Sunday, May 19, 2024

ඥාණසාර නිදහස් කිරීමට පෙර අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කල විනිසුරුවරුන්ගේ උපදෙස් ගත යුතුව තිබුණා – නීතිඥ සංගමය

ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රමය තුළ සුවිශේෂී වැදගත්කමක් ඇත්තා වූ “නීතියේ ආධිපත්‍යය” සහ “අධිකරණයේ ස්වාධීනත්වය” සම්බන්ධයෙන් බලපෑමක් ඇති කරනු ලැබුවා වූ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අවධානය යොමු වී ඇත.

අධිකරණය හා නීතිඥ වෘත්තීය එකම ක්ෂෙත්‍රයක කොටස් 2 ක් වශයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සෑම විටම සලකා ඇති අතර, ඉන් එක් කොටසකට එල්ල වන්නා වූ බලපෑම් අනෙක් කොටසටද බලපාන බව අපගේ මතයයි.

මෑතකදී නැගෙනහිර පළාතේ උසස් ධූරයක් දරන්නා වූ දේශපාලඥයෙකු විසින් විනිසුරුවරයෙකුගේ ස්ථාන මාරුවකට අදාළ කරන්නට යෙදුණු බවට ඇඟවෙන ප්‍රකශයක් විද්‍යූත් ජනමාධ්‍ය ඔස්සේ විකාශනය වුණි. මෙහිදී මුලින්ම අදාළ ශ්‍රව්‍යමය හා දෘෂ්‍යමය පටිගත කිරීමේ නිරවද්‍යභාවය සොයා බැලිය යුතු කරුණක් වන අතර, එම පටිගත කිරීමේ ඇතුලත් ප්‍රකාශය සත්‍ය වශයෙන්ම කරනු ලැබුවේ නම්, එය අධිකරණයේ ස්වාධීනත්වයට කරනු ලැබූ බලපෑමක් වන අතර, එය ඉතා බැරෑරුම් තත්ත්වයක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මතය වී ඇත.

ඉහත පටිගත කිරීමේ අන්තර්ගතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අවධානය යොමු වී ඇති අතර, එය ශ්‍රව්‍යමය හා දෘෂ්‍යමය පටිගත කිරීමේ සත්‍යතාවය තහවුරු කිරීමකින් තොරව යමෙකුට අදාළව, ප්‍රකාශයක් සිදුකිරීම / සාධාරණ නොවන බව අප දරණ මතයයි. එනමුදු එම පටිගත කිරීමේ අන්තර්ගතය සත්‍ය බවට ඔප්පු වනතෙක් ඒ තුලින් අධිකරණයේ ස්වාධීනත්වයට ඉමහත් අගතියක් වන බවටද ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරයි.

මෙයට අමතරව බස්නාහිර පළාතේ ඉහළ ධුරයක් දරන්නා වූ දේශපාලඥයෙකු විසින් ප්‍රකාශයක් කරමින් ත්‍රස්තවාදී කටයුතු වලට සම්බන්ධ වූ විනිසුරුවරයෙකුගේ දායකත්වය හෙළිදරව් කිරීමට ඔහුට හැකියාවක් ඇති බවට ප්‍රකාශ කරන්නට යෙදුණු බවද අප නිරීක්‍ෂණය කළෙමු.

මෙය ප්‍රසිද්ධ ප්‍රකාශයක් වශයෙන් සිදුකරනු ලැබූවද මේ වනතෙක් අදාළ බලධාරීන් විසින් එම ප්‍රකාශයේ කරුණු විමර්ශනය කිරීම උදෙසා කිසිදු පියවරක් ගෙන නොතිබීමද අවාසනාවන්ත කරුණකි.

ඉහත ප්‍රකාශය තුලින් මෙරට අධිකරණ ක්‍රමය තුළ මහජනතාව තබා ඇති විශ්වාසය පුළුල් ලෙස පළුදුවන බවත්, එවැනි පළුදුවීමක් තුලින් “නීතියේ ආධිපත්‍ය” යන්නට බලපෑමක් ඇතිවන බවත්, ප්‍රකාශ කළ යුතුව ඇත.

ඉහත ප්‍රකාශයන් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කොට අදාළ ප්‍රකාශයන්හි නිරවද්‍යතාවය සහ අන්තර්ගතයේ නිරවද්‍යතාවය සම්බන්ධයෙන් විමර්ශනය කරන මෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.

2019-5-25 වන දින පවත්වන්නට යෙදුණු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥ සමුළු රැස්වීමේදී ඉහත කරුණු වෙත අවධානය යොමු කරන්නට යෙදුණි.

