමික ධාරාවන් ඒ යුගයේ තියෙන ආර්ථිික, සමාජික, සංස්කෘතික, දේශපාලනික බලගතු පරිසරය නැත්නම් එහි අධිපති පරිසරය තුළ ඒවා නැවත සකස් වෙනවා. එහි විකල්ප ධාරාවන් තියෙන්න පුළුවන්. එහි භයානක තත්ත්වයන්ට අභියෝග කරන. නමුත් ඊට අනුගත වීම් අපට නිරන්තරයෙන් දකින්න පුළුවන් ඒ සන්දර්භයන් තුළ. උදාහරණයක් විදියට රාජාණ්ඩු වැඩවසම් පරිසරය ලෝකයේ හුඟක් තැන්වල, යුරෝපය සහ වෙනත් රටවලත්, ලංකාව ඇතුළු රටවලත්, අපි කරා පැමිණි ආගම් රාජාණ්ඩු පරිසරයේ , ඉඩම් හිමියන්ගේ විශාල බලය ඇතුළේ, රජවරුන්ගේ බලය ඇතුළේ, මධ්‍යම ආගමික ධාරාව නැවත සකස් වුනා. ලංකාවේ බෞද්ධ සම්ප්‍රදාය බැලුවොත්, මූලික වශයෙන් වැඩවසම් රාජාණ්ඩු, නුවර යුගයේ නැවත සකස් වෙලා තියෙනවා. අද අපිට තියෙන්නේ නුවර බෞද්ධාගමක්. නුවර වැඩවසම් ගර්භය තුළ සකස් වුනු බෞද්ධාගම තමයි අපට අද තියෙන්නේ. ඒ වගේම තමයි ලෝකයේ හැම තැනම මේ වගේ විපර්වර්තනයන්, විකරණයන් ආගමේ සිද්ධ වෙනවා.

නූතනත්වයට අනුව වෙනස් වන ආගම්

පහුගිය සියවස් පහ තුළ, නූතන යුගය ආරම්භ වෙලා යනකොට ප්‍රාග්ධන තර්කනය ඉහළට ඇවිල්ලා, වෙළඳ පොළ කෑදර, තිරිංග නැති ක්‍රමයක් හැදුනා. කාගෙන, කාගෙන ලෝකය වටපිටාව පරිභෝජනය කරමින් යන, භෞතික දේ පෙරමුණේ තියෙන, මිනිසාගෙ අනෙකුත් පැවැත්මේ සම්පූර්ණයෙන් නැති වෙලා යන, පරිසරයක් තුළ, ප්‍රාග්ධනය ප්‍රධාන දෙවියා බවට පත්වෙච්ච පරිසරයක් තුළ, මේ ආගම් නැවත ඒ තත්ත්වයටත් සකස් වුණා. ඒකට අපිට කියන්න පුළුවන් නූතන ආගම්. මේ අදහස ප්‍රවේසමෙන් අපි තේරුම්ගත යුතුයි. ඒ කියන්නේ නූතනත්වයට ගැලපෙන ආගම්. යුරෝපයේත්, අපේ රටවලත්, කතෝලික ක්‍රිස්තියානි ආගම් නූතන තත්ත්වයට ගොදුරු වෙනවා. පැරණ ආධ්‍යාත්මික උල්පත් වැහිලා යනවා. මේ තියෙන තත්ත්වයට ප්‍රතිපක්ෂව මානව විරෝධී දේවල්, ස්වභාව ධර්මයට විරෝධී දේවල් වෙනවට වඩා ආගම, ඒකට සහභාගි වන, ඒකට උදව්වන, දායක වන බලවේගයක් බවට තමයි පත් වෙන්නේ. ලංකාවෙත් මේ නූතන ලක්ෂණ පැමිණෙමින් තියෙනවා බුද්ධාගමට.

