අප මුහුණ දී සිටින්නේ ගෝලීය ත්‍රස්තවාදයටයි. මේ මේ අන්තවාදය සහ ඉස්ලාම්වාදී ත්‍රස්තවාදය හමුවේ ලෝකය පුරාම ඉස්ලාම් විරෝධය පැතිරෙමින් තියෙන බව දකින්නට පුළුවන්. හැමදෙනාම ඉන්නේ බියෙන්. ඒවගේම එකිනෙකා ගැන සැකයෙන්. සාමය ගැන තියෙන විශ්වාසය බිඳී ගිහින් තියෙනවා.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව මේ වනවිට ලංකාව පුරා පැතිරීගෙන යන ජාතිවාදී රැල්ල හේතුවෙන් වින්දිතයන් බවට පත්වෙලා තියෙනවා. මේ ප්‍රජාව ලංකාවේ ඉතිහාසය තුල නොයෙක් ලෙස පීඩාවට පත් වෙලා තියෙනවා. 1990 ගණන් වල උතුරේ මුස්ලිම් ප්‍රජාව සරණාගතයන් බවට පත්වෙනවා. යුද්ධයෙන් ඔවුන් පීඩා විඳිනවා. ඒ වගේම යුද්ධයෙන් පසු කාලයේ අලුත්ගමදී, අම්පාරේදී සහ දිගනදී ඔවුන් විශාල අසාධාරණයන්ට මුහුණ දෙනවා. අපි මතක් කර ගන්න ඕනේ ඒ කිසිම වෙලාවක ලාංකීය මුස්ලිම් ප්‍රජාව ප්‍රති ප්‍රහාර එල්ල කලේ නැති බව.
අපි මීට මාස කීපයකට උඩදි සමීක්ෂණයක් කරන්න අම්පාර ප්‍රදේශයට ගියා. එහිදී හමුවුන හාමුදුරුවන් කියූ දේවල් මට අදහා ගන්න බැරි වුණා. එක් හාමුදුරු නමක් කිව්වා මුස්ලිම් ගම්මාන වල හරක් ඇවිත් සිංහල ගමේ වගාවන් කන නිසා නැවත යුද්ධයක් එන බව අනිවාර්ය බව. හරක් වගාවන් කෑමත් ISIS ගෝලීය ත්‍රස්තවාදයේත් කිසිම බැඳීමක් නැහැ. තවත් හාමුදුරු නමක් කිව්වා යුද්දේ තිබ්බනම් හොඳයි. ඒ කාලේ පොඩි ගැම්මක් තිබ්බා කියලා. ඉස්ලාම් ප්‍රජාවට එරෙහිව වෛරී ව්‍යාපාරයක් මේ හාමුදුරුවරු ගෙනයන බව ඉතාම පැහැදිලිව පෙනෙන්ට තිබුණා. හාමුදුරුවරු කියන්නේ ගම් වල විශාල පිරිසක් සමග සම්බන්ධ වෙන, බණ කියන, ගම් වැසියන්ගේ ගෞරවය දිනාගත් කණ්ඩායමක්. ඉතින් ඔවුන් මෙවැනි සීමා විරහිත වෛරී ව්‍යාපාරයක් ගෙන යාම ප්‍රශ්නයක්.
ඒ වගේම අප සමග කතාකළ අවුරුදු 25ක පමණ තරුණ කාන්තාවක් කිව්වා යුද්දේ කාලේ ඔවුන් හවසට ITN බලමින් ‘අපේ කොල්ලෝ’ සටන් කරන හැටි බලන්නේ මාර ත්‍රිල් එකකින් කියලා. ඉතින් ඇත්තටම පෙනෙන්න තියෙන්නේ අපිට යුද්දේ නැතුව පාළු බව තමයි. අපේ පරම්පරාව නොබෙදුන ශ්‍රී ලංකාවක් දැකලා නෑ. අපි පොඩි කාලේ ඉඳන් අහල තියෙන්නේ ‘සිංහල මිනිස්සු’, ‘කොටි’, ‘තම්බි’ ආදී භාෂාව. අපට මෑතකාලීන ඉතිහාසය ගැන කිසිම අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ. අපේ පරම්පරාව අපේ දෙමවුපියන්ගේ පරම්පරාව වගේ පොත් පත් කියවන්නේ නෑ. ඒ කලේ සිංහලෙන් විතරක් පොත් පත් පරිහරණය කල අයත් චීන, රුසියන්, ජර්මන් පරිවර්තන කියෙව්වා. ලෝකය ගැන, දේශපාලනය දැන ගත්තා. නමුත් දැන් තරුණ පරම්පරාව තොරතුරු ගන්නේ Facebook එකෙන්. කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතුව මේ දේවල් විශ්වාස කරනවා විතරක් නෙමෙයි මෙවන් වැරදි මත ව්‍යාප්ත කරනවා. දෙමවුපියන් සහ වැඩිහිටියන් විදියට තරුණ ප්‍රජාවය Facebook යන්න එපා කීමෙන් වැඩක් නෑ. මේ තරුණ ප්‍රජව මතවාදාත්මක කතිකාවකට සම්බන්ධ කර ගත යුතුයි.