අතිගරු ජනාධිපතිතුමා විසින් මෑතකදී හෝමාගම මහෙස්ත්‍රාත්වරයා ඉදිරිපිට “අධිකරණයට අපහාස කිරීමේ” පදනම මත එම ක්‍රියාව උදෙසා අභියාචනාධිකරණය විසින් වරදකරු කොට තම දඬුවම ගෙවමින් සිටි බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට ජනාධිපති සමාවක් ප්‍රදානය කිරීම සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අවධානය යොමු වී ඇත. ආන්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 105(1) ව්‍යවස්ථාව යටතේ “අධිකරණයට අපහාස කිරීම” සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලතල ගරු අධිකරණය වෙත පවරා ඇත. මෙවන් බලයක් පැවරීමේ මූලික අභිමතාර්ථය වන්නේ අනවශ්‍ය ලෙස අධිකරණමය කටයුතු වලට මැදිහත් වීම වැලැක්වීමත්, අධිකරණයේ ස්වාධීනත්වය සහ බලඅධිකාරී යන කරුණු සම්බන්ධයෙන් අනවශ්‍ය බලපෑමක් ඇති කිරීම නැවැත්වීමත් බව ඉතා පැහැදිලි කරුණකි .

1801 දී ආරම්භ වූ මෙරට අධිකරණ ක්‍රමය ඉතා අභිමානවත් සහ ‌ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියන බව අපගේ මතයයි. ශත වර්ෂ 2 කට අධික කාලයක් එහි අභිමානවත් බව සහ ප්‍රෞඪත්වය ආරක්‍ෂා වීමට මූලිකම හේතුව වන්නේ අධිකරණයේ ගෞරවනීයත්වය සහ අධිකරණය සම්බන්ධයෙන් ඇති ජනතා විශ්වාසය බව ප්‍රකාශ කළ යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපති සමාවක් ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයාට ඇති බලය අත්තනෝමතික ලෙස හෝ නොසැලකිය යුතු කරුණු මත ක්‍රියාත්මක නොකළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මතයයි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පවරා ඇති බලය ප්‍රශ්න කළ නොහැකි වුවද එම බලය පිළිගත් නීතිමය සිද්ධාන්තයන් මත හා සාධාරණ හේතු මත ක්‍රියාත්මක කළ යුතු බවත්, මෙම පදනමෙන් පරිබාහිරව එම බලය ක්‍රියාත්මක කරන්නට යෙදුණහොත් ඒ තුලින් නීතියේ ආධිපත්‍ය යන මූලික සිද්ධාන්තයේ ක්‍රියාකාරිත්වයට මෙන්ම ස්වාධීන අධිකරණයක් අගයන්නා වූ සෑම තැනැත්තෙකුගේම හෘද සාක්ෂියට ප්‍රබල ලෙස බලපාන්නා වූ තත්ත්වයක් උද්ගත වන බවත් ප්‍රකාශ කළ යුතුය.

අවාසනාවකට මෙන් මීට පෙරාතුවද ජනාධිපතිවරුන් කිහිපදෙනෙකු විසින් ජනාධිපති සමාව දීම සම්බන්ධයෙන් ඇති අභිමතානුසාරී බලය මේ හා සමානම කරුණු මත ක්‍රියාත්මක කොට ඇති බව නිරීක්‍ෂණය කරමු.

එවන් ආකාරයට සාධාරණ හේතුවකින් තොරව මෙම බලය ක්‍රියාත්මක කිරීම “නීතියේ ආධිපත්‍යය” සහ “අධිකරණයේ ස්වාධීනත්වය” යන සිද්ධාන්තයන්ට ප්‍රබල බලපෑමක් ඇති කරනු ඇත.

ඉහත කී අවස්ථාවන්හිදී එම බලය එලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු වී ඇති අතර, එම බලය අත්තනෝමතික ලෙස හෝ පදනම් විරහිතව ක්‍රියාත්මක නොකළ යුතුය යන මතය අප දරන්නෙමු. එම බලය ක්‍රියාත්මක කිරීමේදී අදාළ සියලූම ආයතන වල උපදෙස් ලබා ගත යුතු අතර, විශේෂයෙන් අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කල විනිසුරුවරුන්ගේ සහ නීතිපතිවරයාගේ උපදෙස් මත එම බලය ක්‍රියාත්මක කිරීම වඩාත් උචිත ක්‍රියාමාර්ගයක් බව ප්‍රකාශ කරමු.

ජනාධිපති සමාවක් දීමේදී අනුගමනය කළ යුතු කාර්යපටිපාටිය හෝ සළකා බැලිය යුතු කරුණු සම්බන්ධයෙන් නිශ්චිත ක්‍රියා පිළිවෙතක් දක්වා නොමැති බව අප නිරීක්‍ෂණය කරමු. මෙවන් අවස්ථාවක අප ඉහත දක්වා ඇති උපදෙස් ලබාගැනීමේ ක්‍රියාවලිය තුලින් ඉහත බලය ක්‍රියාත්මක කරන්නේනම් නම් ඒ තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට හෝ අධිකරණ ක්‍රමය තුළ ඇති ජනතා විශ්වාසයට අගතියක් නොවන බව අපගේ විශ්වාසයයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය

Archive

Latest news

Related news