ඒ වගේ මහා ගැටුම් මැද්දේ ඉස්ලාම් සමාජයත්, ඉස්ලාම් ආගමික ජීවිතයත්, පරිවර්තනයන්ට මුහුණ දෙමින් තියෙනවා. සමහර වෙලාවට ඒකට ගැලපෙන්න බැරි වුනම ඇතිවෙන තත්ත්වයනුත් තියෙනවා. බොහෝම අන්තවාදී ධාරාවන් ඇති වෙන්නේත් ඒකට ගැලපෙන්න බැරි වුනාම. දියුණූ වෙනවා නම් ඒ සීමාව කඩාගෙන විපර්යකාරක, නැත්නම් ප්‍රතිසංස්කරණ අලුතෙන් එන්න ඕනා. විසි එක් වෙනි සියවසේ අපි පෘතිවි සමාජයක් විදියට, ගෝලය තුළ, මනුෂ්‍ය වර්ගයා විදියට, ලොකුවට කල්පනා කළොත්, මීට වඩා සහරක්ෂිත, ඒ කියන්නේ එකිනෙකා රැක බලාගන්න, ශිෂ්ඨාචාරයක් කරා අපිට යන්න අවශ්‍ය නම්, එසේ යෑමට හැකියාවන් තියෙනවා. එහෙම නම් අපේ ආගම් සියල්ලම නැවත ප්‍රතිසංස්කරණය විය යුතුයි. ආගමික සංස්ථාවල තියෙන ගැටළු අපට පේන්නේ එහි තියෙන ම්ලේච්ඡත්වයන් මතුවීමේදීයි.

ආගමීක ප්‍රතිසංස්කරණ

අලෝසියස පීරිස පියතුමා (ඡායාරූපයේ වම් පස)

ප්‍රතිසංස්කරණ ව්‍යාපාර පැන නැගිලා තියෙනවා. අපි දකින්න ඕන චිත්‍රයේ සුබවාදී පැත්ත. ක්‍රිස්තියානි කතෝලික ලෝකය තුළ 1960 ගණන් වල ඉඳලා මේ ප්‍රතිසංස්කරණ ව්‍යාපාර පටන් ගත්තා. එය විමුක්තිවාදී දේවධර්මය විදියට ලෝකයේ නොයෙකුත් තැන්වල දේවධර්ම ආචාර්යවරු, දේවධාර්මිකයන්, විවිධ නායකයෝ මේ ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළ එක්ක මීට වඩා මානව ගෞරවය, සමාජ සාධාරණත්වය, පැත්තට යොමු වෙච්ච දහම නැවත අර්ථකථනය විය යුතුයි. නැවත ආරම්භයට යා යුතුයි. එය එහි ප්‍රධාන ලක්ෂණයක් විය යුතුයි. මානව ගෞරවය, සමාජ සාධාරණත්වය දිශාවට, ආගම නැවත යොමු කළ යුතුයි. ඒක මුල් ආගමේ සංහිතාවල, මුල් අධ්‍යාත්මික උල්පත්වල තිබුණු ලක්ෂණයක්. ඒක තමයි නැතිවෙලා ගියේ අර රාජාණ්ඩු සමයේ දී සහ නූතන යුගයේ. ඒක තමයි ප්‍රතිසංස්කරණ හේතුව.

මෙහි තවත් පැත්තක් තිබේ. එනම් පරිසරය පිළිබඳ ප්‍රශ්නය න්‍යාය පත්‍රයට එමින් තිබෙනවා. කිතුණු විමුක්තිදායක දේවධර්මය තුළට පරිකාමී දේවධර්මීය මානවවාදය ඇතුල් කරමින් ඉන්නේ ආසියානු දේවධර්මවාදීන්. එහි විශිෂ්ඨ සම්පතක් ලංකාවේ වෙසෙනවා. ඒ මහාචාර්ය, දේවධර්මාචාර්ය ඇලෝසියස් පීරිස් පියතුමා. එතුමා ජාත්‍යයන්තර වශයෙනුත්, ආසියානු වශයෙනුත්, ඉතාම වැදගත් ප්‍රතිසංස්කරණ වාදියෙක්. ඒවගේ සුබවාදී දේවලුත් තියෙනවා.