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තාව ගැන කතා කරනවානම් පැහැදිලිව පේන දෙයක් තමයි රජය විසින් මුස්ලිම් කාන්තාව කොන් කර තිබෙන බව. මුස්ලිම් විවාහ නීතිය යටතේ කාන්තාවකට ලැබෙන්නේ පුරුෂයාට වඩා පහත් තැනක්. තමන්ගේම විවාහයට අත්සන් කරන්නවත් ඔවුන්ට අයිතියක් නැහැ. මුස්ලිම් නීතිය ගැන නිතරම තීරණ ගන්නේ පිරිමි. මීට කලින් මුස්ලිම් නීතිය වෙනස් කරන්න පත්කළ කොමිටියේ කාන්තාවන් 2/9 යි. දැන් බුර්කාව තහනම් කරපු තීරණය ගත්තෙත් පිරිමි. බුර්කාව කියන්නේ කාන්තාවට සීමා පනවන දෙයක්. බුර්කාව ඇදීමෙන් අදහස් වෙන්නෙ වෙනත් පුරුෂයින්ගෙ ආකර්ෂණයට ලක් නොවීම සඳහා ශරීරය වසා ගැනීමයි. ඒක සැමියාගේ වාසියට හදපු දෙයක්. කාන්තාවගේ ලිංගිකත්වය සීමා කිරීමක්. නමුත් බුර්කාව ඇඳීම තහනම් කිරීමත් වැරදියි, මොකද එතකොට අපි උල්ලංගණය කරන්නේ කාන්තාවගේ තෝරා ගැනීමේ නිදහස. අපි මතක තියා ගන්න ඕනේ කාන්තාවගේ ලිංගිකත්වය සීමා කරන්නේ බුර්කාව විතරක් නෙමෙයි. පන්සල, පල්ලිය, ඇතුළු සියලු ආගමික ආයතන, නීති, පුරුෂධිපත්තිය වටා ගොඩ නැගුණ වටිනාකම් පද්ධති, මේ සියලු දේ කාන්තාවගේ ලිංගිකත්වය සීමා කරනවා. ඉතින් අපි බුර්කාව එපා කියනවනම්, එහෙම කියන්නේ ඒ දේ තේරුම් ගෙනද එහෙමත් නැත්නම් අපි තුල සැඟවී ඇති ඉස්ලාම් විරෝධය නිසාද කියන එක ප්‍රශ්න කිරීම වැදගත් වෙනවා.
ළඟදී බුර්කා තහනම ගැන bakamoono.lk හි ලිපියක් පළවුණා. එකේ පෙන්නුම් කරලා තිබුණා බුර්කාව අඳින ඇතැම් කාන්තාවන් බුර්කාව ගැලවීමට අකමැති බවත් ඒ නිසා ඔවුන්ට දැන් නිවසෙන් එලියට යාමට නොහැකි වී ඇති බවත්. ඉතින් මෙවැනි අවස්ථා වලදී මේ නීතියේ ප්‍රතිපලයක් ලෙස කාන්තාවගේ නිදහස විශාල වශයෙන් සීමා වෙලා තියෙනවා. නීතියක් පනවන්නේ කුමන අරමුණක් සහිතවද කියන එක ප්‍රශ්න කරන ගමන්ම අපි මේ නීතියේ ප්‍රතිපලය කුමක්ද කියන එකත් ප්‍රශ්න කරන එක වැදගත්.
අපි මතක් කරන්න ඕනේ ඉස්ලාම් ආගම බිහි වෙන්නේ කාන්තාවන්ට ගරු කරන ආගමක් ලෙස. ඉස්ලාම් ආගමට පෙර අරාබියේ තිබුන ගෝත්‍රික සමාජ ක්‍රමය තුල කාන්තාව පුද්ගලයෙක් ලෙස හඳුනාගැනුනේ නැහැ. ප්‍රොෆෙට් මොහම්මෙඩ්ගේ පළමු බිරිඳ කදිජා ඉතාම ශක්තිමත් චරිතයක්. ඇය සාර්ථක ව්‍යාපාරිකයෙක් වුණා. ප්‍රොෆෙට් මොහම්මෙඩ්ගේ දියණිය වුන ෆාතිමා ෂියා මුස්ලිම් වරුන්ගෙන් වැඳුම් ලබනවා. සමානාත්මතාවය ගැන එවකට පැවති තේරුම් ගැනීම සමග සසඳන විට ඉස්ලාම් දහම පීතෘමූලික භාවිතාවන්ට අභියෝග කල බලයක් විදියට දකින්න පුළුවන්.
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ සියලු ජාතීන්ට, සියලු ආගම් වලට ගරු කරන සමාජයක් අප නිර්මාණය කළ යුතුයි කියන එකයි. සියලු දේශපාලඥයින් පිළිබඳව දැන් අපට තියෙන්නේ කල කිරීමක්. අපි ජීවත් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමයක් තුල. ඉතින් මේ කණගාටුදායක තත්වයෙන් ගොඩ ඒමට නම් අපට අවශ්‍ය වෙනවා ස්ත්‍රීවාදී දේශපාලන ව්‍යාපාරයක්. මේ ව්‍යාපාරය තුල කාන්තාවන්ගේ, සුළුතර ප්‍රජාවන්ගේ, LGBT ප්‍රජාවන්ගේ, ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන්ගේ ඇතුළු සියලු පුද්ගලයන්ගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා වීම වැදගත්. ගෝලීය වශයෙන් අපි පාරිසරික අර්බුධයකට මුහුණ දී තිබෙන නිසා පරිසරය ආරක්ෂා කිරීමත් වැදගත්. පවතින දේශපාලන පන්තියෙන් ඔබ්බට ගිය, දුෂණයෙන් තොර වූ දේශපාලන ව්‍යුහයක් අවශ්‍යයි. මේ ව්‍යාපාරය මානව අයිතිවාසිකම්, ස්ත්‍රීවාදය, සහ පරිසරය ආරක්ෂා කිරීම යන කුලුණු මත පිහිටවූවක් විය යුතුයි.
2019.05.23 වෙනි දින ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානය කළ රැස්වීමකදී උදා දේශප්‍රිය වර්තමාන තත්වය පිළිබඳව දක්වන ලද අදහස් උපුටා ගත්තේ අත්වැළ වෙබ් පිටුවෙනි.