Tuesday, July 16, 2024

පාස්කු ඉරිදා ප්‍රහාර: බෙදී ගියොත් රට යයි සුන්වී!

උත්සවශ්‍රියෙන් සමරන පාස්කු ඉරිදා කිතුණුවන් හට ඉතාම සුවිශේශී දිනයකි. ඒ ජේසුස් වහන්සේගේ මරණයෙන් උත්ථානය සිහිකරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් එය සමරන බැවිණි. වෙනදා මෙන්ම මෙවරද අප්‍රේල් 21වන පාස්කු ඉරු දින කිතුණුවන් ඉතා බැති සිතින් දේවස්ථාන සඳහා ඇදුණේ දේවස්ථානයන්හී පැවැත්වෙන දේව මෙහෙය සඳහා සහභාගී වන්නයි. හොඳින් සැරසී සිය පවුල් සමඟින් ඉතා බක්තිමත්ව දේවස්ථානයේ දේවමෙහෙය සඳහා සහභාගී වූ ඔවුන්, කිසිවිටකත් එය ඔවුන්ගේ අවසාන දිනයයි තුන් හිතකින්වත් නොහිතන්නට ඇත.

ත්‍රස්තවාදයට මනුෂ්‍යත්වය වලංගු නොවේ. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සහ මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ පිපිරීම් දෙකත් සමග වාර්තා වූ අමානුෂික මරාගෙන මැරෙන ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයන් දිවයින පුරා පිපිරීම් අටක් දක්වාත්, තවත් පිපිරීම් සඳහා සූදානම් කල බෝම්බ රැසක් දක්වාත් වර්ධනය විය. මුළු රටම ත්‍රස්ත බියෙන් මරණ බියෙන් ඇලලී යන්නට වැඩි වෙලාවක් ගත නොවිණ. එදා අහිමි වුනේද අහිංසක ජීවිතය, අද අහිමි වුණේද අහිංසක ජීවිතය.

මේ මඟින් පල්ලියට පහරදීමක් නෙවෙයි වෙලා තිබෙන්නේ, සමස්ථ ශ්රී ලාංකිකයන්ගේ සහජීවනයට පහරදීමක් ඕමල්පේ සෝභිත හිමි.

අප තිස් අවුරුද්දක් පුරාවට ත්‍රස්තවාදයෙන් බැට කෑ රටකි. යුද්ධය අවසන්ව දශකයක් ගිය තැනද අප සාමයේ සුවඳ සොයයි. තවමත් ඒ කුරිරු යුද්ධයේ ප්‍රතිවිපාක වල ඝෝරවිෂ සමාජය තුළ කැකෑරෙමින් පවතී. ධනාත්ම සාමයක් උදාකරගනු වස් ශ්‍රී ලාංකීය අප පසුගිය වසර තුන හතර තුළ විශාල කැපවීමක් උත්සහයක් දරා ඇත. සහජීවනය සමාජ ගත කිරීම ඉතා අසීරු කාර්යක් වන අතර සහජීවනය විසුණු කිරීමට ඇසිපිය හෙළන මොහොතක් ප්‍රමාණවත්ය.

සහජීවනය සාමය නැතීවී යන තැන අඳුර රජයයි. ජාතීන් අතර සහජීවනයට කණකොකා හැඬලු ඒ 83 කළු ජූලිය ශ්‍රී ලංකාව ඉතා අඳුරු යුගයකට ඇද දැමීය. ඒ ගිණි පුලිඟු යුග යුග ඇවිලවීය. ඒ අළු ගසා දමා එකාවන්ව නැඟිටින මොහොතක මේ සිදු වූ ප්‍රහාරය හමුවේ ශ්‍රී ලාංකිකයන් හැසිරුණු ආකාරය ඉතා පැසසුමට ලක් කළ යුතුය. සාවද්‍ය පුවත් අන්තර්ජාලය ඔස්සේ විදුලි වේගයෙන් සැරිසරද්දී, එදාට වඩා අද බොහොමයක් දෙනා ඇසුවේ, “මේ කොහෙන්ද මේ පුවත එන්නේ, මේක හරිද?” යන වගයි. කිසි දෙයක් මඟින් සියයට සීයක් සාර්ථකත්වයක් බලාපොරොත්තු විය නොහැක. හෙටද වගකීමකින් තොරව ක්‍රියත්මක වන්නන් දැකගත හැකි වනු ඇත. නමුත් මෙවර සමාජ මාධ්ය ජාල ඔස්සේ බොහොමයක් දෙනා වගකීමෙන් යුක්තව ක්‍රියා කරණු ඇස ගැටුණි.