බෞද්ධ ප්‍රතිසංස්කරණ

සුලක් සිවරක්ෂා

බෞද්ධ සමාජය ගත්තම මොනවද අපිට දේශීය වශයෙන්, ගෝලීය වශයෙන් කියන්න තියෙන්නේ මේ ප්‍රතිසංස්කරණ මානය දෙස බලා. ගෝලීය වශයෙන්, ජාත්‍යයන්තර වශයෙන් බැලුවහම, බෞද්ධ සමාජයේත් ප්‍රතිසංස්කරණ ආරම්භ වී තිබෙනවා. එය ටිකක් පසුව ආරම්භ කළා. 70,80 දශකයෙන් මෙපිටට ප්‍රධාන නායකයෝ කිහිප දෙනෙක් සමාරම්භ අවස්ථාවෙදි දකින්න පුළුවන්. තායිලන්තය තෝතැන්නක් මේ ප්‍රතිසංස්කරණ අදහස පැන නැගිච්ච. මහාචාර්ය සුලක්ෂි සිවරක්ෂා වගේ අය. එතුමා පෙන්වා දුන්නා ඒ වන විට තායිලන්තයේ, බුද්ධාගම් දෙකක් තියෙනවා කියලා. කැපිටල් බී බුද්ධාගම සහ සිම්පල් බී බුද්ධාගම කියලා අර්ථකතනය කලා. රජවරුන්ගේ වැඩ වසම් සමාජයේ බුද්ධාගම තමයි ව්‍යාප්ත එක. ඒක ඇතුළේ පුංචියට නිසරණ අධ්‍යාශයෙන්, මනුෂ්‍යයා කෙරෙහි යහපතට යොමු වෙච්ච, ආරම්භක සංදේශය තාමත් නැති නොකර ගත්ත මානයක් තියෙනවා. නමුත් එය දුර්වලයි කියලා එතුමා කිව්වා. මොකද මේ දෙක වෙලී පැටලී තියෙන්නේ.

ඒ තත්ත්වය මුළු ආසියාවටම ගලප්පන්න පුළුවන්. සිම්පල් බී බුද්ධාගමයි, කැපිටල් බී බුද්ධාගමයි අතර මේ තියෙන සංකීර්ණ තත්ත්වය. කව්ද බලවත් කියලා හොයන්න බලන්න වටිනවා. ජාත්‍යයන්තර ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළක් තියෙනවා. එයට මැදිහත්කාර බුද්ධාගම කියලා අපිට කියන්න පුළුවන්. විශේෂයෙන් නැගෙනහිර ආසියාවේ. දකුණු කොරියාව, තායිලන්තය, යම්තාක් දුරට බුරුමය, ජපානය, ඒ රටවල් අළලා යන බුද්ධාගමක් අපට දකින්න පුළුවන්. යුරෝපයේ සහ ඇමෙරිකාවේත් මේ තත්ත්වය මෙතන තියෙනවා. බෞද්ධාගම දන්න කෙනෙක්ට පුළුවන් කියන්න මේ තත්ත්වයට මහායානික සම්ප්‍රදාය වැඩිපුර මෙම ප්‍රවාහයට දායකත්වයක් තියෙනවා කියලා.

තේරවාදී සම්ප්‍රදාය තරමක් දුර්වල වුනත්, මහාඝෝෂාණන් වගේ යතිවරයෙක් සහ තායිලන්තයේ අජාන් කියලා හැඳින්වෙන භික්ෂූන් රැසක් සහ ආරාමීය පාර්ශ්වයෙන් පැමිණෙන අජාන් තානිස්සරෝ, අජාන් බ්‍රාහ්මෝ වගේ භික්ෂූන් විශේෂයෙන් මේ වගේ අදහස් ගැන දායක වෙන අය. මෙහි පදනම වන්නේත් පොදු සාමූහික යහපත. හුදෙක් පුද්ගලයා බේරගන්න තියෙන ධර්මයක් නෙමෙයි බෞද්ධ ධර්මය. මේක සමාජීය යහපත, පුද්ගලයාගේ යහපත, පරිසරය යන කරුණු තුනම ඇතූළත් කරලා ගොඩගනපු ධර්මයක් කියන එක අවධාරණය වෙමින් පවතිනවා. අපේ රටේ බෞද්ධ ධර්මයේ ප්‍රතිසංස්කරණ සාක්‍යතාවය බැලුවම ඉතාම දුර්වලයි. තැනින් තැන ඉන්නවා භික්ෂූන් වහන්සේලා දෙතුන් දෙනෙක්. අපට ආයතන වශයෙන් දෙකක් තුනක් නැහැ. ගල්කන්දේ ධම්මානන්ද හාමුදුරුවන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් ඉන්නවා. වල්පොල රාහුල ආයතනය තිබෙනවා. නමුත් එය මහා ධාරාවට සාපේක්ෂව, ඉතාමත් කුඩා සමාජයක්. නමුත් මම හිතනවා එයත් ඉතාම වැදගත් ප්‍රවණතාවයක් කියලා ලංකාවේ ගැඹුරු ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට.

