Saturday, April 27, 2024

මුස්ලිම් ප්‍රජාව දෙස අප වපර ඇසින් බැලීම හරිද? – සුලෝචනා රාජපක්ෂ

2019 අප්‍රේල් 21 වන දින ආගමික වතාවත් වල යෙදී වුන් කිතුණු භක්තිකයන් සහ ප්‍රධාන පෙළේ හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය යුද්ධයෙන් වසර දහයක් සපිරෙනවාත් සමඟ සංහිඳියාව සහ රටතුළ ගොඩනැගී තිබූ සාමකාමී පරිසරයට එල්ල කරන ලද මරු පහරක් විය. මේ සමඟම ශ්‍රී ලාංකීය මුස්ලිම් ජනයා දෙස වපර ඇසෙන් බැලීමට ආරම්භ විය, සියළු මුස්ලිම් ජනයා ත්‍රස්තවාදීන් යන සැකමුසු ඇසින් බැලීමටද මුස්ලිම් ව්‍යාපාර වර්ජනයටද  ඇතැමෙක් නිතැනින්ම පෙළඹුණි.

මෙය යම් අන්තවාදී මුස්ලිම් ත්‍රස්තවාදීන් පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් මිස සමස්ථ මුස්ලිම් ප්‍රජාවම මේ සඳහා සම්බන්ධ යැයි සිතීම මිථ්‍යාවකි. මෙම දූපතෙහි ශ්‍රී  ලාංකිකයන් විවිධ ඇදහිළි, සංස්කෘතීන්, විශ්වාසයන්, වෙනස් ජීවන රටාවන් සහ භාෂාවන්, වෙනස් කම් තිබුණද එම වෙනස් කම් තුලින් ශ්‍රී ලාංකීය සංස්කෘතිය පෝෂණය කර වර්ණ ගැන්වීය.

කාලයක් තිස්සේ ශ්‍රී ලාංකීය සමාජය තුළ මුස්ලිම් ප්‍රජාව පිළිබඳ තිබූ සැක සහ මිත්‍යාවන් පිළිබඳ කතිකාවතක්, පැහැදිළි කර ගැනීමක් ප්‍රථමයෙන් අවශ්‍යව ඇත.

හලාල් අපිට ඇයි හරාම්?

සිංහල ජාතිකයන් ද හින්දු ජාතිකයන්ද තම සංස්කෘතික බැඳීම හේතුකොට ගෙන ගවමස් ආහාරයට නොගන්නා අතර ඇතැමෙක් කිසිම මාංශ වර්ගයක් ආහාරයට නොගනී.  නමුත් ආපනශාලා හිමිකරුවන් විසින් ඔවුන් ගවමස් සහ මාංශ වර්ග ආහාරයට නොගන්නන් සඳහා කිසිදු සහතිකයක් නිකුත් නොකරයි. නමුත් ඉස්ලාම් සංස්කෘතිය අනුව ඔවුන් ඌරු මස් ආහාරයෙන් වැලකි සිටින අතර ඒ සඳහා වන සහතිකය හලාල් නම් වේ. ගවමස් සහ අනෙකුත් මාංශ වර්ග නොකන්නන් සඳහාද එවන් සහතිකයක් ගන්නවා වෙනුවට හලාල් සහතිකය ලුහුබැඳිම අර්ථ විරහිතය.

බොදු බල ‌සේනාවේ හලාල් විරෝධය

මෑතක සිට ඔබ මිලදී ගන්නා බොහෝ ආහාර, බෙහෙත් ආදී පාරිභෝගික ද්‍රව්‍යවල “හලාල්” නමින් ලාංඡනයක්‌ දක්‌නට ඇත. එය කිරිපිටි, බිස්‌කට්‌, නූඩ්ලස්‌, බීම වර්ග ආදී සෑම ඇසුරුමකම පාහේ දක්‌නට ඇත. මෙය රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට තුඩු දෙන ලදී. මෙම ආන්දෝලනයට ප්‍රධාන හේතුව නම් මේ පිළිබඳ නිසි අවබෝධයක් නොමැති වීමයි.

හලාල් යනු, මුස්‌ලිම් ආගමික පිළිවෙතකි. එයින් කියවෙන්නේ “පරිභෝජනයට සුදුසුයි. අල්ලා දෙවියන් වහන්සේට කැපයි” යන්නයි. මුස්‌ලිම් අයට ඌරුමස්‌, ඌරුතෙල් මිශ්‍ර ආහාර මිලදී ගැනීම ආගමෙන් තහනම්. එහෙම නොවන දේ වලට කියන්නේ “හරාම්” ලෙසයි. ඔවුන්ට යම් දෙයක් ආහාරයට ගැනීමට අවශ්ය නම් ඒකට සහතිකයක් අවශ්යයි.