බෝම්බ ගැසුවන්ගේ ජාතිය ආගම විමසනවුන් අතර, ත්‍රස්‌තවාදින්ට ජාති ආගම් නොමැති බවත් ඔවුන් ත්‍රස්තවාදී යන කුලකයට පමණක් අයිති ලෙසත් අර්ථ ගැන්වීමට බොහෝ පිරිස් පසුබට නොවීම සතුටට කාරණයකි. ඔබ මේ අවස්ථාවේ ජාති ආගම් වෙත තම ඇඟිල්ල දිගු කරේ නම්, ඔබ ඔබවම විමසන්න. ත්‍රස්තවාදීන්යනු ඔබගේ අසල්වාසී මුස්ලිම් සහෝදරයා නොවන වග බොහොමයක් දෙනා අවබෝධ කර ගත යුතුව ඇත. මේ සියල්ල කියා පෑවේ කුමක්ද? සහජීවනයේ සුවඳ ශ්‍රී ලාංකිකයන් අඳුනාගෙන ඇති බව නොවේද… මොහොතකට සිතන්න සියල්ල සිතන තරම් සෘණාත්මක නොමැත. සහජීවනය පිළිබඳ පිබිදීම නොවන්නට, මේ වන විට තවත් කළු ජූලියක් ඔබ මා ඇත්විඳ අවසන් වන්නට තිබුණි. නමුත් යම් වාසනාවකට අප තරුණ පරපුර විවෘත්ත මනසකින් පිරිපුන් මනසකින් සිද්ධීන් දෙස බැලීමට මුහුකුරා ගොස් ඇත.

මෙම ප්‍රහාර සමඟ අවශ්‍ය වූ රුධිර පරිත්‍යාගයට සිංහල, මුස්ලිම් හා දෙමළ වෙනසක් නොමැතිව විශාල පිරිසක් ඉදිරිපත් විය. සිදු විය යුතු දේ සිදු වෙමින් පවතී. ඉතා කුඩා ප්‍රමාණයෙන් වූ අවේගකාරී ක්‍රියා ඇරෙන්නට සමස්ථයක් ලෙස ශ්‍රී ලාංකිකයන් ලෙස යම් බලාපොරොත්තුවක් ඇති කර ගත හැක. සියල්ල එක රැයකින් සිදු නොවේ, නමුත් මෙම වෙනස් කම් නොසළකා හැරිය නොහැක.

මේ සියල්ල අතර ඇතැමෙක් පටු දේශපාලන අරමුණු මුඳුන් පමුණුවා ගැනීම වස් අර අදිමින් සිටී. මෙය බොර දියේ මාළු බාන අවස්ථාවක් නොවන වග ඔළු හිස් ඇතැම් දේශපාලනඥයන් වටහාගත යුතුව ඇත. මෙය එක් රටක් ලෙස එක් සිත්ව ක්‍රියාත්මක විය යුතු අවස්ථාවකි. මෙවන් සිද්ධීන් ඉදිරියටත් මෙරට පමණක් නොව අනෙකුත් රට වලද සිදු වේවි, වැදගත් වන්නේ අප එයට ප්‍රතිචාර දක්වන ආකාරයයි. ආකල්පමය පෙරළියයි. ජාතීන් අතර සහජීවනය සියයට සියයක්ම ආකල්ප මත ගොඩනැගෙන්නක් යැයි පැවසීම අතිශෝක්තියක් නොව.

ත්‍රස්තවාදීන්ට අවශ්‍ය වුයේ රුධිරයයි. ඔවුන්ට අවශ්‍ය වුයේ තවත් කළු ජූලියකි. මරණය, මිලෙච්ඡත්වය ත්‍රස්තවාදීන්ගේ ආගමයි. ඔවුන් අහිංසක ජිවිත බිලිගත් බව සැබෑවකි. නමුත් මිලේච්ඡ ත්‍රස්තවාදීන් ශ්‍රී ලාංකිකයන්ගේ සහජීවනය අභිමුව පුස් වෙඩිල්ලක් විය. මරණයට මරණයෙන් පිළිතුරු දීමට කිතුණුවන්, බොදුණුවන්, මුසල්මානුවන් හෝ හින්දු බැතිමතුන් සුදානම් නැත. අප රටක් ලෙස එක් වූ තැන ඕනෑම ප්‍රහාරයක් අසාර්ථක වනු ඇත. ත්‍රස්තවාදීන්ට අවශ්‍ය ඒ මිලෙච්ඡ පරිසරය මේ පිං බිමේ වැපිරීමට ඔවුන්ට නොහැකිවනු ඇත. අප එකා වන්ව එකට අත්වැල් බැඳ මුහුණ දිය යුතු අවස්ථාවකි. අපට තව බොහෝ දුර යාමට ඇත. හෙට උපදින දරුවන් හට මනුසත්කමින් පිරි මාතෘ භූමියක් හිමිකර දීම ඔබෙත් මගෙත් පරම යුතු කමකි. අප විඳි ගැටුම් පිරි අතීතය අතීතයේම වලදැමිය යුතුය. තවත් දහසක් බාධක පැමිණේවි, හැම දුෂ්කරතාවයක් අභිමුවම අපි හදවතින්ම ශ්රී ලාංකිකයන් වෙමු!

(කර්තෘ නිර්නාමිකයි)

SLB  ලිපියක් ‌නොවෙන බව සලකන්න.

 

 

 

Archive

Latest news

Related news