මුස්ලිම් ප්‍රතිසංස්කරණ සහ මුස්ලිම් සංස්කෘතික බලපෑම

දැන් අපි මුහුණ දෙන ප්‍රබලම ප්‍රශ්නය වන මුස්ලිම් සමාජය තුළ, මුස්ලිම් ආගමික ප්‍රජාව තුළ තියෙනවද, අනාගතය දිහාට හැරිච්ච, මානව ගෞරවය, සමාජ සාධාරණත්වය, සාමුහික යහපත, පිළිබඳ ප්‍රතිසංකරණය ව්‍යාපාරයක් තියෙනවද කියලා හොයලා බලන්න තියෙනවා. මේ මුළු ආගම් සියල්ලටම සහ සම්බන්ධයක් තියෙන දෙයක් ගැන අපි නැවත හිතන්න ඕනා. අපි යමින් ඉන්න 21 වෙනි ශත වර්ෂය, පැරණි ලෝකයේ තිබුණු සීමා සියල්ලම කැඩිලා ගිහිල්ලා. අපිට ආගමික කලාප කියලා දෙයක් නෑ අපි එකිනෙකා හමුවෙන, ලෝකයක් තියෙන්නේ. සියළුම ආගම්, එකිනෙකා හමුවෙන අවකාශයකට අපි එමින් සිටිනවා. ඒ නිසා අපි එකට ජීවත් වෙන්න ඉගෙන ගත්තේ නැත්නම් ලෝකය විනාශ වෙනවා. එතකොට පැරණි ආගමික කලාප කියලා හඳුන්වන්න පුළුවන් දෙයක් තවදුරටත් ඇත්ත වශයෙන් යථාර්ථයේ නැහැ. මේ සංකර්පණය, මේ හමුවීම වඩ වඩා ආගමික සම්ප්‍රදායන් හා ආගමිකයින් අතර මේ හමුවීම ලොකු යථාර්ථයක් බවට පත් වෙනවා.

ඉස්ලාමීය සංස්කාතිය ලෝකයට බොහෝ වටිනා දායාදයන් උරුම කළේ ය.

ඉස්ලාමීය ආගමික උල්පත් ඉතා දියුණුයි

මේ අභියෝගය මුස්ලිම් සමාජයටත් ඒ විදියටම තියෙනවා. මුස්ලිම් සමාජයේත් අධ්‍යාත්මික උල්පත් දිහා බැලුවම ඉතාම දියුණු උල්පත් ආපු, ලෝකයටම එළිය විහිදපු අවස්ථාවන් තියෙනවා. අපි පාවිච්චි කරන සංස්කෘතික ජයග්‍රහණ ජාත්‍යයන්තර වශයෙන් මුස්ලිම් කලාපයෙන් පැමිණි ඒවා. සෞදි ආරබිය දෙස විතරයි අපි බලන්නේ. සංස්කෘති වශයෙන් ඒ කලාපය විශාලයි. අසර්බානය, ඉන්දියාව අග්බා රජුගේ කාලයේ, ඊජිප්තුව වගේ රටවල් මේ අදහසට එන්න ඕනා. ඒ විදියට බැලුවම පේනවා ඒ චිත්‍රය ඉතාමත් සංකීර්ණයි. මේ සරළ මුස්ලිම් සමාජයට වඩා විශාල මුස්ලිම් සමාජයක් අපට හමුවෙනවා. ඒ වගේම විශාල සංස්කෘතික ජයග්‍රහණ රැසක් ඉතිහාසයේ ඉඳළම ලෝකයටම ළගා කර දුන්නු, පරිත්‍යාග කරපු සමාජයක් එය. සූෆි ධර්මය, මහා කාව්‍ය ෂූෆි යෝගීන්ගෙන් ආපු. කබීර්, හසීෆ්, ඔමාර් කයාම්, පර්සියානු කවිය, ඒවා විතරක් නෙමෙයි. ගණිතය, තාක්ෂණය වගේ ගොඩාක් දේවල් ඇවිල්ලා තියෙනවා. ඉන්දියාවේ දැනුත් සංගීත ලෝකයේ සහ සංස්කෘතික ජයග්‍රහණ වල කව්ද ඉන්නේ? සිනමාවේ දක්ෂම නළු නිළියෝ කව්ද? ඉන්දියාව අපිට වඩා දැනගෙන ඉන්න ඕනා. මෙවැනි තත්ත්වයන් ගත්තත් ප්‍රතිසංස්කරණ ප්‍රශ්නය තියෙනවා. මුස්ලිම් ප්‍රජාව අතරත් මේ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයන් තියෙනවා. ඔවුන් සිතනවා ඔවුනුත් අනාගතයට යා යුතුයි කියලා. ඒ සම්බන්ධයෙන් ගෝලීය ජාල ඇති වෙලා තියෙනවා. මුස්ලිම් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය කියලමයි කියන්නේ. වැදගත් විද්වතුන්, නායකයෝ, ගෝලීය මට්ටමෙන් වැඩ කරන තත්ත්වයක් තියෙනවා. ඉන්දියාවේ මේ සම්බන්ධයෙන් අලි ඉංජිනියර් වගේ වැදගත් විද්වතුන් ඉන්නවා මේ සම්බන්ධයෙන් ශාස්ත්‍රී වශයෙන් අධ්‍යයනය කරන. තමන්ගේ ආගමේ ප්‍රතිසංස්කරණ සඳහා අධ්‍යයනය කරන.

