Saturday, April 27, 2024

වඳ තිසර පට භීතිකාව – සුලෝචනා රාජපක්ෂ

මේ දිනවල මුස්ලිම් විරෝධී ඕනෑම පුවතක් උණු කැවුම් වගේ විකිණෙන්න පටන්ගෙන ඇත. මේ අතර බොහොමයක් මාධ්‍යද මෙය ප්‍රයෝජනයට ගෙන ජනයා අතර අසත්‍ය තොරතුරු පතුරවා හෝ තම මඩිය තර කර ගැනීමේ ඉතා බාල මාධ්‍ය හැසිරවීමකට යොමුව ඇත. මේ සියල්ල අතර ජනයා හරි වැරැද්ද කුමක්දැයි තෝරාගත නොහී අතරමංව ඇත.

2017 මැයි මස මීතොටමුල්ල ව්‍යසනයත් සමඟ එම ප්‍රදේශයේ දැරියන්හට ලබා දුන් තිසරපට තුළ යම් ජෙල් පැකට් වගයක් තිබු බව පුවත් පත් වාර්තා කෙරුණි. මෙය සිංහල ජනයා වඳ කිරීම අරමුණු කරගෙන ක්‍රියාත්මක වුවක් බව ප්‍රචාරය විය.

නැවත මෙම කථාව කරලියට එන්නේ පාස්කු ඉරු දින ප්‍රහාරයත් සමඟයි. මෙම කතා රට යම් ව්‍යසනයකට මුහුණ පෑ විගසින්ම කරළියට ඒම ඉතා විහිළු සහගතය. මේ තිසරපට තුළ ඇති වඳ ද්‍රව්‍ය හේතු කොට ගෙන එය ශරීරය ගොස් එය ලේ වලට එක් වී පැලෝපීය නාල වලට එක වන බවවට ගල් පැලෙන තර්ක ගෙන එමින් ඇතැම් පුවත් පත් සහ මාධ්‍ය ජාලා ජනයා මුළා කරණුයේ ජනවාර්ගික අර්බුධ ඔස්සේ ඔවුන්ගේ මඩිය තර කර ගැනීමේ පටු අදහස් ඇතිවයි. මේ අයුරින්ම පිරිමි යට ඇඳුම් වලටද මෙම වඳ බෙහෙත් මිශ්‍ර වීම සිදු වන බවට මිත්‍යාවන් පතුරවා ඇත.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් සති තුනකට අනතුරුව ආදුරුප්පු වීදියේ වෙළඳසලකින් මෙම වඳ පෙති ලක්ෂ ගණනක් සොයා ගත බව සඳහන් වේ. මෙය රට වෙලා ගත් කුමන්ත්‍රණයක් ලෙස අඟවමින් සිංහල ජනයා බියට පත් කොට මුස්ලිම් ජනයා අපහසුවට පත් කරමින් මේ අරඅඳින්නේ තවත් වර්ගවාදී යුද්ධයක් තුළ තම තමා පෝෂණය වීමටද?

මේ සමඟම සියලුම මුස්ලිම් සහ ප්‍රසව නාරිවේදී වෛද්‍යවරුන්ගේ වැඩ තහනම් කිරිමටද කටයුතු කරන මෙන් අවධාරණය කරයි. වර්ගවාදයේ වෛරය වර්ගවාදයේ ගිනි පුලිඟු සමතැන තැන්පත් කර ජාතීන් අතර වෛරය ගොඩ නැඟීම මේ සියල්ලේ අරමුණයි. මේ සියල්ල පදනම් විරහිත චෝදනා වේ. ඔබ මොහොතක් තාර්කිකව සිතා බැලුවහොත් වඳ ද්‍රව්‍ය සහිත තිසරපට පැලෝපීය නාල තෙක් කිරීමට නම් කොතරම් ප්‍රභල බෙහෙතක් වියයුතුද?

බේරුවල, දර්ගා නගරයේ ව්‍යාපාරිකයකු අලෙවිය සඳහා ගෙනවිත් තිබියදී ඉකුත් බ්‍රහස්පතින්දා (23) පොලීසිය භාරයට ගත් තිසරපට තොගයේ ඇතුළත තිබූ ජෙල් වර්ගය මිනිසා වඳ භාවට පත්කරන හෝ මිනිස් සිරුරට හානි කර නොවන බව රස පරීක්ෂක විසින් තහවුරු කර ඇත.

සැක සහිත ද්‍රව්‍යයක් ආලේප කර තිබූ තිසරපට 243ක් එහි හිමිකරු සමග අත්අඩංගුවට ගනු ලැබූ බව මාධ්‍ය මගින් වාර්තා කෙරිණි. පොලිසිය එම ජෙල් වර්ගය අඩංගු තිසරපට තොගය වැඩිදුර පරීක්ෂා කර වර්තාවක් ලබා ගැනීම සඳහා අධිකරණයේ උපදෙස් මත රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කළේ ය.

රස පරීක්ෂකවරයා අදාළ තිසරපට තොගය සම්බන්ධයෙන් ලබා දුන් වාර්තාවට අනුව එම තිසරපටවල අඩංගු ජෙල් වර්ගය මිනිස් සිරුරට අහිතකර නොවන සාමාන්‍ය ජෙල් වර්ගයක් යැයි තහවුරු කර ඇති බවත්, එය ඉදිරි නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසිය.

තිසර පට ඇතුළත තිබූ එම ජෙල් වර්ගය මිනිස් සිරුරට අහිතකර බවටත් ඉන් කාන්තාවන් වඳභාවයට පත්කරන බවටත් ෆේස්බුක් ඇතුළු සමාජ ජාල තුළත් ජනතාව අතරත් කටකතාද පැතිරයමින් තිබිණි. එම ප්‍රචාරයන් සියල්ලම බොරු ප්‍රචාරයක් බව මේ අනුව තහවුරු වේ. සිතන්න ඔබත් අසත්‍ය පුවත් මාෆියාවේ කොටසක් වෙනවාද, නැතහොත් බුද්ධියෙන් විමසුමට ලක්කරනවාද?

Archive

Latest news

Related news