Monday, May 20, 2024

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතීඥයෝ පාස්කු ඉරුදින ප්‍රහාර ‌හෙළා දකිති.

 පාස්කු දින කතෝලික බැතිමතුන් තම ආගමික කටයුතු සඳහා පැමිණ සිටියදී කතෝලික පල්ලි තුනක් වෙත සහ කොළඹ සංචාරකයින් භාවිත කරනු ලබන තරු පහේ හෝටල් සහ තවත් ස්ථාන කිහිපයකට එල්ල කරන ලද තිරිසන් ප්‍රහාරය ප්‍රජාතනත්‍රවාදය සඳහා නීතිඥයෝ වන අප තරයේ හෙළා දකිමු.   එම ප්‍රහාරයෙන් මිය ගිය 150ක පමණ පිරිස  වෙත අපගේ දැඩි ශෝකය ප්‍රකාශ කර සිටින අතර තුවාල ලැබූ 500ට අධික පිරිස වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

මෙම සිදුවීම දෙස බලන කල මෙම ප්‍රහාරය ඉතා සැළසුම්ගතව වෘත්තීමය දැනීමක් ඇති පිරිසක් විසින් ප්‍රහාරයක් බව නිගමනය කළ හැකිව ඇත. මෙම ප්‍රහාරය රටේ සථාවර බවට  සහ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මට එල්ල වූ දැඩි තර්ජනයක් බව අප ප්‍රකාශ කරමු. එසේම මෙම ප්‍රහාරයන් භාවිතා කරමින් ඉදිරි කාලය තුළ රටේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සීමා කිරීමට උත්සාහ නොගනු ඇතැයි අප තරයේ බලාපොරොතු වන්නෙමු.

රටේ ආර්ථිකයට, ස්තාවරභාවයට සහ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මට තව දුරටත් හානි කිරීමට ඉඩ නොතබා මෙම අපරාධයන්ගේ සුලමුල සොයා ගැනීම හා එයට සම්බන්ධ පිරිස් වලට නිසි දඩුවම් ලබා දීම හා ඔවුන් එළිදරවු කිරීම නිසි බලධාරීන්ගේ වගකීම බව අප අවධාරණය කරමු. මේ අවස්තාවේ රටේ සාමය පතන මහජනතාවගෙන් අප ඉල්ලා සිටිනුයේ ඉතා සාමකාමීව, ඉවසිලිවන්තව, බුද්ධිමත්ව හා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන ලෙසයි.

 ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතීඥයෝ කැඳවුම්කරුවන් වෙනුවෙන්,

ලාල් විජේනායක, ජේ.සී. වැලිඅමුණ, සුදත් නෙත්තසිංහ, සුනිල් ජයරත්න, ප්‍රබෝධ රත්නායක

Archive

Latest news

Related news