දේශීය මුස්ලිම් ප්‍රතිසංස්කරණවල පවතින දුර්වලතා

අපේ රටේ තත්ත්වය කුමක්ද මේ සම්බන්ධයෙන්. අපේ රටෙත් මගේ දැනීමේ හැටියට ප්‍රතිසංස්කරණවාදීන් ඉන්නවා අනාගතය දෙසට යොමු වුනු. ඔවුන්ගේ ශක්තිය දුර්වලයි. ඒක තමයි තිබෙන ගැටළුව. පුද්ගලයෝ වශයෙන් ඉන්නවා, සමහර මව්ලවිවරු ඉන්නවා. පොඩි කණ්ඩායම් වශයෙනුත් ඉන්නවා. ඔවුන් මුස්ලිම් සමාජය තුළ සම්ප්‍රදායික මුස්ලිම් සමාජය තුළත්, පැන නැගිලා තියෙන අන්තවාදී මුස්ලිම් සමාජ කොටස් අතරත් ප්‍රතිසංස්කරණවාදීන් දුර්වලයි. ඒකයි තේරුම් ගත යුත්තේ. මුස්ලිම් සමාජය තුළ ධාරාවන් තුනක් තියෙනවා. පොදු සම්ප්‍රදායික ධාරාව, පැන නැගී තිබෙන ගෝලීය හේතුත් නිසා, පැන නැගී තිබෙන අන්තවාදී ධාරාව, අවුරුදු පහළොවක් තිස්සේ ගමන් කළ කුඩා ප්‍රතිසංස්කරණ ධාරාව ගමන් කරනවා. දැන් අපි බලය දෙන්නේ කාටද කියලා හිතන්න ඕනා.

මේ ආගමික සමාජ සියල්ලේම අපි උනන්දු වෙන්න ඕනා, අපි ශක්ති දෙන්න ඕනා ආරක්ෂා කරගන්න හා දායක වෙන්න ඕනා ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළට. සෑම ආගමික සමාජයකම ඉන්නවා කල්පනා කරන ප්‍රතිසංස්කරණ නායකයෝ කව්ද? කණ්ඩායම් කව්ද කියන එක හොයගෙන, ඒවා පාදගෙන ඒ ගොල්ලන් එක්ක සම්බන්ධවීමට ඒ අයට ශක්තිය දීමට අවශ්‍යයි. මුස්ලිම් සමාජ ගත්තම මේ වෙලාවේ මුහුණ දෙන ගැටලු, සීමා, විශේෂයෙන්ම මාධ්‍ය වල තියෙන භයානක, අගතිගාමී තත්ත්වය නිසා විශේෂයෙන්ම හඩ අහිමි වෙන්නේ ආගමික ප්‍රතිසංස්කරණවාදීන්ට. සිංහල බහුතර සමාජය මේවා තේරුම් ගැනීමට අවශ්‍යයි. ඒ නිසා අපි අනාගතයට යොමු වෙව්ව සියළුම ආගමික ප්‍රජාවන් ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළකට සහයෝගය දෙමින් ශක්තිමත් කිරීම අවශ්‍යයි කියලා අවධාරණය කරනවා.