ඉස්ලාම් ආගමේ හැටියට හලාල් සහතිකය තිබෙනවා නම් පමණයි එය ආහාරයට ගත හැක්කේ. ඒ නිසා එය ඒ විදිහටද කෙරෙන්නේ යන්න, ඒ සම්බන්ධව වගකිවිය යුතු පුද්ගලයකු පැමිණ සොයා බලා අහාර වල අඩංගු මොනවාද යන්න පිළිබඳ සහතිකයක් ලබා දෙයි. ඒ සහතිකයට අනුව ඒ අයට ඒ නිෂ්පාදනය ආහාරයට සිදුසුයි යන්න නිර්ණය වේ.

ඒ අයට කන්න සුදුසුයි කියන්නේ වෙන කෙනෙක්ට  කන්න නුසුදුසුයි යන්න නොව. නමුත් මේ සම්බන්ධව විශාල වශයෙන් විරෝධතාවන් පැන නැඟුණි.

වඳ පෙති ඇත්තද?

එසේම වඳ පෙති මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන මඟින් අනෙකුත් ජාතින් වෙත අහාර ලබා දීමේදී ආහාරය සඳහා ඇතුළත් කරනවා යන්න පැතිරී ඇති තවත් මිත්‍යාවකි. වඳපෙති විද්‍යාත්මකව ක්‍රියාත්මක කළ  හැකි දෙයක් යැයි මෙතෙක් කිසිවෙකු ඔප්පු කොට නැත, නමුත් උපත් පාලන පෙති වර්ග ඇත. මේ පිළිබඳව වෛද්‍යවරුන් ඉතා පැහැදිළි ලෙස විද්‍යාත්මක පසුබිම පෙන්වා දෙන ලදී. වෛද්‍ය මංජුලා රත්නභාරතී පවසන ආකාරයට, “මගේ වෛද්‍ය අධ්‍යාපන කාලය තුල හෝ වෘත්තීය දිවිය තුල කිසිම දිනක වඳ පෙති ගැන අසා හෝ දැක නැත”. වෛද්‍යවිද්‍යාවට අනුව වඳ පෙති අහාර සඳහා එක් කොට වඳ බාවයට පත් කිරීම හිතළුවක් පමණි.

තවද සිංහල වෙඳුන් පවසන ආකාරයට වඳ භාවයට පත් කිරීම සඳහා යම් කුළු බඩු වර්ගයක් අධි මාත්‍රාවක් ලෙස ගැනීමෙන් සිදු කල හැකි බවයි. ඕනෑම දෙයක් අධි මාත්‍රාවෙන් ගැනීම ශරීරයට අහිතකර විය හැක. මත්පැන්, දුම්පානය මෙන්ම අධික ලෙස සීනි සහ මේදය  පාවිච්චිය යන දෑ අධිකව ගැනීම ඇබ්බැහි වීම තුළ වඳ භාවයට පත්විය හැක. විද්‍යාත්මකව ඔප්පු කිරීමට නොහැකි තර්ක විතර්ක ගෙන එමින් ජාති වාදය ඇවිස්සීමට කටයුතු කරයි. බොහොමයක් දෑ ඉතා පදනම් විරහිත හිතළු විය. කලින් කලට වූ ගැටුම් වලට මේ මිත්‍යාමත සමාජ ගත වීම තුඩු දුන් බව ඉතා පැහැදිළිය. කලක් වැඩුණු සැකය ක්ෂණික ගැටුම් වලට මඟ පාදන්නට  වරින් වර සමත් විය.

මුස්ලිම්  ව්‍යාපාර විරෝධය

 කෙසේ වෙතත් මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව, විරෝධ රැල්ලක් මුස්ලිම් ප්‍රජාව වෙත අනෙකුත් ජාතීන් ගෙන් යොමු වෙමින් පවතී. මුස්ලිම් ව්‍යාපාර වර්ජනය මේ තුළ දැකිය හැක.මෙම ව්‍යාපාර වලට සම්බන්ධ සිංහල හෝ අනෙකුත් ජාතීන් මෙයින්  පත්වන අපහසුතාවය පිළිබඳ ඔබ මදක් සිතුවාද? ප්‍රථමයෙන් මුස්ලිම් ජනයා ශ්‍රී ලාංකිකයන්ය, යමෙක් මේවා වර්ජනය කිරීම තුළ ශ්‍රී ලාංකීය ආර්ථිකයටද බලපෑම් එල්ල වේ. මීට අමතරව බොහොමයක් ව්‍යාපාරයන්හී සේවක සේවිකාවන් අන්‍ය ජාතීන්ය. 100% මුස්ලිම් සේවක සේවිකාවන් මෙම ආයතන තුළ නොවෙති. වක්‍රව හෝ සෘජුව මෙය සියළු ශ්‍රී ලාංකිකයන්ගේ ආර්ථිකයට බලපාන බව යථාර්තයයි.