පාස්කු දින ප්‍රහාරය සහ ජාත්‍යයන්තර ඉස්ලාමීය ත්‍රස්තවාදය

අප්‍රේල් 21 වෙනි දින සිදුවුනු අයි.එස්.ජාත්‍යයන්තර ඡාලයට සම්බන්ධයි කියලා තදින්ම සැක කරන ලංකාවේ අත්තවාදී කණ්ඩායම ගැන අපි අවධානය යොමු කරන කොට, ඒ ගොල්ලන්ට ලැබෙන ශක්තිය කොහෙන්ද ලැබෙන්නේ කියන එක දකින්න වටිනවා. එය හුදෙක්ම ලංකාව තුලින්ම ලැබුණූ ශක්තියක් ද නැත්නම් ඊට වඩා බරපතල ගෝලීය වැඩ පිළිවෙළක කොටසක් ද ? හුගක් ලංකාවේ සිටින ප්‍රධාන මුස්ලිම් නායකයෝ කියන්නේ ඔවුන් මුස්ලිම් කියලා කියන්නවත් අපි කැමති නෑ කියලා. ඒ අය කියන්නේ ඔවුන් ත්‍රස්තවාදීන්, ඔවුන්ට ආගමකුත් නෑ කියලා. ඒක කතාවට කිව්වට, එය කියන්න සාධාරණ හේතු තියෙනවා මුළු අයි.එස්.ඉස්ලාම් රාජ්‍යය පිළිබඳ මේ යන මේ ධාරාව හැදුනු විදිය හොයන්න ගියාම ලොකු කරුණු කාරණා තේරුම් ගන්න පුළුවන්. එක් තැනක් අපිට මතක් කරගන්න වටිනවා. 2001 සැප්තැම්බර් 11 වෙනිදා ඇමෙරිකාවේ මහා භයානක සිද්ධිය. අල්කයිඩා සංවිධානය ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල කරන ලද ප්‍රහාරයේදී අහිංසක ජනතාව 5000 කට වඩා මරණයට පත්වුනා. ඒ අවස්ථාවේදී මුළු ලෝකයම සැලුනා. භයානක, ම්ලේච්ඡ අභියෝගයක් මනුෂ්‍යයාට ඇවිල්ලා කියනවා වගේ අදහසක් බටහිර විද්වතුන්, බටහිර නායකයෝ ඇමෙරිකානු ජනතාවට හිතෙන්න පටන් ගත්තා. එය සාධාරණ සිතිවිල්ලක්. නමුත් ඒ වෙලාවේ ඇමෙරිකාවේ දේශපාලන නායකත්ව හා ඒ හා ආසන්ව සිදුවුනු සිදුවීම පරිස්සමින් තේරුම් ගැනීමට අවශ්‍යයි. මේ සිද්ධිය වෙනකොට ජනාධිපති වශයෙන් හිටපු ජොර්ජ් ඩබ්. බුෂ් වහාම ප්‍රකාශයක් කරනවා. ඒ ප්‍රකාශය එක්තරා පරිමාණයකින් බැලුවම අතිශයින් උද්දච්ච ප්‍රකාශයක්. ඔහු ලෝක නායකයා තමන්ය කියලා හිතනවා වගේ, ලෝකයට මඟ පෙන්වන්නා, සමහර විට ලෝකයේ අධ්‍යාත්මික නායකයා තමන්ය කියා ගන්නවා වගේ ප්‍රකාශයක් ඒ කරන්නේ.

ගෝලීය ත්‍රස්තවාදයේ නිර්මාතෘ විසින්ම එය පරාජය කිරීමට සැරසීම

මේ අල්කයිඩා ප්‍රහාරය නම් කරනවා. ඒ සඳහා සාධාරණ හේතු තියෙන්න පුළුවන්. ත්‍රස්තවාදී සංවිධානයක් විදියට. අපි හොයලා බලන්න ඕනේ අල්කයිඩා සංවිධානය පැන නැගුණේ කොහොමද කියලා.? එතකොට අපිට මීට වඩා බරපතල අරාබිකරයේ ඇමෙරිකානු අවශ්‍යතා සහිත, තෙල් නිධි පිළිබඳ අවශ්‍යතා සහිත, ලොකු කතන්දරයක් හොයන්න පුළුවන් අල්කයිඩා සංවිධාන පැන නැගීම පිටුපස්සේ අමෙරිකානු ව්‍යාපාරික පද්ධතියේ, ඇමෙරිකානු සී.අයි.ඒ අත හොඳට පැහැදිලි කරලා තියෙනවා. ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රහාරයෙන් පසුව ලෝක ජනතාව,නායකයින් අමතා ප්‍රකාශයක් කරනවා. එහිදී ඔහු කියනවා ත්‍රස්තවාදයට එරෙහි ලෝක යුද්ධය ප්‍රකාශ කරනවා ජාත්‍යයන්තර ගෝලීය යුද්ධයක් ත්‍රස්තවාදයට විරුද්ධව. ඊට පස්සේ ඔහු කියනවා ප්‍රකාශයෙන් ක්‍රිස්තියානි ජනතාවගේ ඇඟ කිළිපොලා යන්න ඕනා. මේ වෙලාවේ ත්‍රස්වාදයට එරෙහි යුද්ධයේ ගෝලීය නායකත්වය දෙන අප සමග නැත්තේ මොන නායකයද, ඒ අය ඉන්නේ ත්‍රස්තවාදය සමග කියලා. මේ බයිබලයේ වචන සම්පූර්ණයෙන්ම වැරදි විදියට අර්ථකතනය කිරීමක්. ජේසුස් වහන්සේ සම්පූර්ණයෙන් වෙනස් තේරුමක් සහිතව, සම්පූර්ණයෙන් වෙනත් විදියකට කියන “මා සමග මේ වෙලාවේ කවුද නැත්තේ ඔවුන් ඉන්නේ මගේ සතුරන් සමග” යයි කියපු කතාව සම්පූර්ණයෙන් ගෝලීය දේශපාලනය තමන්ගේ අවශ්‍යතාවය සඳහා බුෂ් යොදා ගන්නවා. ඒක කතාව භයානක වුනත් ඒ අදහස ක්‍රිස්තියානින් අතර ප්‍රචලිත වුනා. ඔවුන්ට ඒ අදහස දැනුනා. මේ ප්‍රකාශයත් සමග ඊට පසුදා වගේ ඊශ්රායෙල් අගමැතිවරයා මීට දායකවෙමින් ප්‍රකාශයක් කරනවා. ඊට පසුවෙන දේශපාලන සම්බන්ධතා අපිට තේරුම්ගන්න පුළුවන්. ඊට පස්සේ යුරෝපීය නායකයන් ඇතුළු බොහෝ රාජ්‍ය නායකයන් ගෝලීය ත්‍රස්තවාදයට එරෙහි වෙනවා කියලා ප්‍රකාශයන් කරනවා.

ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් යුධ පද්ධතිය ලාභ ලැබීම

පර්යේෂක කණ්ඩායම් විවිධ හෙළි කිරීම් සිදුකරනවා මේ සිදුවීමත් සමගම. ඇත්තමටම මොකක්ද ලෝකයේ සිදුවුනේ කියලා. ඇමෙරිකාව සහ ඊශ්රායලය ආදායම් උපයාගනු ලබන ප්‍රධාන මාර්ගයක් තමයි ආයුධ වෙළඳාම. ඒකට කියන්නේ ආයුධ වෙළඳාම නෙමෙයි. යුධ කර්මාන්තය. මේක මහා භයානක පද්ධතියක්. මේ පද්ධතිය හීන වේගෙන යනවා සාම කාල වලදි. ජාත්‍යයන්තරව ප්‍රශ්න අඩුවෙනකොට. මේකට අයිති වරම ඇමෙරිකාව තුළම අහිමි වෙන්න පටන් ගන්නවා. ජනතාව ආරක්ෂණ බදු අඩුකරන්න කියන දේට කිසිම දෙයක් කරන්න බැරි වෙනවා. අල්කයිඩා ප්‍රහාරය සහ බුෂ්ගේ මේ ප්‍රකාශයෙන් පස්සේ වෙන්නේ යුධ පද්ධතියට වැය වන අයවැය වැඩිවෙන්න පටන් ගන්නවා දහ පාලොස් ගුණයකින්. විශාල පරිමාණයකින්. ඊට සාපේක්ෂව මහජනයාගේ යහපත සඳහා යන්න තියෙන අරමුදල් අඩුවෙන්න පටන් ගන්නවා. සුබසාධන වැය කැපෙන්න පටන් ගන්නවා.