මුස්ලිම් සියල්ලන්  ත්‍රස්තවාදීන්ද?

 මේ සමඟ  අවබෝධ කරගත යුතු අනෙක් යථාර්තය නම් සියළු මුස්ලිම්  ප්‍රජාව ත්‍රස්තවාදීන් නොවන බවයි. ඔබට එදිනෙදා මුණගැසෙන ෆාතිමා හෝ වටලප්පම් බෙදා ගත් මොහොමඩ් යන සියල්ලන් ත්‍රස්තවාදීන් යැයි නොසිතන්න. හමුදා බුද්ධි අංශ වල සහ විශේෂ කාර්යසාධක බලකායෙහිද දක්ෂ මුස්ලිම් නිලධාරීන් සේවය කිරීම තුළ පැවති ත්‍රස්තවාදය පරාජය කිරීම උදෙසා වන ක්‍රියාවලියේදී ඔවුන් කෙතරම් දායක වුවාදැයි වැටහෙනු ඇත. සියළු මුස්ලිම් ප්‍රජාව පැවති ත්‍රස්තවාදය තුරන් කිරීම උදෙසා පෙළ ගැසුණි. මෙවන් පදනම් විරහිත විරෝධයන් තුළ තවත් කළු ජුලියකට අවකාශය සළසා ගැනීම තුළ රට අගාධයකට ඇදවැටිය හැක.

ත්‍රස්තවාදියාට ආගමක් නැත. මුස්ලිම් ජාතීන් සියල්ලන් ත්‍රස්තවාදීන් නොවන අතර ත්‍රස්තවාදී සියල්ලන් මුස්ලිම් ජනයා පමණක්ද නොවේ. බෝම්බ ගැසුවන්ගේ ජාතිය ආගම විමසනවුන් අතර, ත්‍රස්‌තවාදින්ට ජාති ආගම් නොමැති බවත් ඔවුන් ත්‍රස්තවාදී යන කුලකයට පමණක් අයිති බව සියල්ලන් තේරුම් ගත යුතුව ඇත. ඔබ මේ අවස්ථාවේ ජාති ආගම් වෙත තම ඇඟිල්ල දිගු කරේ නම්, ඔබ ඔබවම විමසන්න. ත්‍රස්තවාදීන්යනු ඔබගේ අසල්වාසී මුස්ලිම් සහෝදරයා නොවන වග ඔබ අප මේ මොහොතේ අවබෝධ කර ගත යුතුව ඇත.

ත්‍රස්තවාදය මානසිකව ඇති කරගන්නා තත්වයකි. එය විනාශය මූල බීජ කොට ගනී, එය වෛරය මූල බීජ කොට ගනී, එය තවකෙකුගේ අදහස් නොඉවසයි. එවන් තත්වයක් තුළ ඔවුන් යම් අයරුකින් හැසිරෙන්නේද එය ඔවුන්ගේ අන්තවාදී වූ විකෘත වූ මානසික තත්වය යටතේ මිස ඒ සඳහා ඔවුන් අදහන ආගමේ හෝ ඔවුන් අයිති ජාතියේ සියල්ලන් වගකිවය යුතු යැයි සිතීම මුලාවකි. ත්‍රස්තවාදයට ප්‍රතිචාර ලෙස හෝ විරෝධ දැක්වීම් වශයෙන් හෝ යමෙක් පෙරළා ශ්‍රී ලාංකීය මුස්ලිම් ජනතාව තලා පෙළා හිංසා කරන්නේනම් තමන් සහ ත්‍රස්තවාදියෙකු අතර ඇති වෙනස කුමක්දැයි විමසා බැලිය යුතුය.

සබ්බේ තසන්ති දණ්ඩස්ස

සබ්බේ භායන්ති මච්චුනෝ

අත්තානං උපමං කත්වා

හනෙය් න ඝාතයේ

සියල්ලෝම දඬුවමට බියවෙත්, සියල්ලෝම මරණයට බිය වෙත්. තමා උපමා කොට සිතා නොතැළිය යුතුය. නොතැළවිය යුතුය. නොමැරීය යුතුය. නොමැරවිය යුතුය. මස් මාංශ අනුභවයෙන් වළකිනවා නම් එය තවත් සතකුට අභය දානය දීමක් යයි සිතන්න. සිත තුළ සියලු සතුන් වෙත කරුණාව, මෛත්‍රිය පතුරා සසර ගමන නිමාව දැකීමට උත්සාහ ගන්න.

Sulochana Rajapaksha

Archive

Latest news

Related news