අයි.එස්. ත්‍රස්තවාදයේ යැපීම හා මුහුණුවර

මේක තමයි අවසාන ප්‍රථිඵලය. ගෝලීය ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ ප්‍රථිඵලයයයි මේ. මිනිස්සුන්ගේ බඩට ගහනවා. නමුත් යුද පද්ධතිය දියුණු වෙනවා. කවුද යැපෙන්නේ? මොකක්ද මේකේ තේරුම කියලා බැලුවොත් කල්පනා කරන මිනිස්සු පරිස්සම් වෙන්න ඕනා. මේ සිදුවන දේවල් ගැන. අයි.එස් ප්‍රහාර පිටුපස තියෙන මේ යුධ පද්ධතියේ දේශපාලනික හස්තය හුගක් අපි කල්පනා කරන්න ඕනා. තේරුම් ගන්න ඕනා. මේක හුදෙක් දේශීය ප්‍රපංචයක් විදියට විතරක් තේරුම් ගැනීම හරිම භයානකයි. දේශීය තත්ත්වයන් තුළ මුස්ලිම් ජනයා ඇදලා දාන්නත් පුළුවන්. ඒවට මුදල් විශාල වශයෙන් එනවා. අයි.එස් එක යැපෙන ක්‍රම තුනක් විද්වතුන් අවුරුදු 10 ක් තිස්සේ පෙන්වනවා. සිරියානු යුද්ධයෙන් පස්සේ අදායම් ලබන එක් ප්‍රධාන විදියක් තමයි මත්ද්‍රව්‍ය වෙළඳාම. ලෝක මත්ද්‍රව්‍ය ජාලයයයි, අයි.එස් ඡාලයයයි අතර තියෙන සහ සම්බන්ධය. දෙවෙනි එක තමයි මුදල් විශුද්ධිකරණය. ලෝකයේ නොයෙකුත් තැන්වල දේශපාලඥයෝ තමන්ගේ සාක්කුවට දාගෙන අයි.එස් එක ඒ මුදල් ආයෝජනය කරමින්, යන වැඬේ. තුන් වෙනි එක අපි තේරුම් ගන්න ඕනා අයි.එස්. එක වගේ සංවිධානයකට පවතින්න බෑ ඉහළ මට්ටමට නොකඩවා ආයුධ ගලන්නේ නැතුව. මේ තත්ත්වයන් තුනම කළු, භයානක ඡාලයන්. ලෝකයේ මේ කළු ඡාල ඇතුළේ තමයි අයි.එස් එක හැසිරෙන්නේ. ඒක පවතින්නෙත් ඒ විදියට. ලංකාවේ දේශීය තත්ත්වය ඇතුළෙත් අපි බලන්න ඕනා කොහොමද මත්ද්‍රව්‍ය වෙළඳාම තියෙන්නේ? කා අතේද කියන එක.? කව්ද ඒවා පාලනය කරන්නේ කව්ද? කව්ද ඒවා වල අනුශාසකයන් කව්ද කියලා හොයන්න ඕනා ? මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් දේශපාලන හස්තය හොයන්න ඕනා. ඊට පස්සේ ආයුධ වෙළඳාම. ලංකාව ආයුධ වෙළඳාමට ගියා. ඇවන්ගාර්ඞ් වගේ ව්‍යාපෘති වලින්. ලංකාවේ වගේ රටක් ලෝක තත්ත්වය හමුවේ කිසිම දිනක ආයුධ වෙළඳාමට නොයා යුතුයි. අපි ආයුධ හදන්නෙත් නෑ. ඒවා ගැන දන්නෙත් නෑ. අපි ආයුධ විකුණනවා නම් අපිට ආයුධ විකුණන්න තියෙන්නේ නිල තත්ත්වයන් යටතේ නෙමෙයි. ඒ නිසා අපි ආයුධ විකුණුවේ කාටද කියලා අපි හරියට දන්නේ නෑ. මේ වගේ අවස්ථාවක මේවා පිටුපස තියෙන දේශපාලන ඉතාමත් වැදගත්. අපේ මහජනයා මේ වෙලාවේ කල්පනාවෙන් ඉන්න ඕනා. උඩ තට්ටුවේ දේශපාලනයේ යටින් ගලන දේවල් ගැන පරිස්සම් වෙන්න ඕනා. ගෝලීය භයානක දේශපාන ජාලය සහ මේ යුධ පද්ධතිය ඇතූළේ තියෙන උපාමාරු තේරුම් ගන්නට ඕනා.

(අයිතිය)

Archive

Latest news

Related news